මත්පැනට ඇයි ඔය තරම් කෑදර

මත්පැනට ඇයි ඔය තරම් කෑදර

 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නෙළුව

වෛද්‍ය

ඊ.එම්. ටී. එම්. ඒකනායක

මධ්‍යසාර හෝ මත්පැන් පිළිබඳ සමාජගත වී ඇති මතයන් විවිධය. ඒ සමහර මතයන් බොහෝ නිර්මාණශීලිය එසේම ඒ බොහෝ මතයන් මගින් සමාජගත කොට ඇත්තේ මත්පැන් හෝ මධ්‍යසාර යනු සතුට සුවපහසුව ඕනෑම මොහොතක ළඟකර දෙන්නක් ලෙසය. එය සැබෑවක් ද? එසේ නැතිනම් මධ්‍යසාර පිළිබඳ යථාර්ථය කුමක්ද?

මත්පැන්වල ඇත්ත මෙන්න

මධ්‍යසාර (Alchohol) යනු රසායනික ද්‍රව්‍යයකි. එය සිරුරට ලබාගත් මොහොත් සිට මරණය තෙක්ම කිසිවිට, කිසිවකුටත් සුවයක් හෝ සතුටක් නොදෙයි. මත්පැන් පිළිබඳ සමාජගත වී ඇති මිත්‍යා මතයන් හෝ එම බොරුව දිගින් දිගටම ව්‍යාප්ත වීම සැබැවින්ම අවාසානවන්ත තත්ත්වයකි.

පොඩ්ඩක් ගත්තට වරදක් නැද්ද?

ලෝකයේ විවිධ අවධීන්වල හෘද රෝගීන් සම්බන්ධයෙන් සිදුකළ යම් පර්යේෂණ ඇසුරෙන් එළිදැක්වුණු ප්‍රකාශයන්, මත්පැන් ලබාගැනීමට කිසිදු අනුබලයක් හෝ වෛද්‍යමය අනුමැතියක් ලබාදෙන ප්‍රකාශයක් ලෙස නොසැලකිය යුතුය.

ගත්තු වෙලේ පටන් දුකම තමයි

මධ්‍යසාර භාවිතයෙන් කෙටිකාලීන අහිතකර ප්‍රතිඵල මෙන්ම දිගුකාලීන අහිතකර ප්‍රතිවල ද අත්වීඳීමට සිදුවේ.

කෙටි කාලීන අහිතකර ප්‍රතිඵල අතර බහුලව හඳුනාගත හැකි ලක්ෂණ නම් වමනය, ගැස්ට්‍රයිටීස්, ඔලුවේ බර ගතිය, පසු දිනයේ සිරුරේ ඇතිවන වෙහෙසකර ගතිය ආදියයි.

මධ්‍යසාර භාවිතයෙන් ඇතිවිය හැකි දිගුකාලීන අහිතකර ප්‍රතිඵල අතර අක්මාව දුර්වල වීම හඳුනාගත හැකිය. එමඟින් අක්මාව හරහා සිදුකරන පරිවෘත්තීන් අඩාලවන අතර සිරෝසීස් වැනි බරපතළ රෝගී තත්ත්ව කරා ද ඉතා ඛේදනීය ලෙස පුද්ගලයකු ක්‍රමයෙන් ඇද දමයි.

තවද මධ්‍යසාර අක්මාවට බලපෑමෙන් වක්‍රාකාරව සමන්ත සිරුරටම බලපෑම් ඇති කරයි.

විශේෂයෙන්ම මධ්‍යසාර භාවිතාකරන්නන්ගෙන් 95%ක් පමණම සුළු ආබාධ වලින් පෙළෙන අතර එය සමාජගත වී නොමැති කරුණකි.

තවද මධ්‍යසාර මානසික සෞඛ්‍යයට ද දැඩි අහිතකර බලපෑම් ඇති කරන අතර ඒ පිළිබඳව ද සමාජගත වී ඇත්තේ ඉතාමත් අඩුවෙන්ය. මධ්‍යසාර භාවිත කරන්නන් විෂාදයට ගොදුරු වීමේ ඉඩ ඉතා ඉහළය.

ගත්තු ගමන් මුඩ් එක හරියනවද?

මධ්‍යසාර ගත් සැනින් අතිශය ආස්වාදයක් ලබන බව මුළුමනින්ම මිත්‍යාවකි. සාමාන්‍යයෙන් මධ්‍යසාර සිරුරට අවශෝෂණය වීමට සැලකිය යුතු කාලයක් ගත වේ. මධ්‍යසාර වීදුරුව අතට ගෙන පානය කළ පසු සතුටක් ඇතිවේ ය යන්න මානසික ව නිර්මාණය වූ මතයකි. යථාර්ථය එය නොවේ.

ශක්තිය බින්දුවයි

මධ්‍යසාර ලබාගත්විට සිදුවන්නේ කායික ශක්තිය ක්‍රමයෙන් පිරිහීමකට හෝ දුර්වලවීමකට ලක්වීමය.

බොහෝ පුද්ගලයන් මත්පැන් ලබාගත් විට මධ්‍යසාරවල රසායනික ක්‍රියාකාරීත්වය නිසා විවිධ අපහසුතා ඇතිවේ. මධ්‍යසාර ක්‍රියාකාරීත්වය ඇරැඹුණු පසුව කායික ශක්තිය දුර්වල වීමට පටන් ගන්නා අතර මධ්‍යසාරවල පවතින අධික කටුක රසය අඩුකර ගැනීමට ද පුද්ගලයින් මධ්‍යසාර සමඟ අනු ආහාර පාන, යොදාගන්නේ එබැවිනි.

බොන මිනිස්සුන්ගේ හිත හොඳද?

මෙයද මුළුමනින්ම මිත්‍යා මතයකි. පෙර සඳහන් කළ අයුරින් මධ්‍යසාර දිගු කාලීන මානසික ගැටලු ඇති කිරීමට සමත්වන අතර ඊර්ෂ්‍යාව කෝපය, සැක කිරීම විෂාදය වැනි විවිධ මානසික ගැටලු රැසකට ගොදුරු විම් ද සිදුවිය හැක.

එසේම මධ්‍යසාර මගින් සිදුවන මරණ වශයෙන් බොහෝවිට සමාජගත වී ඇත්තේ අක්මා සිරෝසීස් මරණ පමණකි. ඊට අමතරව මධ්‍යභාර නිසා ඇතිවන විශාල හේතු ප්‍රමාණයක් පුද්ගල මරණ වලට බලපායි. වාහන අනතුරු ඒ අතරින් ප්‍රධානය.

රුධිරයේ මධ්‍යසාර මට්ටම අධික වූ පසුව එය ස්නායුවලට බලපෑමක් සිදුකරයි.

එමඟින් පැහැදිලි තීරණ ගැනීමේ අපහසුව, කාලය නිර්ණය කරගැනීමේ ගැටලු, මෙන්ම පෙනීමේ ගැටලුවල ප්‍රමාදයන් ඇතිවේ.

මෙය මධ්‍යසාරවල තිබෙන රසායන නිසා හටගන්නා බලපෑමකි. මෙමඟින් රථ වාහන අනතුරුවලට පුද්ගලයන් පහසුවෙන් ගොදුරුවන බව සොයාගෙන තිබේ.

ඊට අමතරව පුද්ගල සියදිවි නසා ගැනීමේ සඳහා ද මධ්‍යසාරවල සම්බන්ධයක් ඇතිබව හඳුනා තිබේ. එසේම පුද්ගල ගැටුම්, කලකෝලාගාල බොහොමයකට ද මධ්‍යසාර භාවිතය හේතුවක් වේ.

‘බෑ’ කියන්න බැරිකමටද බොන්නේ?

ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිතා කරන පුද්ගලයන්ගෙන් බහුතරයක් මධ්‍යසාර හෝ මත්පැන් භාවිතා කරනුයේ බොහෝ විට අන් අයෙකුගේ කීම හෝ බලපෑම අහක දැමීමට නොහැකි බැවිනි. අවශ්‍යතාවක් නැතිවද සමහරු අනුන්ට පෙවීමට උත්සාහ කරති. ඇබ්බැහිය අනෙක් හේතුවයි. එහිදී පුද්ගලයකු නැවත නැවත මධ්‍යසාර ලබාගන්නේ මධ්‍යසාර නිසාම හටගත් කායික අපහසුතා මඟ හරවා ගැනීමේ අරමුණෙනි. එනම් මධ්‍යසාර භාවිතය නිසා සිරුරේ හටගන්නා ප්‍රතිකි‍්‍රයාවන් මර්දනය කරගත නොහැකි බැවිනි.

බිව්වම සතුටින් ඉන්න කතා පට්ටපල් බොරු

මධ්‍යසාර සතුටේ සංකේතයක් නොවේ. නමුත් සමාජගත වී ඇති එම වැරදි හා මිත්‍යා මතය හේතුවෙන් උගත් හා සැලකිය යුතු සමාජ තත්ත්වයන් සහිත පුද්ගලයන් පවා මේ ව්‍යසනාකාරී ක්‍රියාවට ගොදුරු වේ. මධ්‍යසාර ලබාගත් පුද්ගලයකු සතුටින් සිටින බවක් බාහිර සමාජයට පෙන්වීමට උත්සාහ දැරූවද සත්‍ය වශයෙන්ම ඔහු ඉන් කිසිදු සැබෑ සතුටක් ලබා නොගනී. එය හුදු මානසික සිතුවිල්ලක් පමණි. සැබෑව නම් මධ්‍යසාර භාවිත කරන කිසිවකුත් එහි යථා ස්වරූපය සමාජයට නොදැක්වීමය.

අහිංසක මිනිස්සුන්ට තඩිබාන්න දෙන ලයිසන් එකක්ද?

මධ්‍යසාර ලබාගැනීම සමාජ බාධක හෝ තහංචි බිඳ දැමීමට ලැබෙන අවසරපත්‍රයක් ලෙස යම් පුද්ගලයන් අදහස් කරති.

මත්පැන් ලබාගත් පසු මෙවැන්නන් බොහෝවිට හිංසා, පීඩා කරනුයේ අහිංසක, දුබල පිරිස්හටය. තම බිරිඳ, දු දරුවන් හෝ අහිංසක පුද්ගලයන්ට පීඩා කරන බීමත් පුද්ගලයන් ප්‍රබලයන් හමුවේ බොහෝ කල්පනාකාරීව හා බැගැපත්ව සිටිනු හඳුනාගත හැක.

මධ්‍යසාර පිළිබඳ ලැජ්ජාසහගත සැබෑව එයයි. මධ්‍යසාර භාවිත කරන්නන් හට සමාජය හෝ තම පවුලේ අනාගතය පිළිබඳ හැඟීමක් ඇති නොවෙතත් ඉන් දූ දරුවන්ට හා අනාගත සමාජයට විශාල හානිකර බලපෑමක් සිදුවෙයි. එය කෙසේවත් සුළුවෙන් තැකිය නොහැකි වේ.

අනුන්ට පොවන එක නතර කළාත් බොන එක බාගෙට බාගයක් අඩුකර ගත හැකියි

මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් බලපාන ප්‍රබල යථාර්ථයක් නම් මෙයයි. මධ්‍යසාර සතුටේ සංකේතයක් ය යන්න හුදු ව්‍යාපාරික ප්‍රචාරණයක් පමණි. එහි කිසිදු මානසික හෝ කායික සතුටක් නැත. ඇත්තේ වේදනාව හා දුක පමණය. එමගින් ජීවිතයට සිදුවන අහිමිවිම් ප්‍රමාණය අධිකය. මධ්‍යසාර ඔබව මෝඩයකු කරනවා හැර අන් කිසිවක් නොකරයි. ඉතින් මේ සියල්ල හඳුනාගත් පසු තීරණය ඔබ සතුය.