පැණි හැලියේ වැටුණු ඇඹලයාට සිදු වුණ දේ ඔබට නොවීමට වගබලාගන්න

පැණි හැලියේ වැටුණු ඇඹලයාට සිදු වුණ දේ ඔබට නොවීමට වගබලාගන්න

 

සීනි සහ සීනි අඩංගු පැණි රස ආහාර ආහාරයට ගැනීම නිසා ඇඟ මහත්වන බව, දත් දිරායන බව, දියවැඩියා රෝග තත්ත්වය වඩා බරපතළ කරන බව නොදන්නා කෙනෙක් නැත. අතීතයේදී හෙළිදරවු වූ ඒ සියළු කරුණු අදටත් වලංගුය. එහෙත් සීනි එපායැයි තර්ක කිරීමට අද අළුත් සොයා ගැනීම් විශාල වශයෙන් පවතින බව විද්‍යාඥයින් පවසති. විශේෂයෙන්ම කිරීටක හෘද රෝග ඇති කිරීමට සීනි දක්වන දායකත්වය ඉතා ඉහළ බව මේ තොරතුරු දක්වයි.

සීනි බහුල ආහාර වැඩිපුර ගැනීම නිසා පරිවෘත්තියමය අසාමාන්‍යතා රාශියකට හේතුවන බව සොයා ගෙන ඇත. එය රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට, ට්‍රයිග්ලිසරයිඩ් මේද අඩංගු ප්‍රමාණය නංවාලීමට, ඉන්සියුලින් ප්‍රතිරෝධය නංවාලීම මඟින් අවයව අවට මේද තැන්පතු ඇති කිරීමටත් අහිතකර මේදය හෙවත් ගැඹුරු මේදය ශරීරය තුළ වැදගත් ඉන්ද්‍රිය ලෙස සැලකෙන අක්මාව, අග්න්‍යාසය (ඇලදිව) හා බඩවැල් වටා තැන්පත් වීම නිසා හෝර්මෝන ක්‍රියාකාරීත්වයට හරස් වෙයි. ඉන්සියුලීන් ප්‍රතිරෝධයට හේතුවන මෙම තත්ත්වය නිසා දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘදයාබාධ ඇතිවීමට පවත්නා අවදානම ඉහළ නංවයි.

වැඩිහිටියන් තුළ අහිතකර මේදය තැන්පත් වීම ඉහළ දැමීමට පැණිබීම පානය හේතුවන බව මෑතකදී ඇමරිකාවේ කළ පර්යේෂණයක් හෙළි කර ඇත. මෙම තත්ත්වයට සුක්‍රෝස් නැතිනම් සීනි එකතු කළ පැණි බීම, මෙන්ම සාන්ද්‍ර සුක්‍රෝස් සහිත පාන වර්ග ද හේතුවන බව හෙළිවෙයි. ආහාර තෘප්තිමත්භාවය අඟවන ලෙප්ටීන් හෝර්මෝනයෙහි ක්‍රියාකාරීත්වය අනිසි මඟයවා රෝගීන් ආහාර වැඩියෙන් ගැනීමටත්, ශරීර බර ඉහළ යැවීමටත් සමත් වෙයි.

එහි ප්‍රතිඵලය හෘදයාබාධ සහ දියවැඩියාව වැනි තත්ත්වයන් ඇති කිරීමට වැඩි අවදානමක් උරුම කිරීමටය. මෑතකදී සිදු කළ තවත් අධ්‍යනයකදී සොයා බලනු ලැබුයේ සංතෘප්ත මේදය තරමටම සීනි ශරීරගත වීමද හෘද රෝගවලට පාරකපන්නේ දැයි විමසීමටය. මෙහි පර්යේෂණයේ අවසන් ප්‍රතිඵලය ලෙස දැක්වෙනුයේ පවිත්‍ර කළ සීනි (ශුද්ධ සීනි හෙවතත් සුදු සීනි) සංතෘප්ත මේදයටත් වඩා හදවත් රෝග ඇති කිරීමට දායක වන බවය.

සීනි ආහාරයට ගැනීම අඩු කරන ලෙස අවවාද කළ සැනින් බොහෝදෙනා තේ කෝප්පයට සීනි දැමීම නවතා කහට තේ බොයි. කෝපි සීනි රහිතව පානය කරයි. පැණි බීමවලින් වළකියි. එහෙත් අප නොදන්නා ලෙස බොහෝ ආහාර තුළින් අපේ සිරුර තුළට සීනි ඇතුළු වෙයි. ඒ හකුරු සහ පැණි හරහා පමණක්ම නොවේ. කෙසේ වෙතත් විද්‍යාඥයන් පළ කරන්නේ පලතුරු හා එළවළු හරහා ශරීරයට ලැබෙන සීනි කිරීටක හෘදයාබාධ ඇති කිරීමට දායක නොවන බවය. ස්වාභාවික වුවත් පැණි (පොල්, තල, කිතුල් මෙන්ම මී පැණිද , සිරප් වැනි නිෂ්පාදන සඳහා ද මෙය බලානොපායි.

අප ගන්නා බොහෝ ආහාර වර්ග තුළ අපට හොරෙන් සීනි හැංගී පවතින බව අවබෝධ කරගත යුතුය. රස කළ යෝගට්, සෝස්, සලාද මත අතුරන ආලේපන, උදෑසන ආහාර සඳහා පිළියෙල වූ සිරියල් පාන්, විස්කෝතු (ක්‍රීම් ක්‍රැකර් විස්කෝතු පවා), ආදිය තුළ මෙසේ සැඟවුණු සීනි අඩංගුය. එහෙත් වෙළඳසැලෙන් එවැනි ආහාර මිලදී ගන්නා විට ලේබලය පරෙස්සමෙන් කියවා බලා සීනි කොතරම් අඩංගු ද යන්න සොයා බැලීමට ඔබ අමතක නොකළ යුතුය. සමහර මේද රහිත හෝ මේදය ඉවත් කළ බව හෝ සඳහන් ආහාර තුළද සීනි වැඩියෙන් පැවතිය හැකි බව මතක තබාගන්න.

සීනිවලට මත වැටුන ඇඹලයකු නොවී, අතුරුපසට හා පොඩි බඩගින්නට කෙසෙල් ගෙඩියක්, පැපොල් කැල්ලක් හෝ වෙනත් පලතුරක් කෑමට හුරුවන්න. පැණි බීම පසෙක තබා සීනි මිශ්‍ර නොකළ තේ හා කෝපි පානයට හුරුවීම තුළින් ද “පැණි හැලියේ වැටුණු ඇඹලයාට සිදු වූ දේ ඔබට නොවීමට වගබලා ගත යුතුයි නේද?