භෞතචිකිත්සක ප්‍රතිකාරවලින් අංශභාග රෝගීන්ට සුවයක්

භෞතචිකිත්සක ප්‍රතිකාරවලින් අංශභාග රෝගීන්ට සුවයක්

රිඡ්වේ ළමා රෝහලේ භෞතචිකිත්සකවේදී

ශ්‍රී ලංකා භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති

ආචාර්ය ජාලිය උඩුවැල්ල

මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් පණ නැති වී යන අවස්ථා බොහෝ විට ඔබ අසා දැක ඇත. නොයෙකුත් හේතුන් නිසා මොළයට සිදු වන හානියක් හේතුවෙන් ඇති වන මෙම තත්ත්වය අංශභාගයයි. අංශභාගය යැයි කී විට සිතට බියක් දැනුණ ද කඩිනම් නිවරැදි ප්‍රතිකාර ගතහොත් මේ තත්ත්වය බොහෝ දුරට සුව කරගත හැක. සුව වීමට ගත වන කාලය හා සුව වන ප්‍රමාණය රඳා පවතින්නේ මොළයට සිදුවන හානියේ ප්‍රමාණයත්, හානිය සිදු වූ මොළයේ ප්‍රදේශයත්, මොළයට සිදුවන අනතුරේ ස්වභාවයත්, රෝගියාගේ වයසත් මතය.

අංශභාගය ඇති වීමට හේතු ලෙස රුධිර වාහිනියක් පිපිරීමෙන් සෛල තුළට රුධිරය වහනය වීමත්, ලේ කැටියක් හිර වීමෙන් මොළයේ සෛල තුළට ලැබෙන රුධිරය ඇනහිටිමත්, මොළයේ ඇති වන අර්බුද හෙවත් ගෙඩි නිසාත්, රිය අනතුරු වැනි මොළයට සිදුවන අනතුරුත් පෙන්වා දිය හැක.

අංශභාගය නිසා රෝගීන්ගේ අත පය අසාමාන්‍ය ඉරියව්වකට යොමු වේ. එමෙන්ම ආබාධයට ලක් වූ අංශයේ අත හා පය චලනය කරන විටද තද ගතියක් ඇතිවේ. අත යොමුවන අසාමාන්‍ය ඉරියව්ව නම් උරහිසෙන් අත ශරීරයට හේත්තු වී වැළමිට සන්ධියෙන් නැමී තිබිමය. ආබාධයට ලක්ව ඇති කකුලද දණහිසෙන් දිග හැරී පතුල ප්‍රදේශය පහතට කඩා වැටී තිබේ.

මෙම රෝගයට ලක් වූ පසුව ඖෂධීය ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර සමඟම භෞතචිකිත්සක ප්‍රතිකාර ද රෝගියාට ලබා දිය යුතුය. මෙම රෝගයට භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීමට පමා වුවහොත් රෝගියාගේ පෙර කී අසාමාන්‍ය ඉරියව් වර්ධනය වේ.

එබැවින් මෙවැනි රෝගීන්ට ඉහත දැක්වු ඉරියව්වල විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යය. මෙය සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයකුගේ උපදෙස් මත කිරීම ඉතා වැදගත්ය. භෞතචිකිත්සාවේදී මෙම ව්‍යායාම පී.එන්.එෆ්. (ර්‍ථ.ව්.ජ්) නමින් හඳුන්වයි. එම ව්‍යායාම මඟින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදන ග්‍රාහක සහ ස්නායු උත්තේජනය කරනු ලබයි.

එසේම මුල් කාලයේදී එනම්, රෝගියා සිහි නැතිව සිටින අවධියේ සිටම රෝගියා නිවැරදි ඉරියව්වල තැබිය යුතුය. මෙමඟින් රෝගියාට ඉදිරියේදී ඇති විය හැකි දරදඬු ඉරියව්වලට ලක්වීමෙන් වැළකිය හැක. එසේම මෙලෙස එක්තැන් වී සිටින රෝගීන්ට නිතර ශ්වසන ආබාධ, මුත්‍රා ආසදාන හා ඇඳ තුවාල ඇති විය හැකිය. ඇතිවන ස්්වසන ආබාධ වැළැක්වීමට භෞතචිකිත්සාවේ උරස් චිකිත්සක ක්‍රම වැදගත් වේ. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටින රෝගීන්ට රෝගියාගේ උපකාරයක් නොමැතිව ස්්වසන ව්‍යායාම හා චූෂණ ක්‍රම මඟින් උරස් චිකිත්සාව ලබාදෙන අතර සිහි ඇතිව සිටින රෝගීන්ට ඔවුන්ගේ උදව් උපකාර ඇතිව ස්්වසන ව්‍යායාම ඇතුළත් උරස් චිකිත්සක ක්‍රම මඟින් ස්්වසන ආබාධ වළක්වා ගැනීමට පියවර ගනු ලැබේ.

එසේම ඇඳ තුවාල වළක්වා ගැනීමට රෝගියා හා ඇඳ ඇතිරිලි පිරිසුදුව තබාගත යුතුය. රෝගියා සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය.

පැය 1/2 කට වරක් වත් රෝගියා හැරවීමෙන් රෝගියාගේ ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීම වළක්වා ගැනීමට කටයුතු කළ හැකි අතර, එමඟින් ඇඳ තුවාල සෑදීම වළක්වා ගත හැකිය.

රෝගියාගේ සමබරතාව රැක ගැනීමට උදව් දෙන ව්‍යායාම, අංශභාග රෝගීන් සඳහා ආවේණික වන විලාසය බිඳ ගැනීම සඳහා වන ව්‍යායාම සහ මොළයේ සෛල උත්තේජනය කරන ව්‍යායාම මඟින් එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කිරීම භෞතචිකිත්සකවරයා අතින් සිදු විය යුතුය. රෝගියාගේ කථනය දුර්වල නම් කථන චිකිත්සක ක්‍රම සඳහා යොමු විය යුතුය.

තවද සංවේදන ක්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නගාසිටුවීම සහ ඇවිදීම පුහුණු කිරීමද භෞතචිකිත්සක ප්‍රතිකාර මඟින් කළ හැකිය.