ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලෙන් විශේෂ වෛද්‍ය පරික්ෂණ පැකේජයක්

ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලෙන් විශේෂ වෛද්‍ය පරික්ෂණ පැකේජයක්

ශ්‍රී ජයවර්ධනපුර

මහ රෝහලේ අධ්‍යක්ෂ

වෛද්‍ය සුසිත් සේනාරත්න

අප සිරුරේ නිරෝගි බව රැකගැනීමට අන්හැම දෙයටම වඩා අපි උත්සුක වෙමු. ඒ සඳහා නිවැරදි පැවැත්ම ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහිදී ආහාර පාන, ව්‍යායාම හා මානසික සුවතාව යන සාධක තුන වැදගත් වේ.

අපගේ නීරෝගි බව දැනගැනීමටත්, යම් රෝගයක් ඇති විටකදී එහි පාලනය හා සංකූලතා පිළිබඳව අවබෝධ කර ගැනීමටත් අප තවත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. එලෙස නීරෝගි බව මෙන් සැඟව ඇති රෝග සොයා ගැනීමත්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් වලින් සිරුරට ඇති වී තිබෙන බලපෑම අවබෝධ කර ගැනීමටත් වර්තමානයේ සිදු කරන විශේෂිත ක්‍රියාදාමය හඳුන්වන්නේ වෛද්‍ය පරීක්ෂණයක් ලෙසයි.

අද කාලයේ බොහෝදෙනා මෙම වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ යම් අවබෝධයකින් සිටී. ඒවායේදී වැදගත්වන සාධක කිහිපයක් පවතී. ඉන් ප්‍රධාන දෙය වන්නේ කුමන පරික්ෂණය සිදු කර ගත යුතුද යන්නයි. දෙවැනි කරුණ වන්නේ ඒවා කොතැනකින් සිදු කරන්නේ ද යන්නයි. තුන්වෙනි වැදගත්ම කරුණ වන්නේ වෛද්‍ය පරීක්ෂණවල අධික මිළයි. මේ සියලුම ගැටලුවලට එක් වරම ලබාදිය හැකි හොඳම පිළිතුර ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍ය පරීක්ෂණ ඒකකයයි. දැන් දශක තුනකට ආසන්න කාලයක් පුරා ජනතා විශ්වාසය හා ප්‍රසාදය දිනාගත් මෙම ඒකකය වඩාත් විශ්වාසදායී, කාර්යක්ෂම හා සුහද සේවයක් ජනතාවට ලබා දේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, සභාපතිවරුන් මෙන්ම විදේශ සේවය සඳහා නික්මෙන තානාපතිවරුන් මෙම ඒකකයෙන් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලබාගත යුතුය. එමෙන්ම කොරියානු රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශය මඟින් රැකියා අවස්ථාවන් ලබාගන්නා දහස් ගණනක් ශ්‍රී ලාංකික තරුණ, තරුණියන් ද මෙම වෛද්‍ය පරීක්ෂණ ඒකකය වෙත පැමිණේ. මීට අමතරව රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ ආයතනවවල සේවක සේවිකාවන් සඳහා විවිධ වෛද්‍ය පරීක්ෂණ පැකේජයන් සැමවිටම ලබාදීම මෙම කාර්යබහුල ඒකකය මඟින් නිරතුරුව සිදු කරන කාර්යයකි.

සාමාන්‍ය ජනතාවට ලබාගත හැකි ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ පැකේජ කිහිපයක් පවතී. ඒ අතරින් මූලික වෛද්‍ය පරීක්ෂණ පැකේජය හා විස්තරාත්මක වෛද්‍ය පරීක්ෂණ ඒකකය මුල් තැනක් ගනී. සාධාරණ මුදලකට ඊ.සී.ජී, එක්ස් රේ, පූර්ණ රුධිර පරීක්ෂාව, වකුගඩු අක්මාව ආශි‍්‍රත රුධිර පරීක්ෂණ පූර්ව කොලෙස්ටරෝල් පරීක්ෂාව, ඊ.එස්.ආර්.ලේවල සීනි පරීක්ෂාව ආදී පරීක්ෂණ රැසක් ඔබට සිදු කරගත හැක. මීට අමතරව ශරීර ස්කන්ධ දර්ශකය, ඇස්වල පෙනීම හා ශරීරයේ බර තත්ත්ව පිළිබඳව ද වාර්තාවක් ලබා දේ. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු විසින් සිදු කරන ශාරීරික පරීක්ෂාව ද, වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාව ද මෙම වෛද්‍ය පරීක්ෂණ පැකේජයට අයත් වේ.

ඉහත පරීක්ෂණවලට අමතරව හදවතේ ඉකෝ පරීක්ෂණය හා ව්‍යායාම ඊ.සී.ජී. පරීක්ෂණය ද සිදු කරනු ලබයි. පෞද්ගලික අංශයේදී සිදු කරනවාට වඩා ඉතාමත් ලාභදායි තරඟකාරි මිලකට මෙම වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ලබයි.

මීට අමතරව එම වෛද්‍ය පරීක්ෂණවලදී සොයා ගන්නා විවිධ ගැටලු ඇත්නම් ඒවා සඳහා විශේෂිත පරීක්ෂණ ද එහිදීම සිදු කරනු ලබයි.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍ය පරීක්ෂණ ඒකකයෙන් මෙම වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීම ඉතාමත් පහසු වේ. 011-4803678 යන දුරකථන අංකයට හෝ 011-2778610 (දිගුව 3230) අමතා ඔබගේ අවශ්‍යතාව සඳහන් කර දිනයක් වෙන් කරවා ගත හැක. ඉරිදා හා රජයේ නිවාඩු දින හැර සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා ඕනෑම දිනයක් මේ සඳහා වෙන්කරවා ගත හැක. රෝහලට ඇතුළු නොවී පැය 12ක් නිරාහාරව සිට පැමිණ සියලු පරීක්ෂණ සිදු කරගෙන දිවා ආහාරය වෙනවිට සියල්ල අවසන් කර ගැනීමේ හැකියාව ද මෙම වෛද්‍ය පරීක්ෂණ ඒකකය ඔබට ලබා දේ.