සැත්කමින් පසු දැඩි සත්කාර ඒකකයේ  දින දහයක්

සැත්කමින් පසු දැඩි සත්කාර ඒකකයේ  දින දහයක්

මාවනැල්ල ගමගේ රෝහල
ජ්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ ගමගේ

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාට සිදු කළ ශල්‍යකර්මය පිළිබඳව පසුගිය කලාපය තුළින් අප ඔබ දැනුවත් කළා. අද එතැන් සිට.

වෛද්‍යතුමාගේ කිහිල්ලේ ගෙඩිය අවසානයේදී සැත්කමකින් ඉවත් කෙරෙැණ ද බලාපොරොත්තු නොවූ ලෙස සැත්කමට භාජනය කරන ලද තුවාලයේ වේදනාව ක්‍රමයෙන් වැඩිවන්නට විය. පසුව පෞද්ගලික රෝහලකට ගොස් තුවාලය පිරිසිදු කර නැවත බෙහෙත් දැමුවද වේදනාව සංසිඳුනේ නැත. වේදනාව සංසිඳවා ගන්නට ප්‍රබල වේදනා නාශක භාවිතා කළද සැත්කම කළ දකුණු කිහිල්ල ආශි‍්‍රතව හටගත් වේදනාව දකුණු අත දක්වා පැතිර යාමත් දකුණු අත ඉදිමීමත් සමඟ දැඩි වේදනාවකට පත් වී සිටි අතර වේදනාව කොතරම් ද කියතොත් දරාගත නොහැකි අසහනකාරී තත්ත්වයට වෛද්‍යවරයා පත් වී තිබුණි. සැත්කමට භාජනය කළ වෛද්‍ය ගල්කැටිය මහතාගේ උපදෙස් මත වේදනා නාශක වොල්ටරාන්ට් සපොසිටරි ගුද මාර්ගයෙන් ඇතුලත් කෙරුණි.

තත්ත්වය සුබදායි නොවූ හෙයින් පේරාදෙණිය රෝහලට වෛද්‍යතුමා ඇතුළත් කරණු ලැබූ අතර ඉජචද පරීක්ෂණයකින් සොයාගනු ලැබුවේ කිහිල්ලේ තිබෙන ප්‍රධාන ශිරාව හිර වී ඇති බවයි. වෛද්‍යතුමා පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කළ අතර එහිදී ප්‍රතිකාර සිදු කෙරුණි. අතේ ඉදිමුම කොතරම් ද කිවහොත් ඇඟිලි එකට ළං කිරීමට නොහැකි වන සේ ඉදිමී තිබිණි. එසේම වේදනා තත්ත්වයේ ද අඩුවක් නොතිබුණ අතර ප්ලාස්ටරයට පෙනෙන තරමට දියර ගැලීමක් ද සිදු වී තිබුණි.

කෙසේ වුවද ශල්‍යකර්මය මඟින් ඉවත් කළ ගෙඩිය ව්‍යාධිවේදී (බයොප්සි) වාර්තාවලට යවා ඇති මුත් මෙතෙක් ප්‍රතිඵල නොලැබී තිබීම වෛද්‍යතුමාගේ සිතේ දෙගෙඩියාවට හේතු විය. පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාලය පිළිබඳව වෛද්‍යවරයා මා හට පැවසුවේ මෙවැන්නකි.

යම්කිසි රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කවුරුන් හෝ දැනගත් වහාම ඔවුන් සිතන්නේ රෝගියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. ඒ නිසාදෝ ගමගේ දොස්තර මහත්තයාගේ කිහිල්ලේ ගෙඩියක් ඔපරේෂන් කරල අත පණ නැති වෙලා අත කපන්න වේවිද දන්නේ නැහැ. ජීවිතේ පවා ෂුවර් නැහැ. යනුවෙන් කටකතා පවා පැතිරුණි.

රෝගීන් ගණනාවක් සුවපත් කළ ගමගේ වෛද්‍යතුමා, සමාජ සේවකයකු ලෙසටත් ප්‍රකට නිසාදෝ ඔහුගේ රෝගී තත්ත්වය සොයා බලන්නට පේරාදෙණිය දැඩි සත්කාර ඒකකය ළඟ රැස්කමින් සිටි පිරිස අතර පන්සලේ ස්වාමින් වහන්සේලා ද දැඩි සත්කාර ඒකකය තුළට පැමිණ පිරිත් සජ්ජායනය කරන්නට පටන් ගත්තේ වෛද්‍යතුමා සුවපත් කිරීමේ අරමුණෙනි. අවසානයේ සෙනඟ පාලනය කරගත නොහැකි තැන No visitors for Dr. Gamage  නමින් දැන්වීම් පුවරුවක් ද එල්ල තිබීමට සිදු වූ බවයි.

කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ කාර්්‍ය මණ්ඩලයෙන් වෛද්‍යතුමාට ලැබුණේ සුවිශේෂ සැළකිල්ලකි. වෛද්‍යතුමා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු වීම නිසාදෝ වෛද්‍යවරුන් නිතරම වෛද්‍යතුමාගේ සුවදුක් විමසන්නට පැමිණි අතර පේරාදෙණිය වෛද්‍යපිඨයේ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් නිතරම ඔහුගේ සුවදුක් බලන්නට පැමිණිමට අමතක කළේ නැත. එපමණක් නොව ලබාදිය යුතු ප්‍රතිකාර ගැන නිතරම සාකච්ඡා කෙරිණ.

බලාපොරොත්තු නොවු පරිදි වෛද්‍යතුමාගේ දකුණු අත පණ නැති වී තිබෙන බවක් වෛද්‍යතුමාට දැණුනු අතර නිරන්තරයෙන් පොතපත ලියන, චිත්‍ර අඳින. වෛද්‍යවරයකු ලෙස රෝගියකුට සුළු සැත්කමක් හෝ කරන්නට තිබෙන දකුණු අතට යමක් සිදු වුණොත් එතුමාගේ ජීවිතය පවා කඩා වැටෙන බව නම් ස්තීරය. එබැවින් පණ නැති වූ භාවයෙන් දකුණුත මුදා ගන්නට ඒ බව ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට නිතරම දැනුම් දීමට වෛද්‍යතුමා අමතක කළේ නැත.

වෛද්‍ය ගමගේ දක්ෂ ලේඛකයෙකි. ග්‍රන්ථ ගණනාවක්ම රචනා කර ඇත. දැඩි සත්කාර ඒකකයේ එතුමාට සත්කාර කරන හෙද කාර්ය මණ්ඩලය කෘතගුණ දැක්වීට ඔහු විසින් හෙද කාර්ය මණ්ඩලයට එතුමා විසින් රචිත ග්‍රන්ථ ලබා දුන්නේ ඉතා සතුටිනි.

ලබන සතියේ

තවම බයොප්ස් රිපෝට් තවමත් ඇවිල්ලා නැහැ