මොළයට පණ දෙන්නට කනවා නම් මෙන්න කෑම

මොළයට පණ දෙන්නට කනවා නම් මෙන්න කෑම

අප බොහෝවිට ආහාර ගන්නේ කුස පිරවීමටය. එහෙත් ආහාරගත යුත්තේ කුස පිරවීමට පමණක් නොවේ. එම ආහාරවලින් ලැබෙන පෝෂණය හා සෞඛ්‍යයමය තල්ලුව කිසිලෙසකින් වත් අමතක නොකළ යුතුය. සමහර ගුණ එළවළු යම් කාලවලදී මිල අඩුය. එසේම මිල තරමක් වැඩිවුවද ගුණදායි බව සලකා යම් ආහාර, ආහාරවේලට එක්කර ගැනීම නුවණැති ක්‍රියාවකි. මේ විශේෂ ගුණැති ආහාර කිහිපයක් ගැන තොරතුරුය.

බ්‍රොකොලි සහ කෝලිෆලවර්

මේ දවස්වල මල්ගෝවා (කෝලිෆ්ලවර්) සුලබය. මල්ගෝවා, බ්‍රොකොලි, ගෝවා, ගෝවා කොළ ආදී ගෝවා කුලයට අයත් සියලු එළවළු වර්ග තුළ ප්‍රතිඔක්සිකාරක, ඛනිජ පෝෂක, ප්‍රතිපෝෂක ආදිය කෙතරම් සුලබව පවතිනවාදයත් මොළයෙහි පටක ධූලක (විෂ වර්ග) වලින් ආරක්ෂා කිරිමට ඒ ආහාර සමත් වෙයි.

ඇමෙරිකාවේ හාර්වර්ඩ් සරසවිය සහභාගී වන්නන් 13388ක් යොදාගෙන සිදු කළ පර්යේෂණයක් මඟින් පෙන්වා දී ඇත්තේ ගෝවා කුලයේ ආහාර නිතර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මනා සේ ක්‍රියාකාරීවීම හා මතක ක්‍රියාවලිය රැක ගැනීමට ඇති හැකියාව ඉහල යන බවය.

මෑ ඇට ඇතුළු පියලි ඇට

මෑ, මුං, බෝංචි, කිඩ්නි බීන්ස් ඇතුළු අනෙකුත් පියලි ඇට මඟින් මොළයට අවශ්‍ය ඉන්ධන සපයන ග්ලූකෝස් (කාබෝහයිඩ්‍රේට්) ලබාදෙයි. එසේම මෙම ඇටවර්ග තුළ සුලබව පවතින තන්තු (ෆයිබර්) නිසා මෙම ග්ලූකෝස් අවශෝෂණය සෙමින් සිදුවන්නේ මොළයට අවශ්‍ය ශක්තිය තිරසාර ලෙස ලබා දෙමින් සහ අවදි බව සහ අවධානය දිගින් දිගටම රැකගැනීමේ යෙදෙමිනි.

මේ අතර බෝංචි ගණයේ ඇට තුළ ප්‍රතිඔක්සිකාරක, යකඩ සහ තයමීන් ඇතුළු වෙනත් පෝෂක ද සුලබය. එමඟින් ස්නායු ක්‍රියාකාරීත්වය සහ මතක ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට උපකාර ලැබේ.

ඔලිව් තෙල්

මොළයෙහි සියයට 50ක්ම තැනී ඇත්තේ මේදයෙනි. එහෙයින් මොළයට ආහාර වශයෙන් සෞඛ්‍යයට හිතකර මේද ලැබීම අත්‍යවශ්‍යය. ඔලිව් තෙල් තුළ අඩංගුව ඇත්තේ ඒක අසංතෘප්ත මේදයෙනි. වෙනත් ඇට වර්ග (කොට්ටන්, කජු, ආමන්ඩ් ආදී) අලිගැටපේර, තලතෙල් ආදියෙහි ද මෙම මේදය අඩංගුය.

මෙම ආහාර ගැනීම නිසා මොළයේ සෛල ව්‍යුහය සහ නම්‍යතාවය නිසිලෙස පවත්වාගෙන යාමට මෙන්ම වයස්ගතවීම නිසා ඇතිවන හානිවලින් ද මොළයට ආරක්ෂාව සපයයි. මෑතකදී සිදුකළ එක් අධ්‍යනයකින් පළකරන්නේ ඔලිව් තෙල් තුළ අඩංගු ඩලියෝතෑන්තල් නම් රසායනිකයට ඇල්ෂයිමර් රෝගයෙන් ස්නායු සෛල ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවයි.

නිවිති

නිවිති, ගෝවාකොළ (කේල්) ටර්නිප් ආදී තද කොළ පැහැති එළවළු (සලාද ඇතුළු යකඩ වලින් පෝෂිතය. මෙම යකඩ මොළයෙන් ස්‍රාවය වන ඩොපමීන් සහ සෙරොටනීන් යන ස්නායු සම්පේ‍්‍රෂක නිෂ්පාදනය ඉහළ යවයි. ඒවා ඉගෙනීම හා මතක හැකියාව නංවාලීමට සමත්ය. යකඩ ඌනතාවය ඇති වූවහොත් මතකය, අවධානය සහ මානසික ක්‍රියාවලිය බිඳ වැටිය හැකිය.

මේ අතර නිවිති තුළ ඇති ප්‍රතිඔක්සිකාරක රසායනිකය මොළයේ සෛලවලට ආරක්ෂාව සැපයීමට ද සමත්ය.

තේ හා කෝපි

අලුයම පානය කරන තේ හෝ කෝපි කෝප්පය තුළ අඩංගු කැෆේන් මධ්‍යම වශයෙන් ගත්විට මොළය උත්තේජනයට සමත්ය. එමඟින් අවධානය සහ මතකය දියුණු වෙයි. මැදිවයසේ පසුවන අයට දවසකට තේ කෝපි කෝප්ප 3 -5 දක්වා පානය කිරීමෙන් චිත්ත වික්ෂේපය ඇතිවීමේ අවදානම 86%කින් කපා හැරිය හැකි බව වාර්තා වෙයි.

වයස්ගත අයගේ මානසික පරිහානිය වළක්වාලීමට දිනකට කොළ තේ කෝප්ප 2ක් පානය කිරීම උදව් වන බවට ද පර්යේෂණයන් දක්වයි.

බෙරි වර්ගයේ පලතුරු

ස්ට්‍රෝබෙරි, රතු මිදි, ජම්බු, ලොවි ඇතුළු බෙරි පවුලට අයත් පලතුරු තුළ ඉතා ඉහළ ප්‍රමාණයෙන් ප්‍රති - ඔක්සිකාරක සහ ඇන්තොසයනීන් අඩංගු අතර මොළයේ සෛල ධූලක (විෂ) වලින් ආරක්ෂා කිරීමට ඒවා සමත්ය.