ACCIDENT නොවී වාහන එළවන්නේ කොහොමද?

ACCIDENT නොවී වාහන එළවන්නේ කොහොමද?

රිය අනතුරකට මුහුණ නොදී වාහනය ධාවනය කිරීමට බාධා කරවන කරුණු කිහිපයක් ඇත. එම තත්ත්වයන් ඔබට බලපාන්නේ කෙසේද යන්න මෙහිදී විමසා බැලෙයි. ඒ රියදුරෙකු වශයෙන් කාර්යය ඉටු කිරීම සඳහා වන වගකීම් දැරීමට තරම් ඔබ සුදුසුද යන්න සොයා බැලිම උදෙසාය.

හොඳ රියදුරෙකු කායික හා මානසික යහපත් භාවයකින් යුක්ත විය යුතුය. ඔබගේ කායික නම්‍යශීලිත්වය සහ විවිධ සන්ධිවල නීරෝගීතාවය මෙහිදී විශේෂයෙන් වැදගත්ය. හොඳින් සුක්කානම කරකවමින් රිය පැදවීමට නම් හිස ඒ මේ අත හැරවීම යහපත්ව සිදුවිය යුතුය. සිරුර මහත නම් හා අත් පා මස් ගොබ විශාල නම් සුක්කානම හැසිරවීම පහසු නොවිය හැකිය. තිරිංග පෑගීම මෙන්ම ත්වරකය (ඇක්සලරේටරය) හැසිරවීම අසීරුවිය හැකිය. මෙම තත්ත්වයෙන් මිදී සිටීමට නම් ඔබ සක්‍රිය විය යුතුය. මනා යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය. ශරීරය ඉහළ නම්‍යතාවයක් සහ ශක්තිමත් භාවයකින් යුක්ත නම් ඔබට වාහනය හැසිරවීමට කිසිදු අපහසුවක් නොතිබිය හැකිය. මේ නිසා ගෙළ, ගාත්‍රා, උරහිස් යනාදි ප්‍රදේශවලට ව්‍යායාමය ලබාදෙන ව්‍යායාමන්හි යෙදීම ඔබ කළ යුතුය. විශේෂයෙන්ම අත්පාවල යටිබාහුව ශක්තිමත් කරන ව්‍යායාමන්හී යෙදීම අවශ්‍යය.

ඔබ සෙමෙන් ක්‍රියාකාරීවන්නෙකි

හදිසි තීරණ, නිසි විනිශ්චයන් ගැනීමට, ගමන් මඟ පවතින බාධා මඟහැර යාමට සහ ඒවාට අවධානය යොමු කිරීමට ඔබට අසීරුය. යමකට ප්‍රතික්‍රියා දැක්වීමට ඔබට ගතවන කාලය වැඩි නිසා ත්වරකයේ සිට තිරිංගය දක්වා පාදය ගෙන යාමට ඔබට වැඩි කාලයක් ගතවිය හැකිය. වයසට යාමත් සමඟ ද මෙම තත්ත්වය වඩා බරපතළ විය හැකිය.

ටේබල් ටෙනිස්, වොලිබෝල්, චෙස්, දාම් ඇදීම වැනි ක්‍රීඩාවක නිරත වීම උදව්වක් විය හැකිය. මානසික වශයෙන් ඔබගේ තියුණු බව සහ කායික සෞඛ්‍යය විමසීමට වෛද්‍යවරයකු හමුවන්න. වයස අවුරුදු 60ට වැඩි නම් ඒ වඩාත් වැදගත්ය.

ඇස් පෙනීම ගැටලු සහගත විය හැකිය

වයසත් සමඟ ඇස් පෙනිමේ ගැටලු මතුවිය හැකිය. විශේෂයෙන්ම දෙපස පෙනීම අඩු වී දර්ශන පථය පටු වෙයි. දුර පෙනීමට හා ළඟ පෙනීමට බාධා ඇති කරයි. පෙනීම් බොඳවීම, වර්ණ හඳුනාගත නොහැකිවීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකිය. මහමඟ වර්ණ සංඥා, අනෙක් වාහනවල සංඥා නොපෙනී යාමට වාහනවල ලාම්පුවලින් විහිදෙන ආලෝකය දෙස බැලීමට නොහැකි වීමටත් පුළුවන.

වසරක් පාසා ඇස් පෙනීම පරික්ෂා කරගන්න. අවශ්‍ය පරිදි උපැස් යුවළ මාරු කරන්න. දිලීසීමෙන් ඇතිවන බාධා අවම කරන ස්ටිකර වාහනයේ වින්ඩිස්ක්‍රීන් හි යෙදීම ද උදව්වක් වනු ඇත.

ඇසීමේ අඩුවක් ඇත

බිහිරෙකු නොවුවද පිටුපසින් හැසෙන නලා හඬ සහ අනෙකුත් ශබ්ද ඔබට හොඳින් නෑසෙනවා විය හැකිය. වාහනය පදවන ගමන් ජංගම දුරකථනයෙන් කතා කිරීම ශබ්ද හැගෙන සංගීතයට සවන් දීම ක්‍රීඩා විස්තර ප්‍රචාරයන්ට සිත් යොමු වීම ආදී හේතූන් නිසාද ඔබේ ඇසීම අවහිර කර තිබිය හැකිය.

විසදුම සරලය. වාහනය පදවන ගමන් දුරකථන භාවිතය, සංගීතයට සවන් දීම, ක්‍රිකට් විස්තර ප්‍රචාරයන්ට කන්දීම සුදුසු නොවේ. එවිට ඔබේ අවධානය සිඳී යයි. එසේම කන් ඇසීම පරීක්ෂා කරගෙන ශ්‍රවණාධාරයන් පැළඳීමට අවශ්‍ය දැයි සොයා බලන්න.

ලෙඩෙක් වීම

ආර්තයිටිස්, දියවැඩියාව, පාර්කින්සන් රෝගය, හෘද රෝග, සංජානන පිරිහීම අපස්මාරය වැනි රෝගයකින් පෙළේ නම් රිය පැදවීමේ උචිත අනුචිත බව පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය.

සමහර ඖෂධ හානිකරයි

වෛද්‍ය නිර්දේශ මත ගන්නා සමහර ඖෂධ පවා රිය පැදවීමට බාධා කළ හැකිය. නිදිමත ගතිය, පෙනීම බොදවීම, ප්‍රතික්‍රියා දැක්වීමට ගතවන කාලය වැඩිවීම වැනි තත්ත්වයන් ඇතිවීම ගැන වෛද්‍යවරයාගෙන් විමසන්න. වේදනා නාශක, ප්‍රංතත්නික, ප්‍රතිහිස්ටමීන, ප්‍රති - විෂාදක, නිදි පෙති යනාදිය අහිතකර ඖෂධ අතර පවතියි.