දරුවාගේ ඇස් දෙකයි දිවයි බලලා ඩොක්ටර් කිව්වා දරුවාට ලේ නැහැ කියලා

දරුවාගේ ඇස් දෙකයි දිවයි බලලා ඩොක්ටර් කිව්වා දරුවාට ලේ නැහැ කියලා

නිල්දණ්ඩාහින්න රෝහලේ විශ්‍රාමික ලියාපදිංචි වෛද්‍ය නිලධාරි අතුල බණ්ඩාර

ගසක් වුණත් නීරෝගීව වර්ධනය වන්නට නම් ඊට අවශ්‍ය නිසි පෝෂණය ඉතා හොඳින් ලැබිය යුතුයි. නමුත් එම සාධකවල විවිධ අඩු පාඩුකම් සිදු වුණෙත් ඉන් ඇතිවන ප්‍රතිඵලය එහි පැවැත්මට ගැටලු ඇති කරවීමට හැකියි. මේ සිද්ධාන්තය මිනිසාගේ ජීවන පැවැත්ම, වර්ධනයට ද එකසේ අදාළ වූවක්. විශේෂයෙන්ම දරුවෙකුගේ කුඩා කාලය පිළිබඳ සලකා බැලීමේදී නිසි පෝෂණයක් ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක්. එසේ නොවුණහොත් රක්තහීනතාව එසේත් නොමැති නම් ලේ මදකම නිසා ශාරීරික වර්ධනයේ විවිධ දුර්වලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇතිවිය හැකියි.

වර්තමානය වනවිට දරුවන්ගේ ජීවිත ඉතාමත් කාර්යබහුල අවිවේකී තත්ත්වයට පත්ව තිබීමත්, ආහාර පිළිබඳ සැලකිලිමත්භාවය මද කමත් මීට බොහෝදුරට හේතු වී තිබේ. නගරබඳව හෝ වේවා ගම්බදව හෝ වේවා පෝෂණය පිළිබඳ දරුවන් දෙමාපියන් ඇතුළු කාගේත් අවධානය, අවබෝධය ඉතාමත් අවම මට්ටමක පැවතීම වර්තමානය වනවිට බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ.

කුස පිරෙන්නට ආහාරයක් ලබාගත් පමණින් එය නිසි සෞඛ්‍යමත් සමබල ආහාරයක් වශයෙන් සැලකීම තරමක් ගැටලුකාරීයි. ඇතැම් දරුවන් කෙතරම් ආහාර ලබා ගත්තත් නිසි පෝෂණයක් (සමබල පෝෂණයක්) නොමැති කම නිසා ඔවුන්ටත් නොදැනීම ඔවුන් යකඩ ඌනතාවයෙන් පෙළෙන අය බවට පත්විය හැකියි. බොහෝදෙනා නගරබඳව පමණක් මෙම තත්ත්වය පවතින බව සිතුවත් ගම්බදව ද දරුවන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු අතර රක්තහීනතාව එක් ප්‍රධාන ගැටලුවක්. ඉතා කුඩා වයස්වල පසුවන දරුවන් (පෙර පාසල් වියේ) තමාගේ උදෑසන ආහාරවේල බොහෝ අවස්ථාවල මඟහැර දමන අතර මාපියන් ද ඒ පිළිබඳ සැලකිලිමත් නොවීම වර්තමානය වන විට මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකියි. මාපියන් ඇතැම් අවස්ථාවල කෙතරම් උනන්දුවකින් පෝෂ්‍යදායි ආහාරවේල් සකස් කර දුන්නද දරුවන් ඒවා ආහාරයට නොගැනීම නිසා ද දරුවන්ට යකඩ ඌනතාවන් ඇතිවීම සුලබව දැකගත හැකියි.

ශරීරයේ ප්‍රමාණවත් පරිදි යකඩ නොමැති බව දැකගත හැකි වයස් කාණ්ඩ අතර පෙර පාසල් වියේ පසුවන දරුවන් විශේෂිත වේ. මීට අමතරව විවිධ හේතු මූලික කර ගනිමින් විවිධ වයස් මට්ටම්වල දරුවන් ද මෙම ගැටලුවට මුහුණදෙන අතර වැඩිහිටියන් අතර ද බොහෝදුරට මෙවැනි තත්ත්ව දැකගත හැකියි.

සායනික වශයෙන් විමසා බලන කල රක්තහීනතාව හඳුනා ගැනීමට රෝගියාගේ බාහිර රෝග ලක්ෂණ පිළිබඳ අවධානයක් යොමු කළ හැකියි. එහිදී ප්‍රධාන වශයෙන් රෝගියාගේ ඇස් යට තිබෙන වර්ණය වගේම දිවේ වර්ණය පිළිබඳව අවධානයක් යොමු කළ හැකියි. නිරෝගී අයෙකුගේ එම වර්ණ රත් පැහැයක් ගත යුතු නමුත් රක්තහීනතාවෙන් පෙළෙන අයෙකුගේ එම වර්ණය බොහෝදුරට සුදට හුරු රෝස පැහැයක් ගත හැකියි. බාහිර රෝග ලක්ෂණ අනුව රක්තහීනතාව එසේ හඳුනා ගත්ත ද ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීම සඳහා හිමොග්ලොබින් පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

යකඩ බහුල ආහාර ප්‍රධාන වශයෙන් ශාක වගේම මාංශමය ආහාර තුළත් අන්තර්ගතයි. ශාක ආහාර ලෙස පලා මැල්ලුම් ප්‍රධාන වන අතර එම ශාක ආහාරවල තිබෙන යකඩ එම ආහාරවලට දෙහි ඇඹුල් එකතු කිරිම හරහා අවශෝෂණය පහසුකර ගත හැකියි. ඉතා බහුලව යකඩ අන්තර්ගත ශාකමය ආහාර අතර මුරුංගා කොළ ප්‍රධාන තැනක් ගන්නා අතර යකඩ ඌනතාවෙන් පෙළෙන අයට එම ආහාර නිතර ලබාදීම මඟින් රෝගියා මුහුණදෙන ශාරීරික දුර්වලතා මඟහරවා ගත හැකියි. නමුත් කෙතරම් පෝෂ්‍යදායි ආහාර ලබා ගත්ත ද තවත් සමහර පිරිසක් විසින් සිදු කරනු ලබන ඇතැම් වැරදි පුරුදු නිසාද ආහාරවල යකඩ අවශෝෂණයට බාධා පැමිණිය හැකියි. එවැනි පුරුදු අතර ආහාර ගත් විගස හෝ ආහාරයට පෙර තේ කහට පානය කිරීම පිළිබඳ පෙන්වා දිය හැකියි. තවද ඇතැම් පණු රෝග මෙන්ම ඉහත පැහැදිලි කළ ආකාරයේ වැරදි පුරුදු වගේම ප්‍රධාන වශයෙන් සමබල පෝෂණයක් ලබා නොගැනීම නිසාත් රක්තහීනතාවට පුද්ගලයෙකුට මුහුණ දීමට සිදුවිය හැකියි.

ශරීරික අප්‍රාණික බව, නිතර දැනෙන නිදිමත ආදී රෝග ලක්ෂණ ද පුද්ගලයෙකුට සිරුරේ රුධිරය මදකම නිසා මුහුණ දීමට සිදුවන ගැටලුකාරී තත්ත්ව වේ.

බොහෝදුරට එම රෝග ලක්ෂණ දරුවකුට බලපානවා නම් දරුවාගේ අධ්‍යාපනයට ද එය බාධා ඇති කරවිය හැකියි. කෙසේ වෙතත් වර්තමානය වනවිට ගම් ආශි‍්‍රතව පවතින මෙම රෝගී තත්ත්වය පිළිබඳ සලකා බැලුවහොත් වැඩිහිටියන්ට වඩා මේ ගැටලුවට මුහුණ දී තිබෙන්නේ පාසැල් යන වයසේ මෙන්ම පෙර පාසල් යන වයසේ දරුවන්ය. මේ සඳහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌනතාව පිළිබඳ මහජනතාව නිසි පරිදි දැනුවත් නොවීමයි. විශේෂයෙන් වැඩිහිටියන්ට හොඳ දැනුමක් ලබාදීම හරහා එය දුවා දරුවන්ට ද ලබාදීම තුළින් වඩාත් නීරෝගිමත් ජනතාවක් ඉදිරියේදී බිහිකර ගත හැකි වේවි.