බයොප්සි රිපෝට් එකෙන් කියවුණේ කුමක්ද?

බයොප්සි රිපෝට් එකෙන් කියවුණේ කුමක්ද?

වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

පසුගිය සතිය හා බැඳේ

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාට බලාපොරොත්තු නොවූ ලෙස මුහුණ දීමට සිදු වූ රෝගී තත්ත්වය නිසා ඔහු පත් වුයේ දැඩි අසහනකාරී තත්ත්වයකටය. ඔහුගේ කිහිල්ලේ තිබුණ ගෙඩිය සැත්කමකට භාජනය කර එය ඉවත් කෙරුණු අතර එම ගෙඩිය වැඩිදුර බයොප්සි පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

වෛද්‍ය ගමගේ සැත්කමින් පසු නිවසට පැමිණිය ද නොසිතූ ලෙස රෝගී තත්ත්වය උත්සන්න වී පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට එහි දින 10ක් පුරා ප්‍රතිකාර ගැනීමට සිදුවිණි. ඒ අතර ඉවත් කරන ලද ගෙඩියේ බයොප්සි පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ දෙගිඩියාවෙනි.

වෛද්‍යවරයකු වුවද ගිලන් වූ විට මනුෂ්‍යත්වය තුළ දරාගත හැකි සහ නොහැකි දේ බොහෝමයකි. පෘථග්ජන මිනිසුන්ට එවැන්නකට මුහුණ දීමට සිදුවීමේදී වේදනාවක් චකිතයක් දැනීම ස්වභාවිකය. වෛද්‍ය ගමගේට ද මිනිස් හැඟීම්වලට එරෙහිව යාමට ද නොහැකි විණි. එබැවින් ඔහු නිරන්තරයෙන් බයොප්සි රිපෝට් එක ලැබෙන තෙක් සිටියේ දෙගිඩියාවෙනි.

දැඩි සත්කාර ඒකකයේ සිටියදී දිනක් වෛද්‍ය ගමගේට මහාචාර්ය මොහාන් සිල්වාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඔහු වෛද්‍ය ගමගේගේ ඥාතියෙකි. මහාචාර්ය මොහාන් සිල්වා වෛද්‍යතුමාගේ සුව දුක් විචාලමින් වර්තමානයේ රෝගයේ තත්ත්වය පිළිබඳව කරුණු විමසීය. අනතුරුව මහාචාර්ය මොහාන් විසින් යමක් පවසන්න හදන ආකාරයක් වෛද්‍ය ගමගේට දැනුණි.

“ආරි ඔයාගේ කිහිල්ලේ අයින් කරපු ගෙඩියේ බයොප්සි රිපෝට් එක නම් ආවා.” යැයි පවසත්ම වෛද්‍ය ගමගේ හදවතේ ගැස්මේ රාවය ඔහුට දැනුණේ මහා මෙරක් සේය.

කියන්න... යැයි වෛද්‍ය ගමගේ මුවින් පිටවුණද තවදුරටත් වචන පිට වීමට නොහැකි සේ තොලකට වියැලී ගියේ දුරකථනය අනිත් කෙළවරේ සිටි මහාචාර්ය මොහාන්ගේ පිළිතුර කුමක්දැයි යන්න පිළිබඳ පැවැති අවිනිශ්චිත බියෙනි.

“බයොප්සි රිපෝට් එකට අනුව ආරිට තියෙන්නේ ලිම්ෆෝමා එකක්. මැලිග්නන්සි (පිළිකා සෛල) එකක්

බයවෙන්න එපා. ඒකට ප්‍රතිකාර තිබෙනවා.යැයි පැවසූ මොහොතේ මුළු ලොවම කඩා වැටුණසේ වෛද්‍යවරයාට දැනුණි. කිසිදිනෙක එතුමා සිහිනෙකින්වත් නොසිතූ මෙවන් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවීම ගැන ඔහු තුළ පැවතියේ ද වික්ෂිප්ත භාවයකි.

මිහිපිට උපන් සෑම කෙනෙකුම මිය යා යුතුයි. එහෙත් පිළිකාව වැනි රුදුරු මරණයේ සෙවණැලි මත දිවෙන රෝගයක් වැළඳී මිය යන්නට කිසිවකු ප්‍රාර්ථනා කරන්නේ නැත.

වෛද්‍යවරයකු ලෙස දහස් ගණන් රෝගීන් සුව කළ මේ වෙදදුරුතුමාට දෛවය මෙතරම් අකාරුණිකව වූයේ ඇයිද යන්න එතුමාටම අදහාගත නොහැකි විය. ඔවුගේ නෙතඟට නැඟුනේ කඳුළකි. පිළිකාවක් වැළඳුණේ ඇයි? ඔහුගේ සිතිවිලි අතර තෙරපෙමින් හදවත වේදනාවෙන් මුසපත් වුයේ වෛද්‍යවරයාද අප මෙන් සාමාන්‍ය මිනිසකු වූ බැවිණි.

වෛද්‍යතුමා දිනක් මා හට පැවසුවේ මෙවැන්නකි.

මට දියවැඩියාව සහ ප්‍රෙෂර් තියෙනවා නමුත් මම ඒ රෝග දෙකම පාලනය කරගෙන ඉන්නේ මම හිතුවේ මම වයස්ගත වෙලා හෘදයාබාධයකින් හෝ අංශභාගය වැනි රෝගයකින් මියැදෙයි කියා. ඒත්? මට මුහුණ දෙන්නට සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයකට.

උසට ගැලපෙන බරක් සහිතව සිටීමත්, නිතිපතා ව්‍යායාම් කිරීමත්, නිසා හදිසි රෝගී තත්ත්වයක් වැළදේවි යන හැඟීම ඔහුගේ සිතෙහි කොතැනකවත් තිබුණේ නැත. මව සහ පියා මෙන්ම පවුලේ සාමාජිකයන් දිගුකාලයක් ජීවත් වූ නිසාදෝ ජානමය තත්ත්වය මත වෛද්‍යතුමා සිතුවේ පරමායුෂ විඳිමින් අවු. 85ක් පමණ කාලයක් ජිවත් වීමට හැකි වෙතැයි යන බලාපොරොත්තුවෙනි. ඒ හේතුවෙන් එතුමා ජීවිතය සැලසුම් කළේ ද වසර 85 පමණ කාලසීමාවකටය.

පිළිකාවේ මාරාන්තික බව රෝගීන්ට වඩා දන්නේ මිනිස් සිරුර පිළිබඳ පුර්ණ ලෙස අධ්‍යයනය කළ සහ රෝග තත්ත්වයන් පිළිබඳ පූර්ණ හැදෑරීමක් කළ වෛද්‍යවරුන් බව නොරහසකි.

පිළිකාවට ප්‍රතිකාර නොමැති අතර රෝගීන් මියැදෙනුයේ අන්ත දුක් විඳිමින් යන්න සමාජගත වී ඇති මතයයි. එවන් වූ වාතාවරණයක රෝගියාට එවැන්නක් තිබෙන බව දැනුම් දෙන්නේ ද ඉතා පරිස්සමිනි.

වෛද්‍යවරයාගේ දියණියන් දෙදෙනා ද වෛද්‍යවරුන් වන අතර ඔවුන් විවාහ වී සිටින්නේ ද වෛද්‍යවරුන් සමඟය. ඔවුන් දෙපෙළ වෛද්‍ය වෘත්තියෙහි යෙදෙමින් වර්තමානයේ පදිංචිව සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේය.

ඒත් දියණියට වෛද්‍යතුමා සතු ගමගේ රෝහලත් ඔහුගේ බිරිඳ වෛද්‍ය මානෙල් සතු සායනයදන්ත රෝහලක් කර දෙවැනි දියණියට බාර දීමටත් වෛද්‍යතුමාගේ සහ වෛද්‍ය මානෙල්ගේ බලාපොරොත්තුව වුවද ඔවුන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමත් සමඟම ඒ අදහස අත්හැරීමට සිදුවිය. වෛද්‍ය මානෙල්ගේ සහ වෛද්‍ය ගමගේ ගේ අවසාන තීරණය වූයේ ඔහු සතු ගමගේ ආරෝග්‍ය ශාලාව අනාගතයේදී වැඩිහිටි සාත්තු නිවාසයක් කිරීමටය. වර්තමානයේ ගමගේ ආරෝග්‍ය ශාලාවේ සේවය කරන කාර්ය මණ්ඩලය තුරුණු වියේ පසුවන්නන් බැවින් වෛද්‍යතුමා සහ බිරිඳ වයෝවෘද්ධ වූ පසු ඔවුන් රැකබලා ගැනීමට වඩාත් සුදුසුම ස්ථානය ලෙස වැඩිහිටි සාත්තු නිවාසය අරඹන්නට තීරණය ගත්තේ ඒ නිසාය.

ලබන සතියේ තව කොටසක්.