හොඳ IQ එකක් හැම දරුවෙකුටම නැතත් එය වර්ධනය කරගත හැකියි.

හොඳ IQ එකක් හැම දරුවෙකුටම නැතත් එය වර්ධනය කරගත හැකියි.

ව්‍යවහාරික මනෝ විද්‍යාඥ අචාර්ය

නිමල් ලියනගේ

මේ ලෝකය ලස්සන වන්නේ විවිධ වූ පුද්ගලයන් නිසායි. ඔබ, මට සමාන අයෙක් වුණොත්, අහස පොළොවට සමාන වුණොත්, සෑම මලක්ම එකම වර්ණයක් ගත්තොත් මුළු ලෝකයම ඒකාකාරී වනවා මිස එහි සුන්දරත්වයක් පැවතිය හැකිද? විවිධ වෙනස්කම් නියා ලෝකය තව තවත් සුන්දර වෙනවා පමණක් නොව ඒ නිසා සමස්ත ලෝකයේම පැවැත්ම ද තීරණය වේ. නමුත් ඒ විවිධත්වය ඇතැම් සිදුවීම් පිළිබඳ විමසා බලන විට සෑම විටෙකම සුන්දර නොවන්නේ පුදුමාකාර අන්දමින්.

සිතා බලන්න ඔබේ IQ අගය, එසේත් නැතිනම් බුද්ධි මට්ටම පිළිබඳව, අප කා හටත් එක සමාන බුද්ධි මට්ටම් හිමි නොවනවා වගේම ඒ හේතුව මත අපේ ඉගෙනීම් මට්ටම් ද විවිධාකාරවනවා. මේ නිසාම සෑම දරුවෙකුටම එක සමානව අධ්‍යාපනය හැදෑරීමට හැකියාවක් හිමි නොවනවා පමණක් නොව ඒ සඳහා විවිධාකාර හේතුන් ද බල පැවැත්වීමට හැකියි. ඒ අනුව මෙවර මානසික රෝග පිළිබඳ ලිපිය යටතේ විමසා බැලන්නේ අඩු බුද්ධි මට්ටමක් සහිත දරුවන් හා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳවයි.

සාක්ෂරතාව ඉහළ වුණත් මාපියන් කෙතරම් කැපවීම් කළත් පළක් නැහැ.

මේ වන විට ශ්‍රී ලාංකීක ජන සමාජය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතා ඉහළ අවධානයක් ලබා දී තිබේ. මේ හේතුව නිසාම සාක්ෂරතාව අතින් අප රටට හිමි වී ඇත්තේ වඩාත් ඉහළ ස්ථානයක්. නමුත් මා පියන් තමාගේ ධනය, ශ්‍රමය ඇතුළු බොහෝ දේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කළත් ඇතැම් දරුවන්ට නිසි ආකරව ඉගෙනීම් කටයුතුවල නිරත වීමට නොහැකි වීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.

සෑම දරුවෙකුටම එක වගේ ඉගෙන ගන්න බැහැ.

ඉගෙන ගන්නා වයස්වල පසුවන සෑම දරුවකුගේම බුද්ධි මට්ටම් එක හා සමාන නොවේ. ඇතැම් දරුවන්ට ඉගෙනීම් සම්බන්ධව විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන් තිබෙන අතර ඒවා නිසි ආකාරව හඳුනා ගැනීම, එම ගැටලු නිරාකරණයට පියවර ගැනීම ඉතා වැදගත්.

අධ්‍යාපනය හදාරණ දරුවකු ඔවුන් සතුවන බුද්ධි මට්ටම ඉතා වැදගත් සාධකයක්. ඉගෙන ගන්නා වයසේ පසුවන දරුවන් පිළිබඳ සලකා බැලීමේදී ඇතැම් දරුවන්ගේ බුද්ධි මට්ටම එතරම් හොඳ මට්ටමකට පැමිණ නොමැති අතර එසේ වීමට බලපාන සාධක ගණනාවක් පිළිබඳ හඳුනා ගත හැකියි.

බුද්ධි මට්ටම අඩුවීමට බලපාන සාධක

ඉගෙන ගන්නා වයස් වල පසුවන දරුවන්ගේ බුද්ධිය අඩු වීමට බලපාන සාධක පහත ආකාරවේ. ජානමය තත්ත්ව, අත්දැකීම් නොමැතිකම, වර්ධනයේ දුබලතාව හෝ පසුබෑම, පාරිසරික සාධක, උද්දීපනය නොමැති වීම, ඒවා අතර වේ.

අඩු බුද්ධි මට්ටම් සහිත දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුත්තේ වෙනස් ආකාරයටයි.

මෙවැනි දරුවන්ගේ අවධානය, අවබෝධය, සිතීමේ වේගය, ස්වභාවය ගැටලුකාරී වන අතර සාමාන්‍ය දරුවන්ට උගන්වන ආකාරයට, වේගයට පරිසරයට වඩා වෙනස් ඉගැන්වීම් ක්‍රම මෙහිදී භාවිතා කළ යුතුයි.

ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රම තීරණය කරන සාධක

එවැනි දරුවන්ගේ ඉගැනීම් ක්‍රමය තීරණය කිරීමේදී මුලිකවම අවධානය යොමු කළ යුත්තේ දරුවාගේ බුද්ධි බලය (ධ්Q) පිළිබඳ ඇගයීමෙන් පසුවයි. ඒ වගේම මොවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳවත් මනා අවබෝධයක් තිබිය යුතුයි. සිත එක අරමුණක තබා ගැනීමට තිබෙන හැකියාව, ඉගෙනීමේ කටයුතු කෙරෙහි ආශාවක් ඇති කරවීම හා ඒ සඳහා ඔවුන් යොමු කර වීම වඩාත් වැදගත් වේ.

මේ සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයන් යොදා ගැනීම මෙන්ම විවිධ අධ්‍යාපනික ක්‍රීඩාවන්, බාහිර ක්‍රීඩාවන් යොදාගත හැකියි. ඒ වගේම එම ක්‍රියාකාරීත්ව පිළිබඳව සියලුම ඇගයීම් හා නියමයන් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ආශි‍්‍රතව සිදු කළ යුතුයි.

ඉගෙනීමත් සමඟ පෞරුෂත්වයත් වර්ධනය කළ යුතුයි.

ඉගෙන ගැනීම දුර්වල දරුවන්ගේ ඉගෙනීම වර්ධනය කරනවාත් සමඟම පෞරුෂත්වය වර්ධනය වගේම එදිනෙදා ක්‍රියාවලිවල වර්ධනයන් ඇති කළ යුතුයි. ඒ හරහා එම දරුවන් ස්වාධීන පුද්ගලයන් බවට පත් කර ගත හැකිවේ. එමඟින් තමාගේ ක්‍රියාකාරකම් නිසි පරිදි සිතා බලා ඉටු කර ගැනීමට හැකිවීම, තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු හා ඒවාට විසදුම් ලබා ගැනීමට ඇති හැකියාව දියුණු කරගැනීමට හැකියාව ලැබේ. මේ සඳහා මනෝවිද්‍යාත්මකව පදනම් වු ක්‍රමයන් ප්‍රතිකාර ලෙස යොදා ගත හැකිය.

ආකල්ප ද වෙනස් කළ යුතුයි.

අඩු බුද්ධිමට්ටමක් ඇති දරුවන් තුළ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙසට මාපියන් මෙන්ම පවුලේ අය තුළින් මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. මේ සඳහා ද මනෝවිද්‍යාත්මක ක්‍රමවේද පදනම් කරගත හැකියි. ඒ අනුව මුලිකව දරුවාගේ චිත්තවේග (කේන්තියාම, සුළු දේටත් හැඬීම, ආදී) පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එම චිත්තවේග කළමනාකරණය කිරීමට දරුවාව කුඩා කල සිටම පුරුදු පුහුණ කිරීම ඉගෙනීම් වර්ධනයට උපකාරී වනු ඇත.

මීට අමතරව මෙවැනි දරුවන්ට තම ජීවන ක්‍රියාකාරීත්වය නිසි අන්දමින් ඉටුකර ගනිමින් සමාජීය ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය පුහුණුවද මනෝවිද්‍යාත්මක පදනමකින් ඉටුකිරීම මොවුන්ගේ ඉගෙනීම් කටයුතු දියුණු කරගැනීමට මනා පිටිවහලක් වේ.

නිවස ආශි‍්‍රත පරිසරයේ වැදගත්කම

මෙසේ විවිධ වූ ක්ෂේත්‍ර හරහා මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපනික ක්‍රියාකාරීත්ව ඉටුකිරීමට අවශ්‍ය පරිසරය නිවස තුළ තිබීම ඉතා වැදගත් වේ. ඇතැම් විට වෙනත් බාහිර ස්ථානයකදී මෙම ප්‍රතිකාර ආරම්භ කළ ද ඒවා දිගින් දිගටම පුහුණු කිරීම නිවසේදී සිදු කළ යුතුයි.

මෙවන් දරුවන්ට ලිවීම, කියවීම, ගණන් සෑදීම, තීරණ ගැනීම, නිර්මාණත්මක කුසලතා, සමාජීය ක්‍රියා වර්ධනයක් සමඟින් අධ්‍යාපනික දියුණු වීම් සමඟ ජීවිතයේ අන් සියල්ල ජයග්‍රහණය කළ හැකිය.