හේතුවක් නොමැතිව හඬන දරු සිඟිත්තා වෙනුවෙන් ඔබ කලබල විය යුතු අවස්ථා?

හේතුවක් නොමැතිව හඬන දරු සිඟිත්තා වෙනුවෙන් ඔබ කලබල විය යුතු අවස්ථා?

අලුත උපන් කිරිකැටියාගේ සිනහව මෙන්ම කඳුළු තමාගේ හැඟීම් ප්‍රකාශ කරන එකම මාර්ගය වේ. මේ අවස්ථාවට මුහුණ දෙන කුලුඳුල් මවට නම් සිනහවටත් වඩා දරුවාගේ කදුළුවලින් ඇති කරවන්නේ තරමක පීඩනයක්. නමුත් දරුවා සිනහ වෙනවාටත් වඩා හැඬීම මඟින් තමාගේ අවශ්‍යතා සියල්ල ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් හේතුවක් නොමැතිව වුවද දරුවා හැඬීමටද හැකි නිසා මවක් කලබල විය යුතු නොයුතු අවස්ථා මොනවාද යන්න පිළිබඳ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ සමඟ පැවැත්වූ සාකච්ඡාවේන් ඔබට දැනගත හැකි වේවි.

සාමාන්‍යයෙන් කුලුඳුල් දරුවෙකුට තමාට ඇතිවිය හැකි රෝග අවස්ථා පිළිබඳව ප්‍රකාශ කිරීමට නොහැකි වේ. ඒ වෙනුවෙන් දරුවෙකුට කළ හැකි එකම කාර්යය හැඬීම පමණයි. ඇතැම්විට රෝගයක් වැළඳී තිබුණත් පිටතට රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාද තිබේ. නමුත් එවැනි විටෙක දරුවාගේ සාමාන්‍ය හැසිරීම්වල අසාමාන්‍යතා මඟින් ඒ බව පැහැදිලිව හඳුනාගත හැකියි. ඒ ලක්ෂණ අතර දරුවා වෙනදා තරම් කිරි උරා නොබොනවා නම් හෝ ශරීර උෂ්ණත්වය (උණ) ඉහළ ගොස් තිබේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මෙසේ ඇතිවන උණට හේතුවිය හැක්කේ නිසිලෙස ප්‍රමාණවත් පරිදි කිරි නොලැබීම නිසා දරුවා විජලනයට ලක් වීමයි.

ඒ වගේම අනෙකුත් දිනවලට වඩා දරුවා නිදා ගන්නේ නම් හෝ මව බලෙන් උත්සාහ කර කිරි පෙවීමටද නොහැකි නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. මීට අමතරව කුලුඳුල් දරුවාගේ පෙකෙණිය සම්බන්ධවද ඇතැම් මව්වරු වරදවා වටහා ගනු ලබයි. සාමාන්‍යයෙන් දරුවකු ඉපදී දින 5,6,7 ක් ඇතුළතදී ස්වභාවිකවම පෙකණිය හැලී යයි. ඇතැම් අය මේ සඳහා විවිධ ආලේපන ගැල්වීම, වැනි ක්‍රමවේද අනුගමනය කළත් මේ සඳහා විශේෂයෙන් කිසිවක් කිරීමටද අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ එතැන වියළිව, පිරිසුදුව තබා ගැනීම පමණයි. නමුත් ඇතැම් විටෙක තරමක් තෙත ස්වභාවයකින් යුක්ත නම් එසේත් නැත්නම් රතු පැහැයක් ඒ අවට ඇති වී තිබේ නම් හෝ දුර්ගන්ධයක් හමයි නම් වෛද්‍යවරයාට නොපමාව ඒ බව දැන්විය යුතුයි

ඒ වගේම එන්නත ලබාදීමෙන් පසු දරුවන්ට මද උණ ස්වභාවයක් ඇතිවීම සාමාන්‍යයයි. නමුත් මේ හේතුව නිසාත් මව්වරු අනවශ්‍ය ලෙස කලබල වී දරුවන්ව වෛද්‍යවරුන් වෙත රැගෙන යයි. තවද “ඉක්කා” වැටීමද මෙවන් දරුවෙකුට ඇතිවිය හැකි සාමාන්‍ය තත්ත්වයක් වූවත් වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ඉක්කා වැටේනම් එවිටද දරුවා වෛද්‍යවරයෙක් වෙත පෙන්විය යුතුයි.

යම් කුඩා දරුවෙකු මුත්‍රා දැමීමට පෙරද අඬනවා නම් ඒ පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි.

එමෙන්ම බොහෝදෙනෙක් කිරි වමනය දැමීම පිළිබඳ කතාබහ කරයි. මීට ප්‍රධාන වශයෙන් බලපවත්වන්නේ නිසිලෙස දරුවාට ගුඩුස් නොයැවීමයි. එසේ වුවත් නිතරම වමනය යයි නම් සෑම කිරිවේලකට පසුව, විදීමෙන් වමනය දමයි නම් හා දරුවාගේ බරද ක්‍රමයෙන් අඩු වේ නම් මව්වරු විශේෂ සැලකිල්ලක් තමාගේ දරුවන් කෙරෙහි දැක්විය යුතුයි. මීට අමතරව අනවශ්‍ය ලෙස කිරි පෙවීමද කිරි වමනය කිරීම හේතුවක්. එබැවින් දරුවාට හඬන සැමවිටම කිරි නොදී පැය 2 කට වරක් පමණ කිරිවේලක් ලබාදීම ප්‍රමාණවත්. නමුත් ඉන් අදහස් වන්නේ ඔරලෝසුවකට අනුව කිරි දිය යුතු බව නොවේ. සාමාන්‍යයෙන් පැය 4 කට වඩා දරුවෙකුට කිරි ලබා නොදී සිටීමද කිසිවිටෙක නොකළ යුතුයි. ඇතැම් අවස්ථාවල දරුවා තරමක් සීතල වීමද ස්වභාවිකයි. ඒ වගේම කුලුඳුල් දරුවෙකු නෑවීමද ඉතා වැදගත්. මෙහිදී දරුවා නිරෝගී නම්, හිරුඑළිය හොඳින් ලැබෙන දිනයක් නම් දරුවකු නෑවීම ගැටලුවක් නොවේ. එමෙන්ම නෑවීම කොටස් දෙකක් වශයෙන් සිදු කළ යුතුයි. ඒ අනුව පළමුව දරුවාගේ හිසද දෙවනුව ශරීරයද නෑවීම කළ යුතුයි.

ඉහත අවස්ථාවන්හිදී හැරුණුවිට මවුවරු බියට පත්වන තවත් කරුණක් වන්නේ දරුවන් කහ පැහැති වීමයි. නමුත් සාමාන්‍යයෙන් අලුත උපන් දරුවන්ගෙන් 70% කට පමණ ශරීරය කහ පැහැවීම, සුදු ඉංගිරියාව කහ පැහැවීම දින කිහිපයකින් අඩු වී යයි. නමුත් කලක් ගත වූවත් ඇස්, අතපය හා උදර ප්‍රදේශය කහවීම වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතු අවස්ථාවන්ය. සාමාන්‍යයෙන් දරුවෙකු පළමු දින 5 දී උපරිම කහ පැහැයක් ගන්නා අතර දින 10ක් ගත වනවිට එය අවම වීමයි.

මේ සියලු තොරතුරුවලට අමතරව මවක් විශේෂයෙන් මතක තබා ගත යුත්තේ තමාගෙන් දරුවාට දිය යුතු මුල් කිරි ප්‍රමාණය ලබා දීමයි. ඊට හේතුව දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය මූලික පෝෂ්‍ය කොටස් ඒ තුළ අන්තර්ගත වීමයි. නමුත් ඇතැම් මව්වරු මුලින්ම පියයුරකින් එන කිරි ඉවත් කරන්නේ එය තරමක් කහ පාටට හුරු තෙල් ස්වභාවයකින් යුත් දියරයක් නිසාත් දරුවාට එය හානිකර යැයි සිතන නිසාත්ය. නමුත් මෙම මුල් කිරිවලින් (කෙලෙස්ට්‍රම්) ඔබගේ කිරිකැටියාට සිදු වන්නේ යහපතක් මිස අයපතක් නොවන බව තදින් සිහියේ තබා ගත යුතුයි.

කෙසේ වෙතත් මේ තොරතුරුවලට අනුව කුලුඳුල් මවක් කලබල විය යුතු නොවිය යුතු අවස්ථා මොනවාදැයි නිවැරදිව වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ අපහසුතාවට පත්වීම වළක්වා ගත හැකි වේ.