ආතතියෙන් මිදෙන්න රමණීය සොඳුරු ඉසව්වක සුන්දරත්වය විඳින්න යමුද නුවරඑළියේ සවාරියක්

ආතතියෙන් මිදෙන්න රමණීය සොඳුරු ඉසව්වක සුන්දරත්වය විඳින්න යමුද නුවරඑළියේ සවාරියක්

සොබා දහමේ සුන්දරත්වය විඳිමින් නෙක විසිතුරු සෞන්දර්යාත්මක චාරිකාවකින් අප නෙත් සිත් සනහාලන්නට ඇත්නම් මනසට දැනෙන සතුට සොම්නස වචනයෙන් කියා නිම කළ නොහැකියි. සොබා දහමේ සෞන්දර්යත්වයෙන් විරාජමාන වු විචිත්‍රවත්වු රමණිය සොඳුරු ඉසව්වක සුන්දරත්වය විඳිමින් නෙතට රසඳුනක්වී මනස සුවපත් කරන්නට හැකිනම් ඇතැම්විට එය ඔබ මනස නිරෝගී කරන්නට සමත් දිව ඔසුවක් විය හැකියි.

මනස නිවි සැනහි තබන්නට ස්වභාවධර්මාගෙන් අලංකෘතව ඉසව් අපේ මේ පුංචි රටේ ඕනෑ තරම්. පවුලක් ලෙස එක්වී පරිසරයේ රසාස්වාදයේ පහස විඳිමින් නිවාඩුවක් ගත කරන්නට,සිතා සිටින ඔබට එහි සුන්දරත්වයේ අග්‍රඵලය රිසි සේ විඳින්නට හැකි තෝතැන්නක් තෝරා දීම මේ ලිපියේ ප්‍රධාන අරමුණයි.

දින - සති - මාස ගණනන් ජිවිතයේ දෛනික කටයුතු එක්ක ඔට්ටු අල්ලන, රැකියාවේ අභියෝග ජයගන්නට දිවා රෑ නොතකා වෙහෙසෙන, දරුමල්ලන්ගේ අධ්‍යාපන තරඟයට මුහුණ දෙන්නට ටියුෂන් රැල්ලේ දුවන, දහසින්බැඳි පියලි සොයන්නට අනෙකා පරයා තරඟ වඳින, සමාජයක මේ සියලු හේතුන් අරභයා ආතතිය අප මනසට ළං වන්නේ කාටත් හොරා.

ආතතියේ ළඟම නෑදෑයා විෂාදයයි. බොහෝ විට විෂාදය කෙළවර වන්නේ මානසික රෝගි තත්ත්වයෙන්.

දැඩි මානසික ආතතිය නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද්‍යාබාධ ඔබ පසුපස හඹා ඒම වළක්වාලන්නට බැහැ.

මානසික ආතතියෙන් මිදෙන්නට හොඳම ඔසුවක් වන්නේ ස්වභාවධර්මයා සමග සමීපවීමයි. ඔබේ සුව සෙත පිණිස ආරෝග්‍යා ඔබ වෙනුවෙන් මේ නවතම විශේෂාංගය ආරම්භ කරන්නේ අප රටේ සුන්දර ස්ථාන සියැසින් දැක එහි සුන්දරත්වයේ ආශ්වාදය විඳිමින් ඔබේ මනස සුවපත් කිරිමට අත්වැලක් සපයන්නටයි.

මේ ලිපියේ ඇරඹුමත් සමඟ මා සිතුවේ පුංචි එංගලන්තය නමින් විරුදාවලිය ලත් නුවරළියට ඔබ කැඳවාගෙන යන්නටයි.

කඳු ශිඛකර සිප ගනිමින් ඇද හැලෙන දිය ඇලි, කොළ පැහැති පලසක් ඇතිරූ ලෙසින් දිස්වන අති රමණිය තේ වතු, තේජසින් යුතුව විරාජමානව බැබැලෙන කඳු වැටි, මේ සියල්ලෙන් අනුනවු නුවරඑළියේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරිමට ශීත දේශගුණයත් සමත්වෙනවා.

නුවරඑළියට පා තබන ඕනෑම කෙනෙක් නොවැරදීම යා යුතු ස්ථානයක් වන්නේ නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයටයි. නුවරඑළියේ නගරය මධ්‍යයේ පිහිටි මේ මල්වත්ත අතිශයෙන් සුන්දර වූ වෛවර්ණ මලින් අලංකෘතවි තිබෙනවා. ශීත පළාතට පමණක් සීමාවි ඇති සුවිශේෂ ගණයේ වර්ණවත්වු මලින් පිරුණු අතිශයින් සුන්දරවු වික්ටෝරියා උද්‍යානය දුටුවන් නෙත් සිත් ආකර්ශනීය වන අයුරින් යුත් ආදරණිය හැඟුම් දනවන විචිත්‍ර වූ රෝසමලින් ගහණ ස්ථානයක්. පෙම්වතුන්ට නිදහසේ ආදරයේ සුන්දරත්වය විඳින්නට, පවුලක් ලෙස දු දරුවන් සමග එක්වි විනෝදවන්නට මල්වත්ත කදිම තෝතැන්නක්.

නුවරඑළිය මල්වත්තෙන් මදක් ඔබ්බට ගිය විට ඔබ නෙත ගැටෙන්නේ රේස්කෝස් (තුරඟ තරඟ පිටියයි.) වසන්ත සැණකෙළිය සමයේ අතුරු සිදුරු නැතිව පිරි තිබෙන රේස් කෝස් එක කෙළවර දරුපැටවුන්ට පෝනියෝ පිට රවුමක් යන්නටත් අවස්ථාවක් සළසා ගත හැකි ලෙස පෝනියෝ ගාල්කර තිබෙනවා.

ග්‍රෙගරි වැව නුවරඑළියේ තිබෙන දර්ශනීයතම ස්ථානයක් කිව්වොත් එය නිවැරදියි. ලොකු කුඩා කාහටත් රිසිසේ විනෝදවන්නට, වැව වටේ බෝට්ටු සවාරි යන්නට, කදිමයි. තරුණ ජවයට රිසිසේ ඉඩකඩ සළසන හයි ස්පීඩ් බෝට්ටු මෙන්ම කුඩා දරුවන්ට පවුල් පිටින් යාහැකි සාමාන්‍ය මෝටර් බෝට්ටු මෙන්ම තනිවම පැද යා හැකි හංස බෝට්ටුද මේ අතර වෙනවා.

මා මේ සඳහන් කරන ස්ථානය නම් නුවරඑළියට යන බොහෝ දෙනෙකුගේ නෙත නොගැටෙන ස්ථානයක්. ඒ තමයි ලංකාවේ තිබෙන උසම ගම්මානය වන ශාන්තිපුර. නුවරඑළිය නගර මධ්‍යයෙන් යා හැකි ශාන්තිපුර සහ කලාපුර නැමැති ගම්මාන දෙකම පිහිටා ඇත්තේ නුවරඑළිය පොළොව මට්ටම වඩා උසින් පිහිටි කඳු වැටියකයි. ජනාකීර්ණ ගම්මානයක් වන මෙහි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතින්ගෙන් යුතු පවුල් 3000 ක් පමණ ජීවත්වනවා. රැකියාව වශයෙන් එළවළු වගාව, තේ වගාව,මල් වගාව ප්‍රධානයි. ලංකාවේ උසම විහාරය වන චේතියගිරි විහාරයත්, කතෝලික පල්ලියක් සහ කෝවිලක්, තැපැල් කාර්යාලයක්, පාසලක්, ප්‍රජාශාලාවකින්ද මෙම ගම සමන්විතයි.

නුවරඑළියේ සිට ශාන්තිපුරට බස් සේවා යොදා තිබෙන අතර බස් රථයෙන් පවා මෙම ගමට පැමිණිය හැකියි.

නුවරඑළිය ප්‍රාදේශිය සභාවෙන් පාලනය කරන ශාන්තිපුර නැරඹුම් මැදිරිය ගියවිට මුඵ නුවරඑළියම එක ඉසව්වකට දැක ගන්නට පුඵවන්. අතිශයින් අලංකාර දර්ශන පෙළක් මෙහිදි ඔබ නෙත ගැටෙන අතර හග්ගල කන්ද, නමුණුකුල කන්ද, සඳතැන්න, හාවාඑළිය, ලංකාවේ උසම ස්ථානයවු පිදුරුතලාගල කන්ද, කිකිළියාමාන කන්ද, හෝර්ටන් තැන්න, ග්‍රෙගරි වැව, ඔලිෆන්ට් වත්ත ආදි මනස්කාන්ත සුන්දර දසුන් ඔබ මනසේ සනිටුහන් වන්නේ මේ සංචාරයේ අමරණිය මතක සටහන් ඔබේ ජීවිතයට එක්කරවමිනි.