හය හතර නොතේරෙන දරුවන්ගේ සෞඛ්‍යය රැකදෙන රිජ්වේ ආර්යා ළමා රෝහල

හය හතර නොතේරෙන දරුවන්ගේ සෞඛ්‍යය රැකදෙන රිජ්වේ ආර්යා ළමා රෝහල

පැය 24 පුරා නොමිලයේ සේවාව

තම රට වැසියනට නොමිලයේ සෞඛ්‍ය සේවාවන් සපයන ලෝකයේ රටවල් අතලොස්ස අතරින් එකකි ශ්‍රී ලංකාව. අපේ රටේ වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය අවස්ථා ගණනාවකදීම අන්තර්ජාතික වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇත. දරුවන් සඳහාම වෙන් වී ඇති බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහල ශ්‍රී ලංකාව තුළ පමණක් නොව දකුණු ආසියාවේ පිහිටි විශාලතම ළමා රෝහලයි. අති නවීන පහසුකම්වලින් සමන්විත ළමා රෝහලයි. මෙය ජාතිය සතු සම්පතකි. අති විශිෂ්ට සේවාවක් සැපයෙන ස්ථානයකි. දෙදහසකට ආසන්න මෙම රෝහලේ කාර්ය මණ්ඩලය ඉතා කඩිසරව තම රාජකාරිය ඉටු කරන්නේ එය දේව කාරියකටත් එහා ගිය සේවාවක් ලෙස සලකාය. ඒ මෙම රෝහලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ හය හතර නොතේරෙන පුංචි දරුවන් වීම නිසාය.

රිජ්වේ ආර්යා ළමා රෝහල ආරම්භ වූයේ මීට වසර 100කට පමණ පෙරදීය. මෙම රෝහල හැරුණු විට ශී‍්‍ර ලංකාව තුළ තිබෙන අනෙක් ළමා රෝහල වන්නේ පේරාදෙණිය ළමා රෝහලයි. රිජ්වේ ආර්යා ළමා රෝහල සියලුම ප්‍රතිකාර ඒකකවලින් සේම අති නවීන පහසුකම් වලින් ද සමන්විතතය. යාපනයේ සිට දෙවුන්දරතුඩුව දක්වා ඇති රෝහල්වලින් අසාධ්‍ය දරුවන් මෙම රෝහල වෙත යොමුවන්නේත් ලංකාවේ සෑම දෙසින්ම මෙම රෝහලින් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන්නේත් ඒ නිසාය.

අවශ්‍ය කරන සියලුම විශේෂඥ වෛද්‍ය සේවාවන් රිජ්වේ ආර්යා ළමා රෝහල මඟින් පවත්වාගෙන යනු ලබන අතර ළමා හෘද ශල්‍ය ඒකකය වැනි විශේෂ සේවාවන් මෙරට තුළදී සැපයෙන එකම ස්ථානය වන්නේ ද මෙම රෝහලයි. මෙම රෝහල දැනට ඇඳන් 971කින් සමන්විතය. වෛද්‍ය වාට්ටු 06ක් ද ශල්‍ය වාට්ටු 05ක් ද, ස්නායු ඒකකයක් ද, විශේෂඥ දන්ත වෛද්‍ය සේවාවක් ද, විකලාංග වෛද්‍ය සේවාවක් ද, උගුර කන නාසය අංශයක් මෙන්ම ප්ලාස්ටික් ශල්‍ය ඒකකයක් මෙන්ම ළමා මානසික වෛද්‍ය අංශයකින් ද රිජ්වේ ආර්යා ළමා රෝහල සමන්විතය. එසේම මෙය වෛද්‍යවරු මෙන්ම හෙදියන් ද පුහුණු කරනු ලබන ශික්ෂණ රෝහලකි. විවිධ අංශයන් පිළිබඳව විශේෂඥතාවය ලැබූ විශේෂඥ වෛද්‍යවරු 55 දෙනෙකු ද, වෛද්‍ය නිලධාරීන් 350 දෙනෙකු ද, හෙද නිලධාරීන් 750ක් පමණ ද, පුහුණුව ලබන වෛද්‍ය නිලධාරීන් 70ක් පමණ ද මෙම රෝහල තුළ සේවයට කැපවී සිටිති.

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මේ දිනවල පවතින්නේ අධික තදබදයකි. ඒ මේ දිනවල පැතිර යන විිවධ වෛරස් ආසාදනයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන නිසාය. පසුගිය මාස 06 තුළ ලංකාවේ වෙනත් රෝහල් මඟින් ළමා රෝහල වෙත එවා ඇති රෝගී දරුවන් සංඛ්‍යාව පමණක් 1988කි. ඒ ඍජුවම මෙම රෝහල වෙත පැමිණි රෝගීන් දස දහස් ගණනට අමතරවය. මේ දිනවල දිනකට රෝගී දරුැවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් ළමා රෝහල වෙත යොමු වනු දැකගත හැකිය.

බොහෝවිට රිජ්වේ ආර්යා රෝහල වෙතට තම දරුවා රැගෙන එන්නේ රෝහල් ගණනාක්ම පසු කරමිනි. ඒ දරුවාගේ දෙමව්පියන්ගේ තනි තීරණය මතය. ළඟම ඇති රෝහලින් ප්‍රතිකාර ගත හැකි උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු අසනීපයකට පවා ළමා රෝහල වෙත යොමුවීමෙන් සිදුවන්නේ මෙහි අධික තදබදයක් ඇති වීමකි. වඩාත් සුදුසු වන්නේ ළඟම ඇති රෝහලින් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාගෙන එහි වෛද්‍යවරු දරුවාට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය දැයි පැවසුවොත් ළමා රෝහල වෙත යොමුවීමය. කෙසේ වුවද දරුවකුගේ අසනීපයකදි ඒ සඳහා ප්‍රතිකාර කිරීමට දවසේ පැය 24 පුරා ළමා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිති.

පසුගිය කලාය තුළ රෝහලේ බාහිර රෝගී අංශයේ වෙනස්කම් කිපයක්ම සිදුවිය. ඒ රසායනාගාරය, බෙහෙත් නිකුත් කරන ස්ථානය වැනි ස්ථාන වෙනදාට කලින් විවෘත කර වෙනදාට වඩා වැඩි කාලයක් සේවය සැපයීමය.

රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත බොහෝ පරිත්‍යාග ශීලීන්ගෙන් මෙන්ම විවිධ ආයතනවලින් විවිධ පරිත්‍යාග ලැබේ. එය ද මෙම රෝහල මඟින් ගුණාත්මක සේවාවවක් සැපයිමට විශේෂ පහසුවක් වී ඇත.

පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අධික නිසා ළමා රෝහල තුළ ඇත්තේ අධික තදබදයකි. එය ඇතැම් සේවයක් සැපයීමට ප්‍රමාදයට හේතුවක් විය හැකිය. එවැනි අවස්ථාවල රෝහල් කාර්ය මණ්ඩලය වෙත සහයෝගය පළ කිරීම දරුවන්ගේ දෙමව්පියන්ගේ වගකීමය, යුතුකමය.


 

බාහිර රෝගී අංශය (OPD)

ළමා රෝහල තුළ දැඩි තදබදයක් පවතින, අති විශිෂ්ට සේවයක් සැලසෙන අංශයකි, බාහිර රෝගි අංශය. රෝහල වෙත රැගෙන ආ දරුවකු ප්‍රථමයෙන්ම යොමු වන්නේ මෙම අංශයටය. මෙම අංශය ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කොටස් දෙකකි. ඒ බාහිර රෝගී අංශය සහ මූලික ප්‍රතිකාර ඒකකය යනුවෙනි. මෙහිදී පළමුවෙන්ම රෝගී දරුවා යොමු වන්නේ ඉතා හොඳින් පුහුණුවලත් හෙද නිළධාරිනියන් දෙදෙනකු වෙතය. දරුවා මූලික ප්‍රතිකාර ඒකකයට යොමු කළ යුතු ද, එසේ නැතිනම් බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව යා හැකිද යන්න තීරණය කරනු ලබන්නේ එම හෙද නිළධාරීන්ය. ඉන්පසුව රෝගියාට අංකයක් ලබා දේ. එම අංකය රතු කොළ හෝ කහ පැහැයෙන් යුක්තය. අනතුරුව රෝගී දරුවා ලියාපදිංචි කෙරේ. දරුවාගේ බර කිරීම වැනි මූලික කටයුතු ද මෙහිදී සිදුවේ. ඉතා හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගී දරුවන්ට හිමිවන්නේ රතු පැහැති අංකයකි. එම දරුවන් විගස මූලික ප්‍රතිකාර ඒකකයට යොමු වේ. මූලික ප්‍රතිකාර ඒකකය තුළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 3 දෙනෙකු ද වෛද්‍ය නිලධාරීන් විසිදෙනෙකු ද සේවය කරති. එසේම පුහුණුවන වෛද්‍යවරුන් විශාල පිරිසකගේ සහාය ද මෙහිදී ලැබේ. මෙම අංශයට ඇතුලත් කරනු ලැබූ දරුවා රෝහලට ඇතුළත් කළ යුතුද? සායනයට යොමු කළ යුතුද? දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතුද? එසේත් නැතිනම් බාහිර රෝගී අංශයට යොමු කළ යුතුද යන්න මෙහිදී තීරණය වේ. දරුවා සඳහා මූලික ප්‍රතිජීවන ක්‍රියාවලිය සිදුවන්නේ මෙම මූලික ප්‍රතිකාර ඒකකය තුළදීය. අවශ්‍ය නම් පැය 4ක පමණ කාලයක් දරුවා රඳවා තබාගෙන දරුවා පිළිබඳව නිරීක්ෂණය කෙරේ. සරලව සඳහන් කරන්නේ නම්, මූලික ප්‍රතිකාර ඒකකයේදී සිදුවන්නේ රෝහල වෙත ගෙන එන ලද දරුවා වාට්ටුවකට යොමු කිරිමට අවශ්‍ය නම් ඊට පෙර අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමය. මූලික ප්‍රතිකාර ඒකකයට යොමු කරන දරුවන් බොහෝවිට රෝහලට ඇතුළත් කිරිමට සිදු වේ.

මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් නොකළ දරුවන් යොමුවන්නේ 14 කාමරයේ තිබෙන බාහිර රෝගී අංශ්‍ය වෙතය. එහි 30කට අධික වෛද්‍ය කණ්ඩායමක් සේවය කරති. එම වෛද්‍යවරු විසින් රෝගී දරුවනන්ට දැඩි පරීක්ෂාවට ලක් කරති. එහිදී දරුවා සායනයට යොමු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යොමු කෙරෙන අතර එසේ අවශ්‍ය නොවේනම් ඖෂධ නියම කෙරේ. ඖෂධ නිකුත් කෙරෙන්නේ වෙනමම ස්ථානයකිනි. සුදුසුකම්ලත් ඖෂධවේදීන්ගේ් අධීක්ෂණය යටතේ ඖෂධ සංයෝජක නිලධාරීන් විසින් කවුලු 9කින් ඖෂධ නිකුත් කෙරේ. මෙම ස්වාව ද දවසේ පැය 24 පුරාම සිදුවන්නකි.

බාහිර ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව වෙනමම රසායනාගාර අංශයක් ද ඇත. සියලුම රසායනාගාර පරික්ෂණ මෙහිදි සිදු වේ.

මීට අමතරව බාහිර ප්‍රතිකාර ඒකකයට සම්බන්ධව දන්ත සායනයක්ද, ප්‍රති ශක්තිකාරක අංශයක් ද, පෝෂණ සායනයක්ද , දියවැඩියාව සහ අන්තරා සර්ග රෝග සඳහා වෙනම අංශයක් ද, අක්ෂි සායනයක් ද ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් ද , කථන පුහුණු ඒකකයක් ද ඇත. දරුවාගේ වර්ධනය දුර්වල නම් මෙහි තිබෙන පෝෂණ අංශයෙන් අවශ්‍ය උපදෙස් ඕනෑම අවස්ථාවක ලබාගත හැකිය. එසේම ඇතැම් දරුවන්ට ක්‍රීඩා සඳහා යොමුවීමට අවශ්‍ය යෝග්‍යතා සායනික ලබා ගැනීමේ අවස්ථාව ද ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් හැකි වේ. ඕනෑම අවස්ථාවක පැමිණ මෙම රෝහලේ බාහිර රෝගී අංශයේ ඇති අක්ෂි ඒකකයෙන් තම දරුවාගේ ඇස් පරීක්ෂා කරවාගත හැකිය. සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුලත්වන එන්නතක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා ද ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ පහසුකම් ඇත. එසේම දරුවන්ට ඇතිවන ස්වසන ආබාධයකදී නෙබ්‍යුලයිස් ප්‍රතිකාරය ලබා දීමට අවශ්‍ය නම් දවසේ ඕනෑම වේලාවකදී ළමා රෝහලේ බාහිර රෝගී අංශය වෙත පැමිණිය හැකිය.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

විශේෂ ස්තූතිය - රසික චතුරංග මහතාට

(ලබන සතියේ හදිසි අනතුරු අංශය පිළිබඳ විස්තර)