වයසත් සමඟ ඇතිවන අක්ෂි දුර්වලතා

වයසත් සමඟ ඇතිවන අක්ෂි දුර්වලතා

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

එදිනෙදා ජීවිතයේ සිදුවන බොහෝ දේ පිළිබඳව අපි නිරන්තර අවධානයකින් කටයුතු කිරීම ඉතා වැදගත්. නමුත් වර්තමාන ජීවන රටාව නිසා අපි කවුරුත් අපටත් නොදැනීම කාර්ය බහුල තත්ත්වයට පත් වී අවසන්. මේ කාර්ය බහුලත්වයත් සමඟ ලෙඩ රෝග පිළිබඳ සැලකිලිමත්වීම ඉතා අපහසු කටයුත්තක් වුවත් එම අවධානය ඉදිරියේදී ඇතිවිය හැකි බරපතළ රෝග අවස්ථාවලින් ඔබව වළක්වා ගැනීමට තරම් ප්‍රමාණවත් වේවි.

මෙවර ලිපිය යටතේ අචාර්ය මිහිර වික්‍රමාරච්චි සමඟ කථා බහට ලක් කරන්නේ පුද්ගලයා ක්‍රමයෙන් වයස්ගත වන විට ඔවුන්ට මුහුණ දීමට සිදුවන අක්ෂි ආබාධ පිළිබඳවයි.

ඕනෑම පුද්ගලයෙකු ක්‍රමයෙන් වයස් ගත වීමත් සමඟ ශාරීරික දුර්වලතා ඇතිවීම ඉතාමත් ස්වභාවික තත්ත්වයකි. විශේෂයෙන් අක්ෂි දුර්වලතා ඒ අතර ප්‍රධාන තැනක් හිමි කර ගන්නවා පමණක් නොවේ ඊට නිසි පිළියම් නොයෙදීමෙන් එම දුර්වලතා නැවත මඟ හරවා ගත නොහැකි මට්ටමේ බරපතළ රෝග අවස්ථාවන් බවට පත්විය හැකියි.

එදිනෙදා ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු අතර වර්තමානයේදී සුලබව දක්නට ලැබෙන ප්‍රධාන රෝග අවස්ථා කිහිපයකි. එම රෝග අවස්ථා අතර දියවැඩියාව.

අධික රුධිර පීඩනය ආදිය මූලිකත්වයක් හිමි කරගනු ලබනවා වගේම නිසි පාලනයක් සිදු නොවීමෙන් අනෙකුත් ඉන්ද්‍රියන්ට ද ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුත්තේ මෙම රෝග තත්ත්වය අවසානයේදී අන්ධභාවය ඇති කිරීම සඳහා ද හේතු විය හැකි නිසයි.

අධික රුධිර පීඩනය නිසා ද අක්ෂි ආබාධ ඇතිවිය හැකි අතර ග්ලුකෝමා තත්ත්වය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කළ හැකියි. ග්ලුකෝමා තත්ත්වයේදී පුද්ගලයාගේ වයස පිළිබඳ හොඳ සැලකිලිමත් භාවයක් දැක්විය යුතු අතර වයස අවුරුදු 40 ඉක්ම වූ අය එම අවධානය තව තවත් වැඩිකළ යුතුයි. මෙම රෝග අවස්ථාව යටතේ කථා බහට ලක් වන ගැටලු කිහිපයක් පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුයි.

ග්ලූකෝමා තත්ත්ව ඇතිවීම සඳහා බලපාන හේතු ගණනාවක් පැවතිය හැකි අතර ජානමය වශයෙන් ඇතිවන බලපෑම පිළිබඳ මෙහිදී මුලිකව අවධානයක් යොමු කළ හැකියි.

මීට අමතරව දීර්ඝ කාලීනව ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ භාවිතා කිරීම නිසාද මේ අවධානම ඉහළ යා හැකියි. පොදුවේ දියවැඩියා රෝගීන් සෑම ඉන්ද්‍රියයක් පිළිබඳවම සැලකිලිමත් විය යුතු අතර විශේෂයෙන් ඇස් පිළිබඳ නිරන්තරව සොයා බැලීම හරහා ඇස් සඳහා ඇති විය හැකි බරපතළ මට්ටමේ ආබාධ අවම කරගත හැකියි.

බොහෝ දුරට මෙම රෝග අවස්ථා හඳුනා ගන්නේ කියවීමේ අපහසුතා සඳහා ඇස් පරීක්ෂා කිරීම වැනි අවස්ථාවන් වලදියි. මැදිවියේ පසුවන අයට නම් ඊට අමතරව බාහිර රෝග ලක්ෂණ ද දැක ගත හැකියි. එම රෝග ලක්ෂණ අතර ඇස් රතු වීම, වේදනාව පමණක් නොව දෘෂ්‍ය ආබාධිත තත්ත්වයන් පවා ඇති විය හැකියි.

ග්ලූකෝමා තත්ත්වය ඇති වීමේ තවත් අවස්ථා තිබෙන අතර යම් කලකට ඉහතදී ඇසට හානියක් ඇති වූ අයටත් මේ තත්ත්වය උද්ගත විය හැකියි. කෙසේ වෙතත් ඉහත අවධානම් තත්ත්වයේ පසුවන අය ග්ලූකෝමා තත්ත්ව ඇතිවීම පිළිබඳව අන් අයට සාපේක්ෂාව වැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි.