දරුවන්ගේ ජීවිත රැකදෙන ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකය

 දරුවන්ගේ ජීවිත රැකදෙන ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශය රෝහල තුළ තිබෙන සුවිශේෂී සේවාවක් සිදුවන ඒකකයකි. වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන් වූ ලංකාවේ තිබෙන එකම හදිසි අනතුරු ඒකකය වන්නේ ද මෙම රෝහලේ හදිසි අනතුරු ඒකකයයි. මහා මාර්ගයේදී හදිසි අනතුරුවලට ලක්වන දරුවන්, ක්‍රීඩා කටයුතුවලදී සහ ඇතැම් පාසල් කටයුතුවලදී හදිසි අනතුරුවලට ලක්වන කොළඹ අවට පාසල්වල දරුවන්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකයට නිරන්තරයෙන්ම, රැගෙන එනු දැකිය හැකිය. ඊට අමතරව උගුරේ, නාසයේ, කණේ යම් යම් ද්‍රව්‍ය සිර කරගනු ලැබූ දරුවන් ද බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන් සපා කෑ දරුවන්ගෙන් ද ළමා රෝහලේ හදිසි අනතුරු අංශයට හිඟයක් නැත. මේ ඕනෑම හදිසි අනතුරකට මුහුණදුන් දරුවකු හට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබාදීමට දවසේ පැය 24 පුරාම ඉතා කාර්යශූර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවයේ යෙදී සිටිති. විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු 18 දෙනෙකු පමණ ද හෙද නිලධාරීන් 20 දෙනෙකු පමණ ද හදිසි අනතුරකට ලක් වී මෙම රෝහල වෙත පැමිණෙන දරුවන්ගේ යහපත වෙනුවෙන් සෑමවිටම සැදී පැහැදී සිටිති. මෙහි වෛද්‍ය කාර්යමණ්ඩලයට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 5 දෙනෙකු ද, කුඩා දරුවන්ගේ උගුර කන, නාසය ආශි‍්‍රත ගැටලු පිළිබඳව විශේෂඥතාවයක් ලබාගත් වෛද්‍යවරු දෙදෙනෙකු ද, විශේෂඥ අක්ෂි වෛද්‍යවරියක් ද, විශේෂඥ ප්ලාස්ටික් සැත්කම් සැත්කම් වෛද්‍යවරයෙකු ද අනුයුක්තව සේවය කරති.

හදිසි අනතුරකට ලක් වූ කුඩා දරුවකු බොහෝවිට පසුවන්නේ වැඩිහිටියකුට වඩා ව්‍යාකූල තත්ත්වයකය. දරුවන්ගේ එම තත්ත්වය තේරුම් ගනිමින් දරුවන් අස්වසාලමින්, සනසමින් ඔවුනට ප්‍රතිකාර කිරීමට හදිසි අනතුරු අංශයේ සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සුවිශේෂී පුහුණුවක් ලබා ඇති බව පැහැදිලිය.

හදිසි අනතුරකට ලක් වූ දරුවකු මෙම රෝහල වෙත රැගෙන ආ විට පළමුව දරුවාගේ අනතුරේ ස්වභාවය පිළිබඳව හඳුනාගැනීමක් කෙරේ. එය බාහිර ප්‍රතිකාර ලබාදී දරුවා නිවසට යැවිය හැකි තත්ත්වයක් නම්, එසේ සිදු කරනු ලැබේ. දරුවාව හදිසි ශල්‍ය කර්මයකට යොමු කිරිමට අවශ්‍ය නම් වහාම ඒ සඳහා පියවර ගැනේ. හදිසි ප්‍රතිකාරවලින් අනතුරුව ටික කලක් දිගින් දිගට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් එම දරුවාව අදාළ සායනවලට යොමු කෙරේ.

හදිසි අනතුරු අංශය සඳහා ඖෂධ නිකුත් කෙරෙන වෙනම ඖෂධ නිකුත් කිරීමේ කවුළුවක් තිබීම ද විශේෂත්වයකි. හදිසි අනතුරු අංශයේ බාහිර පෙනුම පවා සකසා ඇත්තේ කුඩා දරුවන්ගේ සිත් ගන්නා ආකාරයටය. ටෙඩි බෙයාර්, බෝනික්කන්, සෙල්ලම් බඩු ආදියෙන් මෙන්ම අලංකාරවත් ළමා චිත්‍ර වලින් ද මෙම අංශය සරසා ඇත්තේ අනතුරකට ලක් වී මෙතැනට පැමිණෙන දරුවාට තමා රැගෙන විත් තිබෙන්නේ භයානක ස්ථානයකට නොවන බව හැඟවීම සඳහාය. එම පසුබිම හදිසි අනතුරකට ලක් වූ දරුවකු හට ප්‍රතිකාර කිරීමේදී අත්‍යවශ්‍යය. එක් දිනකට 150කට අධික දරුවන් සංඛ්‍යාවක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත යොමු වේ. 2015 වසරේ පමණක් දරුවකු 48000 (හතලිස් අටදහසක්) මෙම හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

කුඩා දරුවන් හදිසි අනතුරුවලට යොමු වන්නේ බොහෝවිට දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බව සහ අතපසුවීම් නිසාය. ඒ නිසා තම දරුවන් පිළිබඳව නිබඳවම සැළකිලිමත් වීම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගෙකීමකි. එම වගකීම ඉටු නොවූ තැන මහා විපතක් සිදුවිය හැකිය. හදිසි අනතුරකට ලක් වූ දරුවකු හට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී හැකි විගස ළඟම ඇති රෝහල වෙත රැගෙන යා යුතුය. ව්ශේෂයෙන්ම දරුවකු වැටී අස්ථි බිඳීමක් සිදුවුවහොත් වෙනත් ක්‍රම අනුගමනය නොකොට රෝහලක් වෙත යොමුවීම වඩා සුදුසුය. එම රෝහලේ වෛද්‍යවරු එම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කළහොත් රැගෙන ආ යුතුය. දරුවකුගේ අස්ථි බිදීමකදී අවශ්‍ය නිවැරදි ප්‍රථිකාර ලැබුණේ නැතිනම්, දරුවාගේ ජීවිත කාලයටම බලපාන පරිදි අස්ථි විකෘතිතාවයක් ඇතිවිය හැකිය. බල්ලෙකු වැනි සුරතල් සතෙකු සපා කෑ විට වැඩිහිටියෙකුට වඩා දරුවකු හට සිදුවන අනතුර වැඩිය. ඒ නිසා හැකි විගස රෝහලක් වෙත යොමු වීම උචිතය. එසේම තම දරුවන්ට සිදුවන හදිසි අනතුරකදී රෝහල වෙත රැගෙන යාමට පෙර ලබාදිය හැකි මූලික ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් හදිසි අනතුරකට ලක් වූ දරුවන් වෙත සෑම විටම දිගුකරන කරුණාබරිත දෑත දරුවන්ගේ ඉක්මන් සුවයට බෙහෙවින්ම හේතු වී ඇති බව ඉතා පැහැදිලිය.