බඩ පිපීම වළක්වා ගැනීමට නම්...

බඩ පිපීම වළක්වා ගැනීමට නම්...

මල් පිපෙනවා දැකීමට කවුරුත් කැමතිය. එහෙත් බඩ පිපෙනවා දැකීමට තබා ඒ ගැන ඇසීමටවත් බොහෝදෙනා අකමැතිය. එසේ වුවත් බඩ පිපීම වළක්වා ගැනීමට අපට ගත හැකි පියවර කිහිපයකි.

බඩ පිපීම ඉංගී‍්‍රසියෙන් හඳුන්වන්නේ “බ්ලෝටින්” ලෙසය. එහිදී සිදුවන්නේ ආමාශයට අපහසුතාවන් දැනෙන ආකාරයට ආමාශය පිරීමය. එසේම බඩ පුරවා දැමීම නිසා තද ගතියක් දක්වයි. වාතය පිරී ඉදිමීගිය ස්වභාවයක් ද මතු කරයි. සමහරවිට බඩ පිපීමත් සමඟ වේදනා සහගත බවක් දැනීමට පුළුවන. මුඛයෙන් වාතය පිටවීම, උගුරට ඒම, ඔක්කාරය මෙන්ම පිටුපස අධෝ මුඛයෙන් වාතය .පිටවිමක්ද පැවතිය හැකිය.

බඩ පිපීම ඇති කිරීම සඳහා හේතු ගණනාවක් පැවතිය හැකි වුවද ඒ සඳහා මුල්වන ප්‍රධාන හේතු අතර මුඛය තුළින් වාතය ගිලීම මලබද්ධය, උගුර පපුව හා බඩදැවිල්ල, ආමාශ ශ්ලේෂමල ප්‍රද්‍රහය (ගැස්ට්‍රයිටීස්) උද්දීපන අන්ත්‍ර සහ ලක්ෂණය වේගයෙන් ආහාර ගිලීම ආදිය දැක්විය හැකිය.

පෙර සකස් කළ හෝ ලුණු හා මේදය බහුල හෝ ආහාර ගැනීම ද බඩ පිපීමට දායක වෙයි. විශේෂයෙන් ශරීර ගතවන ලුණු ප්‍රමාණය ඉහළ යනවිට ශරීරය තුළ රඳවා ගන්නා ජලය ප්‍රමාණය ද ඉහළ යැවෙයි.. ලුණු වැඩි ආහාර ගතහොත් ජලය වැඩිපුර පානය කර ලුණු සෝදා හැරීමට පියවර ගන්න. එහෙත් මෙහිදී මතක තබාගත යුතු දෙයක් වන්නේ ජලය මිස වාතය මිශි‍්‍රත සිසිල් බීම පානය කිරීම බඩ පිපීම පිටු දැකීමට ආධාරයක් නොවන බවය.

ඔබ නිතර බඩ පිපීමට භාජනය වන අයෙක් නම් පලා වර්ග සලාද ලෙස අමුවෙන් ආහාරයට නොගත යුත්තේ, ඒවා ආමාශය තුළ වැඩිවේලාවක් රැඳෙමින් බඩ පිපීමට උදව් කරන නිසාය. මේ නිසා පලාවර්ග මැල්ලුම් හෝ ව්‍යාංජන හෝ ලෙස ගැනීම වැඩියෙන් ප්‍රයෝජනවත්ය. කඩල, මුං ඇට, කව්පි වැනි පියලි ඇටවර්ග ආහාරයට ගැනීම නිසාද බඩ පිපීම ඇති වෙයි. එහෙයින් ඒවා තනිව ආහාරයට නොගෙන නිවුඩු සහලින් පිසූ බත් සමඟ ආහාරයට ගැනීම බඩ පිපීමට ලක්වන අයට සුදුසුය.

චුයිංගම් සැපීම නිසා වැඩිපුර වාතය ප්‍රමාණයක් ආමාශයට ඇතුළු විය හැකිය. එබැවින් ඉඟුරු පියලි පෙත්තක්, එනසාල් කරලක්, කරාබු නැට්ටක් සැපීමට හුරුවීම සුදුසුය.

පොටෑසියම් සුලබ ආහාර එනම් කෙසෙල්, අලිපේර, පොල් සහ වියලි පලතුරු ශරීරය තුළ ඇති සෝඩියම් ප්‍රමාණය වෙනස් කිරීමට සමත් වීම නිසාද ජලය රැඳෙන ප්‍රමාණය අඩු කළ හැකිය. මලබද්ධය (බඩ වේලිම) නිසාද බඩ පිපුම ඇති කරයි. මල බද්ධයට හරස් වන ආහාර (එළවළු හා පලතුරු ආදී) බහුලව ගැනීම සහ ජලය වැඩියෙන් පානය කිරිම මඟින් ද මෙම තත්ත්වය පාලනය කළ හැකිය. ඉඟුරු සතු ප්‍රති - ප්‍රද්‍රහමය ගුණය ගැන බොහෝ දෙනා දනිති. ආහාරයෙහි අඩංගු ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ඉක්මනට අවශෝෂණය කිරීමට සැලැස්වීම තුළින් ප්‍රෝටීන් ආහාර හේතුකොට ඇතිවන බඩ පිපුම වළක්වාගන්නට උදව් කරයි.

පැපොල් තුළ අඩංගු පැපේන් නම් එන්සයිමය ආහාර දිරවීමට උදව් කිරීම මඟින් ද, පිපිඤ්ඤා සහ කැකිරි ආදියෙහි අඩංගු කැයෙරසිටින් නම් ෆ්ලේවනොයිඩ් ගුණයේ ප්‍රතිඔක්සිකාරකය ඉදිමුම අඩු කිරීමට සමත් වීම හේතුකොට බඩ පිපුමට හරස් වෙයි.

හාතාවාරිය සැලකෙන්නේ ආමාශය තුළ හිතකර බැක්ටීරියා වර්ධනයට සමත් ප්‍රෝ - බයෝටික ගුණැති ආහාරයක් ලෙසය. එසේම තවත් සුලබ ප්‍රෝ - බියෝටික් ගුණැති යෝගට් ද ආහාරයට ගැනීම මඟින් බඩ පිපුමට එරෙහි වීමේ හැකියාව ලැබේ.

උළුහාල්, අළු පුහුල් , කොමඩු , ඔලිව් තෙල්, නොපාහින ලද ධාන්‍ය, පැසවීමට ලක් කළ ආහාර තක්කාලි, බෙරි වර්ගයේ පලතුරු මෙන්ම සාලයෝ, සැමන්, හුරුල්ලන් ආදී මත්ස්‍යයන් ද බඩ පිපුමට එරෙහි වීමට සත් ආහාරය.