කල්පැනපු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පිළිකා කාරකයිකල්පැනපු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පිළිකා කාරකයි

කල්පැනපු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පිළිකා කාරකයි

ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩ, පාරිභෝගික දිවිය හා අතිශයින් බැඳී තිබේ. එබැවින් ඉන් මීදිම නම් අපට කෙසේවත් කළ නොහැකිය. නමුත් ගැටලුව වන්නේ මෙවැනි ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩවල තිබෙන ප්ලස්ටික් හා බැරලෝහය.

මේවාට නිරාවරණය වීමෙන් මිනිසාට විවිධ වූ සංකුලතා රැසකට මුහුණ දීමට සිදුවන බව හඳුනාගෙන තිබේ.

එබැවින් එහි අහිතකර තත්ත්වයන් හඳුනාගැනීම මෙන්ම ඉන් ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීමට සැලකිලිමත්වීම වැදගත්ය.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

(E Waste)

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු ආයුකාලය අවසන් වූ, භාවිතයෙන් ඉවත්කළ ඉලෙක්ටෙ‍්‍රානික උපකරණ වේ.

රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, ජංගම දුරකථන, ඡායාපිටපත් යන්ත්‍ර, කැසට් යන්ත්‍ර. විවිධ ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු, ෆැක්ස් යන්ත්‍ර, ගණක යන්ත්‍ර වැනි ඉලෙක්ටෙ‍්‍රානික උපකරණ මීට අයත් වේ.

මෙවැනි ඉලෙක්ට්‍රොනික උපාංගවල විවිධ විෂ රසායන අඩංගුවන අතර ආයු කාලය අවසන් වු හා භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් උපකරණ, අවිධිමත් ලෙස පරිසරයට බැහැර කීරිමෙන් මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද විවිධ හානිකර රසායන මුසුවීම සිදුවිය හැක. එම විෂ ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමෙන් මිනිස් ජීවිතවලට සේම අනිකුත් සතුන්ගේ පැවැත්මටද හානිකර බලපෑම් ඇතිවේ.

බ්‍රෝමීනිකෘත ද්‍රව්‍ය

මෙම ද්‍රව්‍ය ගිනිගැනීම් වැළැක්වීම් සඳහා ප්ලස්ටික් සමඟ මිශ්‍ර කරනු ලැබේ. මෙම බ්‍රෝමීනිකෘත ප්‍රතිරෝධක හෝර්මෝන ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි. විශේෂයෙන් කුඩා දරුවන් මේවාට නිරාවරණය වීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ මෙන්ම ස්නායු ආබාධ ගැටලුවලට ගොදුරු වීමේ අවදානමක් සහිතය.

කැඩිම්යම්

මේවා මළ බැඳීම් වැළැක්වීමේ ආලේපනයක් ලෙස පරිගණක ස්විචවලට (Switches) යොදා තිබේ. මීට අමතරව නිකල් කැඩිමියම් බැටරිවල අඩංගු වේ. පුද්ගලයකු අධිකව කැඩ්මියම්වලට නිරාවරණය වීමෙන් පෙණහලු ආබාධවලට මෙන්ම මරණයට පවා ගොදුරු විය හැකි වේ. එසේම කුඩා ප්‍රමාණවලින් දිගුකාලීනව මීට නිරාවරණය විමෙන් වකුගඩු ආබාධ හෝ රුධිර පීඩනය වැනි තත්ත්ව හට ගැනීමේ අවදානමක් ද සහිතය.

ආසනික්

ආසනික් පරිගණක චිප්වල මෙන්ම ආලෝකය මුදාහරින ඩයෝඩවල අන්තර්ගත පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙමඟින් සමේ හා පෙණහලු පිළිකාවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතී.

ක්‍රෝමියම්

ප්ලාස්ටික් ශක්තිමත් කිරීමට මෙන්ම වර්ණක නිෂ්පාදනයේදී ද භාවිත කරයි. මේවා ශරීරගතවන විධි හා ප්‍රමාණ අනුව විවිධ රෝගී තත්ත්ව ඇති කිරීමේ අවදානමක් පවතී. ආශ්වාස විමේදී පිළිකාකාරයක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව ද පවතී.

ලෙඩ් (ඊයම්)

කැතෝඩකිරණවල ලෙඩ් අඩංගුවන අතර පෑස්සීමේ කටයුතුවලදී ද භාවිතා වේ. ඊයම්වලට නිරාවරණය වීමෙන් ආහාර අරුචිය. මස්පිඬු වේදනාව, හිසේ කැක්කුම ආදී තත්ත්වද හටගත හැකිවේ. මේවාට දිගුකාලීනව නිරාවරණය වීමෙන් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණවිය හැකි වේ.

එමෙන්ම පුද්ගලයකු අධිකව මීට නිරාවරණය විමෙන් මොළයේ ආබාධයන්ට ගොදුරු මේ හැකියාව මෙන්ම මරණය පවා සිදුවීමේ අවදානමක් සහිතය. ඊයම් බහුලව අඩංගු භාණ්ඩ අතර කැතෝඩකිරණ රූපවාහිනී (CRT television)  කැතෝඩකිරණ මොනිටර (CRT Monitor) ජංගම දුරකථන ඇතුළු තොරතුරු හුවමාරු තාක්ෂණික මෙවලම් බැටරි වර්ග, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ හඳුනාගත හැක.

ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල අඩංගු බැරලෝහ භාවිතය අවම කළ හැකි ක්‍රම

අපගේ එදිනෙදා කටයුතුවලදී පැතලි තිර මොනිටර භාවිත කිරීම, පැතලි තිර සහිත (Flat Screen) රූපවාහිනී භාවිත කිරීම මෙන්ම පැරැණි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඒවායේ අවශ්‍යතාවක් සහිත පාසල් හෝ එවැනි ආයතනවලට පරිත්‍යාග කිරීම සහ එවන් භාණ්ඩ පිළිස්සීමට ලක් කිරීමෙන් වැළකීම ගත හැකි ක්‍රියාමාර්ග වේ.

දැනට දිවයිනේ මෙවැනි භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන පවතීන අතර මෙවැනි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඒවාට භාරදිය හැකි වේ. තවද ආයු කාය අවසන් වූ භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පරිසරයට මුදා හැරීමෙන් මිනිසාටත් පරිසරයටත් ගණනය කළ නොහැකි තරම් අහිතකර බලපෑමක් සිදු වේ.

එසේම මෙම බැරලෝහ සහිත ප්ලාස්ටික් පරිසරයට මුදහැරීමෙන් සිදුවන හානිය අවම කරගත හැක්කේ ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් පමණකි. එබැවින් සුවදායක පරිසරයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත්තේ අපට පමණකි. එබැවින් මේ පිළිබඳ අතිශයින් සැලකිලිමත් වීම හා ඒවා නිසිලෙස බැහැර කිරීමට දායක වීම පමණකි.