දද කුෂ්ට බෝ වෙනවාද?

දද කුෂ්ට බෝ වෙනවාද?

එක්තරා රෝගීයෙන් සායනයට ආවේ තමන්ගේ කකුලේ තියෙන දදයට (Eczema) ප්‍රතිකාර ගන්නයි. ප්‍රතිකාර වලටත් වඩා ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ බිරිඳට මෙය බෝ වන්නට පුළුවන්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමයි. බොහෛ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් ඒ නිසා දදය හෙවත් Eczema  ගැන කතා කිරිම වඩාත් යෝග්‍යයි මම සිතනවා.

“දදය” කියන්නේ සමේ ඇතිවන රෝගි තත්ත්වයක්. ඇත්තටම දදයට නිශ්චිත රෝග ලක්ෂණයක් හෝ පින්තූරයක් ආකාරයට විස්තර කළ හැකි ස්ථීර රෝග තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ “දදය” එක් ආකාරයකට වියළි සමක්, ඉරි තැලීමක් හා කැසීමක් පමණක් ලෙස දකින අතර තවත් ආකාරයටකට ඉස්ම හෝ ශ්‍රාවයන් ගලනා, තුවාලවු සම ඝනකමවු කැබලි ගැලවී යන ඇසට සොඳුරු දසුනක් නොවන “කුෂ්ඨ” යක් ලෙස දැකිය හැකියි. පොදුවේ ගත් කළ “දදයක” ඇති රෝග ලක්ෂණ ලෙස සම වියළීම, රතු වීම, කැසීම, ඉරිතැලීම, කබොල්ලක් ඇති වීම, කුඩු ලෙස ගැලවී යාම, වතුර බිබිලි ඇති වීම, ඉස්ම හෝ ශ්‍රාවයන් ගැලීම, සමහර විට රුධිරය ගැලීම ලෙස විස්තර කළ හැකියි.

“දදය” ඇති වන්නේ ඇයි ද කියන කාරණය තවමත් පැහැදිලි නැති දෙයක්. නමුත් එය පාරම්පරිකව ආරයට යන හෝ පාරිසරික කාරණා නිසා ඇතිවන දෙයක් බව නම් පැහැදිලියි. පපුවේ මහන්සිය හෝ ඇදුම, දදය ආදී රෝග අසාත්මික ගනයේ ලා සැලකෙන රෝග වර්ගයි. (Allergic diseases) ඒ කියන්නේ පරිසරයේ ඇති කිසියම් ද්‍රව්‍යයකට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් ඇතිවන රෝගයි. අපගේ ශරීරය විෂබීජ පමණක් නොව පරිසරයේ වෙනත් ආගන්තුක දෙයක් පවා ශරීරයට අයිති නැති ඒවා සේ සලකා ඒවා විනාශ කිරීමට “ආයුධ” නිපදවනු ලබනවා. මේවා “ප්‍රතිදේහ” ලෙස හඳුන්වනු ලබනවා. මේ ප්‍රතිදේහ නම් වූ ආයුධ හා අදාල පාරිසරික ද්‍රව්‍ය සටන් කිරීමේදී ඇතිවන ප්‍රතිඵලයක් ලෙස දදය, ඇදුම වැනි රෝග ඇති වෙනවා.

විශේෂයෙන් නිවෙස් තුළ පවතින දූවිලි ආශි‍්‍රතව සිටිනා “දූවිලි මැක්කා” (House dust mite) නම් වූ ඉතා කුඩා ජීවියාගේ කොටස්වලට මෙවැනි රෝග ඇති කළ හැකි බැව් සොයාගෙන තිබෙනවා. ඒ වාගේම “බිත්තර” වැනි ආහාර වර්ගවලට ඇති ප්‍රතිචාරයක් ලෙසද “දදය ඇතිවීම සිදුවිය හැකියි.

නමුත් මෙහිදී සඳහන් කළ යුතු විශේෂ දෙයක් වන්නේ ආහාර අසාත්මිකතාව Food Allergy නිසා ඇතිවන රෝග ලක්ෂණ, “දදය” තුළ ඇති රෝග ලක්ෂණ වලින් වෙන්කර ගැනිමයි. ඉහතින් සඳහන් කළ පරිදි බිත්තර හෝ තවත් එවැනි ආහාර නිසා “දද” ඇති විය හැකි වුවද “ආහාර සඳහා ඇති අසාත්මිකතාව“ ඊට වඩා වෙනස් දෙයක් බව මතක තබාගත යුතු වෙනවා.

“දදය” ඇති වූ ස්ථානයේ කැසීමේදී නියපොතුවලට තුවාල වී, එම තුවාල සුව වීමට කබොල්ලක් හෝ තුවාල කැලලි (Scar) සෑදීම නිසා දදය ප්‍රමාණයෙන් වැඩිවිය හැකි වෙනවා. මේ නිසා “දදයක්” ඇති වූ විට කැසීම පාලනය කර ගැනීම ඉතා වැදගත්. අදාළ ඖෂධ වර්ග හා කැසීමෙන වැළකීමට මනස යොමුකිරිම වඩාත් යෝග්‍යයි.

“දදය” සඳහා සම්පූර්ණයෙන් සුවකළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් ඇත්තේ නැහැ. නමුත්, සාර්ථක ලෙස රෝග ලක්ෂණ පාලනය කර රෝග තත්ත්වය ඉවත් කිරීමට හෝ පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. ඖෂධ ප්‍රතිකාර මඟින් ප්‍රදාහය තත්ත්වය අඩු කර ගැනීමත්, ශ්‍රාවයන් ගැලීම නැවතීමත් කැසීම නැවතීමත් විෂබීජ මඟින් “දදය” පැසවීම වැළක්වීමත් සිදු කරනු ලබනවා. මේ නිසා රෝගියාගේ ජීවන තත්ත්වයට සහනයක් ඇති කරනු ලබනවා.

දදය සෑදෙන්නේ ශරීරය තුල පවතින ප්‍රතිශක්කිකරණ පද්ධතියේ ප්‍රතිචාරයක් මත නිසා මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ නැහැ. සාමාන්‍යයෙන් බෝ වන රෝගයක් වන්නේ, විෂබීජ මඟින් ඇති කරන රෝග තත්ත්වයන් වන අතර “දදය” විෂබීජයක් නිසා ඇති නොවන දෙයක් නිසා තවත් කෙනෙකුට බෝ වීමේ අවදානමක් කිසිසේත් ඇත්තේ නැහැ.

දදයක් ඇතිවන ආකාරයත් එය තවත් කෙනෙකුට බෝ විය හැකිද යන්නත් ගැන පාඨක ඔබට දැන් වැටහෙනවා ඇති.