විදුරුමස් දියවීම වළක්වා ගන්නේ කොහොමද?

විදුරුමස් දියවීම වළක්වා ගන්නේ කොහොමද?

නුවරඑළිය දිස්ත්‍රික්කයේ

ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය

ක්‍රිෂාන්ත ප්‍රදීප් උඩුවෙල

මුහුණට මුහුණ හමුවන තවත් අයෙකුට ප්‍රතිචාරය දැක්වීමට අපට සිනහව අතිශය වැදගත් වේ. අනගි දත් දෙපෙළක් ඒ සඳහා අගනා සහයක් ද ලබා දෙයි.

නමුත් දත් වැදගත් වන්නේ සිනහසීමට පමණක් ද? නැත. දත්වල අගය ඊට වඩා බොහෝ වැඩිය. ඒ සඳහා නිරෝගී දත් දෙපෙළක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. අප බොහෝ මුඛ රෝග වළක්වාගත යුත්තේ ද එබැවිනි. විදුරුමස් රෝග යනු දතේ විදුරුමසේ ඇතිවන ආසාදන තත්තවයකි. මෙම ආසාදන තත්ත්වයට මුල් වනුයේ දත් සහ විදුරුමස අතර මැලියම් රැඳීමෙන් එකතුවන බැක්ටීරියා සහ විසබීජ විදුරුමස ආශි‍්‍රත පටක ආසාදනයට ලක් කිරීමයි.

රෝග ලක්ෂණ

දත හා විදුරුමස වෙන් කෙරෙන දාරය රතුපැහැ ගැන්වීම සහ ඉදිමීම සහ විදුරුමසෙන් ලේ ගැලීම එහිදී ප්‍රධානය. එම ඉදිමුම අඳුනාගත හැකි ලක්ෂණ නම්, දත් දෙකක් අතර විදුරුමස කොටසේ උල් ගතිය නැති වී යාම මෙන්ම විදුරුමස කසන සුළු ගතියක් ඇතිවීමය.

විදුරුමසක ව්‍යුහය

නිරෝගී අයෙකුගේ නම් දත හා විදුරුමස අතර ඇසට නොපෙනෙන ඉතාම කුඩා ඉඩක් පවතී. අප ගන්නා ආහාර මේ කුඩා ඉඩ තුළට නොයන මුත් දත හා විදුරුමස අතර මැලියම් බැඳී ආසාදනයට ලක් වූ විට විදුරුමස අතර ඇති එම පුංචි ඉඩ විශාල වී සාක්කුවක් මෙන් වර්ධනය වේ. එවිට මෙම කොටස තුළ අප ගන්නා ආහාර සේම විසබීජ ද (මැලියම්) රැඳීම සිදු වේ.

මෙවැනි තත්ත්වයකදී සාමාන්‍ය දත් මැදීමේදී මේ කොටසේ රැඳී ඇති මැලියම් ඉවත් නොවේ. තවද විදුරුමස ඉදිමී ඇතිවිට බුරුසුව යන්තමින් වැදුණ ද ලේ ගැලීම සිදු වේ. එනම් විදුරුමස ආසාදනයට ලක් වී ඉදිමී ඇතිවිට ලේ ගැලීමක් සිදුවේ. බොහෝදෙනෙකු මෙවැනි අවස්ථාවලදී එම ලේ ගැලීමට බියෙන් එම ස්ථානය බුරුසුවෙන් පිරිසුදු නොකරයි. එවිට එම කොටසේ මැලියම් තවදුරටත් එසේම ඉතිරි වේ.

පැය 48කට පමණ පසුත් මෙසේ මැලියම් රැඳී තිබෙන විට ඒ මැලියම් මත කැල්සියම් තැන්පත් වී ඒවා ඝන වේ.

මෙලෙස දිගින් දිගට මේ තත්ත්වය සිදුවීමේදී එම ඝන මැලියම් ආසාදනය වී දීර්ඝකාලීන ආසාදන තත්ත්වයට පත් වේ. (Chronic Inflamation) එහිදී විදුරුමස් පටක ටිකෙන් ටික දියවෙමින් විනාශ වී යෑම සිදු වේ. ඒ සමඟ දත් සවි වී ඇති අස්ථි ද දියවෙමින් පහළට පහළට ගමන් කරයි. එවිට දතේ මුල ටිකෙන් ටික නිරාවරණය වීමට පටන් ගනී. එසේම දතමුල වටා සුදු පැහැති ඝන ද්‍රව්‍යයක් බැඳී ඇති ආකාරයද දිස් වෙයි. මේ තත්ත්වයේදී සීතල හෝ උණුසුම් දේවල් ආහාරයට ගන්නා විට දත් හිරිවැටීමටද ලක් වේ. මේ තත්ත්වයේදී අපට දිස්වනුයේ දතේ දිග ටිකෙන් ටික වැඩි වන ආකාරයකි. “දත ඇදෙනවා වගේ පෙනෙනවා” යැයි සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනුයේ මෙම තත්ත්වයය. එහි අවසන් ප්‍රතිඵලය නම් දත සෙලවී වැටී යාමය.

තවද සිහිතබා ගත යුතු වැදගත් කරුණක් වනුයේ වියපත් වුවද නිරෝගී අයෙකුගේ විදුරුමස නිරෝගීව තබා ගතහොත් මිය යනතුරුම දත් සෙලවීමකට ලක් නොවී තබාගත හැකි වේ. එබැවින් “වයසට යනවිට දත් වැටෙනවා” යනු මිත්‍යා මතයකි.

අප ඉහත සඳහන් කළ දීර්ඝකාලීන මැලියම් එකතු වීමත් ඒ මත තව තවත් විසබීජ එකතු වීමත් නිසා විදුරුමස ආසාදනය වීමෙන් ඇතිවන තත්ත්වයේදී විදුරුමසට එකතුවන විස ද්‍රව්‍ය හා විසබීජ සමඟ සටන් කිරීම සඳහා අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් විවිධ රසායනික ද්‍රව්‍ය නිපදවයි. (එනම් ප්‍රොස්ටග්ලැන්ඩීන්ස් රසායනිකය) මේ රසායනිකය විදුරුමස් පටක තුළ නිපදවෙන අතර රුධිරයට මුදා හැරීමක් සිදුවේ. එමඟින් සිරුරේ විවිධ ස්ථානවල විවිධ සංකූලතා ඇති කිරීමට බලපායි. දැනට පර්යේෂණ මඟින් සොයාගෙන ඇත්තේ එමඟින් හෘද රෝග ඇති කිරීමට, මොළයේ ආඝාත තත්ත්ව ඇති කිරීමට දියවැඩියාව ඇති වීමට මෙන්ම දියවැඩියාව සහිත කෙනෙකුගෛ් නම් එහි පාලනයට බාධා ඇති කිරිමට, මෙයින් බලපෑමක් සිදුවන බවය. තවද ගර්භණි සමයේදී නම් දරුවා අඩු මාසයෙන් ඉපදීමට මෙන්ම මළදරු උපත් සිදු වීමට ද එය බලපායි. එබැවින් විදුරුමස් රෝග කෙසේවත් සුළුවෙන් තැකීම සුදුසු නොවේ.

විදුරුමස් රෝග වළක්වා ගැනීම

මෙහිදී ඉතාමත් වැදගත්ම දෙය නම් දිනකට දෙවරක් කෑමෙන් පසු නිසිලෙස දත් මැදීමය. එමඟින් දතේ මුල ආහාර රැඳීම අවම කළ හැකි වේ. ඒ සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු දත් බුරුසුවකින් නිසි පරිදි දත් මැදීම ද කළ යුතු වේ. එහිදී බුරුසුවේ කෙඳි එහා මෙහා ඇදවී, නැමී නොතිබීම ඉතා වැදගත් වේ.

දත් මැදීමට පටන් ගැනීමේදී කණ්ණාඩියක් අසලට ගොස් මුඛයේ යට දත් ඇන්දේ කෙළවරේම දතේ පිට පැත්තේ සිට මැදීම ආරම්භ කළ යුතුය.

මෙහිදී බුරුසුවේ කෙඳි අංශක 45ක් පමණ විදුරුමස දෙසට ආනත කර තබා ගනිමින් ලිවීම සඳහා පෑනක් පොතට තද කරන ප්‍රමාණයට විදුරුමසට බුරුසුවේ කෙඳි තදකරමින් ඉදිරියට පිටුපසට ආදී වශයෙන් දත් දෙකක් හසුවන ආකාරයට මැදීම කළ යුතුවේ. මේ ක්‍රමයට දත් මැදීමේදී අපට ඉතා හොඳින් දත් අතරින් විදුරුමස අතරට බුරුසුවේ කෙඳි ගමන් කරන අයුරු දැනේ.

අනතුරුව විදුරුමස ඇතුළත මැලියම් පිටතට විසිවන අයුරින් විදුරුමස් විරුද්ධ දිසාවට බුරුසුව කරකවමින් මැදිය යුතු වේ. මෙසේ දත් දෙකක් බැගින් හසුවන ලෙස දත් ඇන්දේ වම් හා දකුණු පැති දෙකම මැදීම අවශ්‍ය වේ.

එසේම දත් ඇඳිවල ඇතුල් පැත්ත ද මෙලෙසම මැදිය යුතු වේ.

ඒ අයුරින්ම උඩු දත් ඇන්ද ද මැදිය යුතුය. එසේම දත් ඇඳි දෙකේම හපන පැත්ත ද බුරුසුවෙන් රවුමට රවුමට මැදගත යුතු වේ.

මේ අයුරින් පිළිවෙලකට දත් මැදීමේදී ආහාර කැබලි පිටතට පැමිණෙන අයුරු අපට දැනෙයි. මෙසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පිළිවෙලට දත්මැදීම වැදගත් වේ.

මෙලෙස දත් මදින විට දිව ද හොඳින් මැද පිරිසිදු කිරීම ද වැදගත් වේ.

තවද දත් මැදීම සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කළ යුතු අතර, රාත්‍රි දත් මැදීමේදී එය රාත්‍රියේ නින්දට පෙර සිදු කරන අවසන් ක්‍රියාව වශයෙන් සිදු කිරීම ද ඉතා වැදගත් වේ. මෙසේ නිවැරැදිව දත් මැදීමෙන් අපට දත් දෙපෙළේ නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දිය හැකි වේ.