විවිධ අවශ්‍යතා අනුව නිපැයූ ඇස් කණ්ණාඩි කාච වර්ග

විවිධ අවශ්‍යතා අනුව නිපැයූ ඇස් කණ්ණාඩි කාච වර්ග

 

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයතනය
මිහිර වික්‍රමාරච්චි

ඇස තුළට තදබල ලෙස වැටෙන ආලෝක ධාරා ඉවත් කළ හැකි කාච වර්ග ද නිපදවා තිබෙන අතර මෙම කාච වඩාත් යෝග්‍ය වන්නේ අව් කණ්ණාඩි සඳහායි. සාමාන්‍යයෙන් කැඩපතක් මතට හිරු එළිය වැටෙන විට ඒ දෙස බැලීම පියවි ඇසකට වුවත් ඉතා අපහසු වේ. නමුත් මෙම කාච වර්ග හරහා එවැනි තද ආලෝක තත්ත්ව පවා යම් පෙරණයන්ට (Filter කිරීමෙන්) ලක්කර ඇස තුළට ලබා දේ. මෙවැනි විවිධ කාච වර්ග හරහා පෙරට වඩා තමාගේ අවශ්‍යතාවලට අනුකූලවන පරිදි ඇස් කණ්ණාඩි තෝරාගත හැකියි.

ඇස් කණ්ණාඩියක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා ගණනාවක් තිබේ. ඒවා අතර තමාට ගැලපෙන දුෂ්ටි පරාසයට අදාළ ඇස් කණ්ණාඩි මිලදි ගැනීම වගේම විවිධ අපහසුතාවලට අදාළ ඇස් කණ්ණාඩි භාවිතා කිරීම ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වේ. මේ වනවිට එම අවශ්‍යතා සඳහා උචිත වන පරිදි නිර්මිත, කාච වර්ග ගණනාවක් වෙළඳපලට පැමිණ තිබෙන අතර මෙවර ලිපිය යටතේ සාකච්ඡාවට ලක් වන්නේ ඇස් කණ්ණාඩි සඳහා භාවිතා කරන කාච වර්ග පිළිබඳවත් ඒවා සතු විශේෂත්වය පිළිබඳත්ය.

ඕනෑම ඇස් කණ්ණාඩි කාචයක පවතින ප්‍රධාන ගැටලුව වන්නේ එහි පෘෂ්ඨය මත වඩාත් පහසුවෙන් දුහුවිලි, තෙතමනය හා පැල්ලම් ඇතිවීමයි. නමුත් නවතම තාක්ෂණික ශිල්පක්‍රම භාවිතයෙන් නිපද වූ ඇස් කණ්ණාඩි කාච පෘෂ්ඨයන් හි ඇති ලිස්සන සුලු බව නිසා එවැනි ගැටලු කිසිවක් ඇති නොවේ. ඒ නිසා බෙහෝ කාලයක් කණ්ණාඩි කාචය පිරිසුදුව තබාගත හැකි අතර පිරිසුදු කිරීමට අවශ්‍ය නම් ඉතා පහසුවෙන් එය පිරිසුදු කිරීමට ද හැකියි. මේ ගුණාංගය නිසා වර්ෂාව සහිත අවස්ථාවකදී වුවත් ඔබේ කණ්ණාඩියේ පෘෂඨයේ තෙත පැල්ලම් ඇතිවීම වළකනු ලැබේ.

තවද මෙම අති නවීනතම කාච වර්ගවල පවත්නා තවත් විශේෂත්වයක් වන්නේ අධෝරක්ත කිරණ පෙරා ඉවත් කිරීමයි. එම අහිතකර කිරණ 80%ක් වැනි ප්‍රතිශතයකින් මෙසේ ඉවත්ව යන අතර ඉතාමත් පැහැදිලි දසුන් ලබා ගැනීමට හැකියාවක් ද ලැබේ. තවද පෘෂ්ඨය අඳුරු කිරීම (Tint) හරහා ද අධෝ රක්ත කිරණ වලින් ආරක්ෂා විය හැකි ලෙසද ඇස් කණ්ණාඩි කාච වර්ග නිපදවීමද තවත් විශේෂත්වයකි.

මෙසේ යම් කණ්ණාඩි කාචයක පෘෂ්ඨය අඳුරු කිරීම කරුණු දෙකක් මත රඳා පවතීයි. ඒවා නම් භාවිතා කරන තැනැත්තාගේ අවශ්‍යතාව හා ඇතැම් අක්ෂි දුර්වලතාවල ස්වභාවයන්ය. බොහෝදුරට තමාගේ පෞද්ගලික වුවමනාවන් අනුව ඇස් කණ්ණාඩි කාචයක, පෘෂ්ඨය අඳුරු කිරීමට හේතු වන්නේ මෝස්තරයක් වශයෙන් ඒවා පැළඳීමට තිබෙන කැමැත්තයි. කෙසේ වෙතත් මෙවැනි කුමන අරමුණක් සහිතව ඒවා භාවිතා කළත් ඇසට අපහසුවක් සිදු නොවන පරිදි පැහැදිලි දසුනක් ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

තවත් කාච වර්ග ගණනාවක් තිබෙන අතර විවිධ ආලෝක තත්ත්ව යටතට අනුවර්තනය විය හැකි පරිදි නිපද වූ ඇස් කණ්ණාඩි කාච වර්ග පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ හැකියි. විශේෂයෙන් මෙම කාච වර්ග අධෝරක්ත කිරණවලට නිරාවරණය වුවොත් අඳුරු පැහැ ගැන්වෙන අතර මෙසේ වෙනස් වන වර්ණයන් තද ආලෝකයේදී සුව පහසුව මෙන්ම ආරක්ෂාව සැපයීම ඉතා විශේෂිතයි. මෙවැනි කණ්ණාඩි කාච සහිත ඇස් කණ්ණාඩි කෙතරම් කාලයක් භාවිතා කළත් (විශේෂ දුර්වලතාවකදී හැරුණු විට) ගැටලුකාරී නොවේ.

වඩාත් ඝනකම් වූ හෝ රාමු රහිත කාචයන් හි කෙළවර ඔප දැමීමට හැකි අතර මෙම කෙළවර ඔප දැමූ කාච වර්ග පැහැදිලි පෙනුමක් ලබා දෙනවා මෙන්ම වඩාත් සිහින් බවින් ද යුක්තය. තවද පරිගණක භාවිතා කරන අය වෙනුවෙන්ම නිපැයූ කාච වර්ග ද තිබෙන අතර කියවීම සඳහා ද වෙනස්ම වූ ගුණාංගවලින් යුතු ඇස් කණ්ණාඩි වර්ග නිපදවා තිබේ.

ඇස තුළට තදබල ලෙස වැටෙන ආලෝක ධාරා ඉවත් කළ හැකි කාච වර්ග ද නිපදවා තිබෙන අතර මෙම කාච වඩාත් යෝග්‍ය වන්නේ අව් කණ්ණාඩි සඳහායි. සාමාන්‍යයෙන් කැඩපතක් මතට හිරු එළිය වැටෙන විට ඒ දෙස බැලීම පියවි ඇසකට වුවත් ඉතා අපහසු වේ. නමුත් මෙම කාච වර්ග හරහා එවැනි තද ආලෝක තත්ත්ව පවා යම් පෙරණයන්ට (Filter කිරීමෙන්) ලක්කර ඇස තුළට ලබා දේ. මෙවැනි විවිධ කාච වර්ග හරහා පෙරට වඩා තමාගේ අවශ්‍යතාවලට අනුකූලවන පරිදි ඇස් කණ්ණාඩි තෝරාගත හැකි වේ. එම තෝරාගැනීම් සිදු කිරීමට පෙර මෙම කාච වර්ග මොනවාද යන්න පිළිබඳව නිසි ආකාරව දැනුවත් විය යුතු අතර එය ඔබට වඩාත් පහසු පෙනීමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.