ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් සිදුවන සුව සත්කාර සේවාවන්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් සිදුවන සුව සත්කාර සේවාවන්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න

වසර 30කටත් වඩා පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 2015 වසරේ සිට නව අධ්‍යක්ෂමණ්ඩලයක් යටතේ ක්‍රියාත්මකයි. රෝහලකින් සිදුවන සුව සත්කාරක සේවා සැපයීමේ කාර්යේදී එහි විවිධ අංශ යටතේ සිදුවන සේවාව ඉතාමත් ඉහළයි. තම රැකියාව අභිබවා රෝගීන්ගේ සුවය තම මුලික පරමාර්ථය කරගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විවිධ වූ වෛද්‍ය අංශයන් යටතේ සිදුවන සේවාව රෝගීන්ගේ නිරෝගීභාවය වෙනුවෙන්ම සැමවිට කැපවී තිබේ.

හදිසි අනතුරු ඒකකය

හදිසි රෝගියෙකු ඇතුළත් කළ මොහොතේ රෝගියා පිළිබඳ සැලකිලිමත් වෙමින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම මෙම ඒකකය හරහා මුලිකව සිදු කරනු ලැබේ. නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව කෙටි කාලයක් තුළ රෝගියා සුවපත් කිරීමට සියලු කටයුතු මෙම ඒකකය යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

රසායනාගාර සේවාව

රසායානගාර පහසුකම් ඉතා ක්‍රමවත්ව මෙන්ම වඩාත් නිරවද්‍ය ලෙස රෝගීන් වෙත කඩිනමින් ලබාදීම මේ යටතේ සිදුවේ. රෝගීන් වෙත ලබාදෙන සියලු රසායනාගාර වෛද්‍ය වාර්තා 100%ක නිරවද්‍යභාවයකින් යුතු නිසා ඒ ඔස්සේ අදාළ වෛද්‍යවරුන්ට රෝගියාගේ රෝග තත්ත්වය නිර්ණය කිරීම වඩාත් පහසු වේ. මේ සේවය යටතේ වැඩි රෝගී සංඛ්‍යාවකට වඩාත් ඉහළ සද්කාරක සේවාවක් දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මඟින් ලබාදෙන අතර සුදුසුකම්ලත් රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, රසායනාගාර පහසුකම් ලබාදීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටිනු ලැබේ.

හෘද රෝග අංශය

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෘද රෝග ඒකකය වඩාත් ඉහළ මට්ටමේ පවතින අතර මසකට සිදුකෙරෙන හදවත් සැත්කම් ප්‍රමාණය (බයිපාස්) 65 ඉක්මවීමද විශේෂත්වයකි. මෙම හෘද රෝග ඒකකය තුළ අනුයුක්ත විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු හදවත් සැත්කම්වලට භාජනය වූ සෑම රෝගියෙකුගේම සුවපත්භාවයට ඇපකැප වී නිරන්තරයෙන් කටයුතු කරනු ලැබේ.

විකලාංග ඒකකය

ශ්‍රී ලංකාවේ දණහිස් බද්ධ කිරීම් සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්ථානයේ සිටින රෝහලක් බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පත්ව අවසන්. එහි විකලාංග ඒකකය මඟින් සිදුවන සේවාවන් අතර කණ්ඩරා බිඳිම් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම විශේෂත්වයක් ගනු ලැබේ. තවද මෙම ඒකකය යටතේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයාට අමතරව විකලාංග ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකුගේ සේවාව මෙම ඒකකය සතුවේ. මේ හරහා එහි කටයුතු තවදුරටත් පුළුල් කරගැනීමට හැකියාව ලැබී තිබීම ද ඉතා විශේෂිතයි.

මෞත්‍ර ලිංගික ඒකකය

මෞත්‍රලිංග අංශයක අවශ්‍යතාව මෙම රෝහලට විශාල අඩු පාඩුවක්ව පැවතුණු අතර එම අඩුපාඩුව සපුරාලමින් නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන්ගෙන් යුක්ත වූ මෞත්‍රලිංගික ඒකකයක් ආරම්භ කිරීමට හැකි වූ අතර එය විශාල රෝගී පිරිසකට අස්වැසිල්ලක් බවට පත්විය.

ස්වසන ඒකකය

හතිය, ඇදුම, ක්ෂයරෝගය, නියුමෝනියාව වැනි ස්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග සඳහා නවීනතම ප්‍රතිකාර රෝගියාට ලබාගත හැකි අයුරින් මේ ඒකකය සමන්විතයි. තවද මෙහි සේවාව වැඩි දියුණු කිරීමත් සමඟ ක්ෂණික ප්‍රතිකාර ලබාගත හැකි අන්දමින් මෙම පෙනහලු ඒකකය නොඑසේනම් ස්වසන ඒකකය පුළුල් කර තිබේ.

වකුගඩු ඒකකය

වකුගඩු රෝගයට නිසි ප්‍රතිකාර සපයමින් වඩාත් උසස් මට්ටමේ සේවාවක් මෙම ඒකකය හරහා වකුගඩු රෝගීන්ට සලසා දී තිබේ. එහි රුධිර පාරවිලනය (ච්ඪචතරඵඪඵ) කිරීමේ අංශය වගේම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ද මේ යටතේ ඉතා හොඳින් ඉහළ ගුණාත්මකභාවයකින් සිදුකරනු ලැබේ.

ප්‍රසව හා නරි ඒකකය

කාන්තා රෝගවලට විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රසව හා නරි රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ වඩාත් ඉහළ සේවාවක් මේ යටතේ සිදුවේ. එහිදී කලල වෛද්‍ය විද්‍යාව ආදී විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කරන අතර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවද සැලසීම නිසා සැත්කම් වඩාත් ඵලදායී ලෙස සිදු කිරීමට හැකි වී තිබේ.

දියවැඩියාව සම්බන්ධ ප්‍රතිකාර ඒකකය

දියවැඩියාව ඇතුළු හෝර්මෝන රෝග සඳහා නවීනතම ප්‍රතිකාර පද්ධතියක් දියත් කිරීමේ අරමුණින් හොර්මෝන හා අන්තරාසර්ග පද්ධතිය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ සේවාව මෙම රෝහලට වර්තමානයේදී හිමි වී තිබේ. මේ සමඟම දියවැඩියා සායන ආරම්භ කිරීමත් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා දියවැඩියා රෝගීන්ට විශේෂ නවීන ප්‍රතිකාර ලබාදීම මඟින් රෝගී සත්කාරක සේවය වැඩි දියුණු කිරීමටත් කටයුතු යොදා තිබේ.