බෝ නොවන රෝගවල ගොදුරක් වෙන්න එපා!

බෝ නොවන රෝගවල ගොදුරක් වෙන්න එපා!

වෛද්‍ය නලින් පී. විජේසේකර

වෛද්‍ය නිලධාරී, බෝනොවන රෝග ඒකකය, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍යසේවා කාර්යාලය

අපේ බත් පිඟාන

බත් දමාගත යුත්තේ පිඟානෙන් භාගයක් හෝ ඊට පසු ප්‍රමාණයක්. පිඟානෙන් 1/3 ක් පලා වර්ග සහ එළවළු තිබීම වැදගත්. මාළු, මස්, බැදපු මාළු හෝ වෙනත් සත්ව ආහාරයක් තිබිය යුත්තේ පිඟානෙන් 1/6 ක් පමණයි. විශාල බත් පිඟානක් සමඟ එළවළු ස්වල්පයක් ආහාරයට ගැනීම ඉතාම අහිතකරයි. ප්‍රධාන ආහාරයෙන් පසුව පලතුරක් ආහාරයට ගැනීමත් වැදගත්.

එළළුළු, පලතුරු සහ පලා වර්ග වලට අපගේ ආහාර වේලෙහිදී ප්‍රමුඛතාවයක් දිය යුතු වන්නේ ඒවායේ තන්තු බහුල නිසයි. තන්තු සහිත ආහාර ගැනීම අපගේ ශරීරයේ නිරෝගී බවට ප්‍රධාන හේතුවක්. තිරිඟු පිටිවල තන්තු ඇත්තේම නෑ. බත්වල තන්තු තිබෙනවා. නමුත් හාල් පිටිවල තන්තු අඩුයි. ඕනෑම දෙයක් පිටි බවට පත් කරන විට එහි හිතකර තන්තු විනාශ වෙනවා. තිරිඟු පිටි හිතකර තන්තු සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ ද්‍රව්‍යයක්. බ්ලෙන්ඩරයක් මඟින් පලතුරු හෝ කොළ කැඳ සකසා ගැනීමෙන් ද එහි තිබෙන හිතකර තන්තු විනාශ වෙනවා.

බෝ නොවන රෝග පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

ඒ සඳහා බලපාන හේතු කීපයක්ම තිබෙනවා. ඉන් එකක්, බෝ නොවන රෝග වලට ගොදුරු වීමෙන් වැළකී සිටීමේ හැකියාවක් තිබීමයි. අනෙක් හේතුව වන්නේ බෝ නොවන රෝගයකට ගොදුරු වීමට කලින් ඒ බව හඳුනා ගැනීමට හැකියාව තිබීමයි. තවත් හේතුවක් වන්නේ බෝ නොවන රෝග හොඳින් පාලනය කරගෙන සාර්ථක ජීවිතයක් ගත කළ හැකි වීමයි. එසේම බෝ නොවන රෝගවලට ගොදුරු වී අකාලයේ ජීවිතයෙන් සමුගන්නා බොහෝදෙනා ක්‍රියාකාරී වයසේ පසුවන රටේ වැදගත්ම ශ්‍රම බලකායෙන් කොටසක් වීම බෝ නොවන රෝග පිළිබඳව වැඩි වැඩියෙන් කතා කිරීමට තවත් හේතුවක්.

මෙවැනි රෝග හැදෙන්නේ ඇයි?

බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධානම හේතුව වන්නේ ශරීරයට ගැලපෙන සෞඛ්‍යාරක්ෂිත ආහාර නොගැනීමයි. සීනි අධික, ලුණු අධික, තෙල් අධික මෙන්ම කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර නිතර ගැනීම බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් බව හෙළි වී තිබෙනවා.

තන්තු සහිත ආහාර බෝ නොවන රෝගවලින් මිදීමට උදව් වෙනවාද?

අප ගන්නා ආහාරවල තිබෙන වැඩිපුර සීනි ප්‍රමාණය, විවිධාකාරයෙන් ආහාරයට එකතු වූ තෙල් කොටස්, ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහ ආහාරයේ තිබෙන තන්තු මඟින් උරාගන්නවා. පසුව ඒවා මළ සමඟ ශරීරයෙන් පිට කරනවා. එය බෝ නොවන රෝග රැසකින්ම මිදීමට හේතුවක්. අප පාන්, ජෑම් හෝ බටර් සමඟ ආහාරයට ගන්නේ නම්, ඒවායේ තිබෙන පිෂ්ටය සීනි ක්ෂණිකවම ශරීරයට උරා ගන්නවා. එහෙත් පාන් පලතුරු සලාද කොළ එළවලු සමඟ ආහාරයට ගත්විට ඒවායේ තිබෙන පිෂ්ටය සීනි බොහෝ ප්‍රමාණයක් ශරීරයෙන් පිටවෙනවා. ඒ එළවළු සහ සලාද වල තිබෙන තන්තු නිසයි. පාන් අද වනවිට අපගේ ප්‍රධාන ආහාරයක් වී හමාරයි. එයින් සිදුවන හානිය අවම කර ගැනීමට නම් කළ යුත්තේ ගත් එළවළු හෝ සලාද සමඟ පාන් ආහාරයට ගැනීමයි. තන්තු සහිත ආහාර ගැනීමෙන් අපගේ ආහාර මාර්ගයේ මල රැඳී තිබෙන වේලාව අඩු වෙනවා. එවිට මල බද්ධය නැති වෙනවා. එය ආහාර මාර්ගයේ පිළිකාවලින් මිදීමට විශාල උපකාරයක්. අන්ත්‍රවල ඇතිවන පිළිකාවලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මලබද්ධයයි. අන්ත්‍රවල දීර්ඝ කාලයක් මල රැඳී තිබීමයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. වෙළඳපොලෙන් ගන්නා කෘෂිරසායන යෙදූ පලා, එළවළු වර්ග වලට වඩා කෘෂි රසායන නොයෙදූ පලා එළවළු වර්ග ආහාරයට එක් කර ගැනීම බෝ නොවන රෝගවලින් මිදීමට ප්‍රධාන මඟක්. හැකිනම් ගොටුකොළ, කංකුං, මුකුණුවැන්න වැනි පළා වර්ග කීපයක් හෝ ගෙවත්තේම වගා කරගන්නේ නම් එය ඉතා වැදගත්. අපේ රටේ එළවළු ගොවීන් අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය බෝ නොවන රෝග වැඩි වීමට හේතුවක් බව හෙළි වී තිබෙනවා.

ඔබේ ගෙවත්ත නිසා ........

ඔබට තිබෙන පුංචි ඉඩකඩක හෝ ගොටුකොළ ටිකක්, මිරිස් ගස් කීපයක්, වෙනත් එළවළුවක් වවා ගන්නේ නම් එයින් ප්‍රතිලාභ කීපයක්ම ඔබට ලැබෙනවා. ගෙවත්ත සඳහා වෙහෙසෙනවිට ශරීරයට ලැබෙන ව්‍යායාමය ප්‍රධානම ප්‍රතිලාභයක්. වස විසෙන් තොර ආහාරවේලක් කෑමට අවස්ථාව ලැබීම තවත් ප්‍රතිලාභයක්. තමාගේ ගෙවත්තේ පැල ලොකු වී දළු දමා වැඩෙන විට එය දැකීමෙන් අපට ලැබෙන මානසික සතුට ගෙවත්තෙන් ලැබෙන විශාලම ප්‍රතිලාභයයි. එමඟින් මානසික ආතතියෙන් මිදී බෝ නොවන රෝග රැසකින්ම මිදීමට හැකියාව ලැබෙනවා.

අද මහත දරුවන් හෙට...

අද මහත දරුවන් හෙට දවසේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවධානම වැඩියි. ලංකාවේ දරුවන් අතර ප්‍රධානතම සෞඛ්‍ය ගැටලු දෙකක් තිබෙනවා. එකක් ඌන පෝෂණය, අනෙක අධි පෝෂණය, මේ දෙකෙහිම ප්‍රතිඵලය වන්නේ දරුවන් වයසට යනවිට බෝ නොවන රෝගවලට ගොදුරු විමයි. මේ අතරිනුත් අධි පෝෂණයෙන් පෙළෙන දරුවන් අනාගතයේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි. දරුවන්ගේ ආහාර පිළිබඳව අද දවසේ සැලකිල්ලක් දැක්වූයේ නැතිනම්, වර්තමානයේ පුංචි දරුවන් සිටින දෙමව්පියන්ට තවත් අවුරුදු 30 කින් හෝ 40 කින් තම දරුවන් බෝ නොවන රෝගවලින් මිය යනු දකින්න සිදුවීම අරුමයක් නොවෙයි.

තෙල් අධික ආහාර

තෙල් දැමූ ආහාරවලට වඩා ගැඹුරු තෙලෙහි බදින ලද ආහාර ගැනීම ඉතාම අහිතකරයි. ලංකාවේ අපි ගැඹුරු තෙලෙහි බැදීමට බොහෝවිට භාවිතා කරන්නේ පොල් තෙල් හෝ එළවළු තෙල්. මෙම තෙල්වල අඩංගු වන්නේ සංතෘප්ත මේදය. පොල් තෙල් මඟින් ගැඹුරු තෙලෙහි බැඳීමේදී පොල් තෙල්වල රසායනික සංයුතිය හදවතට හානිකර අයුරින් විශාල ලෙස වෙනස් වන්නේ නෑ. එළවළු තෙල් මඟින් ආහාර ගැඹුරු තෙලෙහි බැඳීමේදී එහි රසායනික සංයුතිය විශාල ලෙස වෙනස් වී හදවතට ඉතාම අහිතකර ට්‍රාන්ස් මේදය අධික ලෙස නිපදවෙනවා. පිළිකා ඇති වීමට, රුධිර නාල අවහිර වීමට මෙම ට්‍රාන්ස්මේදය බොහෝ හේතුවන බව හෙළි වී තිබෙනවා.

වැඩියෙන් බත් කෑවත් කොලෙස්ටරෝල්.....

ඇතැමුන් අතර වැරදි මතයක් තිබෙනවා. ශරීරයේ කොලෙස්ටරෝල් මේදය නිපදවන්නේ තෙල් ආහාරයට ගැනීමෙන් පමණක් බව එය ඉතාම වැරදි මතයක්. අධික ලෙස බත් ආහාරයට ගත් විටත්, එමඟින් ශරීරයේ පිෂ්ටය ප්‍රමාණය වැඩි වී පසුව සීනි ප්‍රමාණය වැඩි වී ඒවා කොලෙස්ටරෝල් මේදය බවට පත් වෙනවා. ඒ නිසා විශාල බත් පිඟානක් ආහාරයට ගැනීම බෝ නොවන රෝගවලට අත වැනීමක්.

රටකජු, අලිගැටපේර, මාළු වැනි ආහාරවල අඩංගු අසංතෘප්ත මේදය අපගේ ශරීරයට ඉතාම හිතකරයි. මේ අතරිනුත් මාළුවලට අඩංගු ඔමේගා - 3 මේදය මිනිස් ශරීරයට ඉතාම හිතකරයි. එහෙත් ගැඹුරු තෙලෙහි බදින ලද මාළු ශරීරයට එතරම් හිතකර වන්නේ නෑ. ශරීරය වර්ධනයවන කුඩා දරුවන්ට නම්, බදින ලද මාළු හිතකරයි. කිසියම් ආහාරයක් බදින ලද එළවළු තෙල් හෝ පොල්තෙල් යන දෙවර්ගයම නැවත නැවත වෙනත් ආහාර බැදීමට ගැනීම ශරීරයට ඉතාම අහිතකරයි. එකම තෙලෙන් නැවත නැවත බදිනවිට එම තෙල්වල ට්‍රාන්ස්මේදය ප්‍රමාණය වැඩිනෛවා. එබැවින් කිසියම් ආහරයක් බැදීමට ගන්නා විට භාවිත නොකළ පොල්තෙල් යොදා ගැනීම ඉතාම වැදගත්.

ලුණු...

ලුණු අධික ආහාර ගැනීම වකුගඩු රෝගවලට හදවත් රෝගවලට මෙන්ම වෙනත් රෝග ගණනාවකටම ප්‍රධාන හේතුවයි. වැඩිහිටියකුගේ ශරීරයට දිනකදී ලැබිය යුතු ලුණු ප්‍රමාණය ග්රෑම් 05 ක් පමණයි. ඒ සියලුම ආහාරවලින් ලැබිය යුතු ලුණු ප්‍රමාණයයි.

බයිට්...

අද වැඩිහියන්ද කුඩා දරුවන්ද ගැඹුරු තෙලෙහි බදින ලද මුරුක්කු, මඤ්ඤොක්කා පෙති, අලපෙති වැනි බයිට් වර්ග නිතර කෑම පුරුද්දක් කරගෙන තිබෙනවා. එය ඉතාම අහිතකර තත්ත්වයක්. මේවාට මොනෝසෝඩියම් ග්ලුකොමේට් වැනි ආහාර රසකාරක බහුලව අඩංගු කර තිබෙනවා. ඒවා ශරීරයට ඉතා අහිතකර වන අතර පිළිකා අවධානම වැඩිකිරීමටද සමත්. දරුවන්ට බයිට් වර්ගයක් දීමට අවශ්‍යනම් තෙල් නොදැමූ රටකජු දිය හැකියි.

සීනි...

වැඩිහිටි පුද්ගලයකු දිනකට ගත යුත්තේ සීනි තේ හැඳි 6 ක් පමණයි. මෙම සීනි ප්‍රමාණයද අප ගන්නා බත්වලින් තේ කෝප්පයෙන් ලැබෙනවා. සීනි වැඩියෙන් ආහාරට ගත්විට ක්ෂණිකවම ශරිරයේ ඉන්සියුලින් නිපදවීම වැඩිවෙනවා. ඒ ශරීරයට ඇතුලුවූ සීනි මට්ටම පාලනය කිරීම සඳහා. මෙලෙස නිතර නිතර ශරීරයට වැඩියෙන් සීනි වැටෙන විට ඉන්සියුලින් නිපදවන අග්න්‍යාසය රෝගී වී දියවැඩියාව ඇතිවෙනවා. කිසියම් පුද්ගලයකු පැණි බීම බෝතලයක් පානය කළ විට කෙලින්ම සීනි හැඳි 5 ක් හෝ 6 ක් ලැබෙනවා. එය බෝ නොවන රෝගවලට හේතුවක්.

ව්‍යායාම

දිනපතා ව්‍යායාම වල යෙදීම බෝ නොවන රෝගවලින් වැළකී සිටීමට බෙහෙවින්ම හේතු වෙනවා. කොතරම් තරුණ වුවත්, සෑම පුද්ගලයකුටම දිනකට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණයක් තිබෙනවා. නිරෝගී වැඩිහිටියකු දිනකට විනාඩි 30 බැගින් සතියකට දින 5 ක්වත් ව්‍යායාම කළ යුතුයි. ඇවිදින විට මෙන්ම එදිනෙදා ගෙදර දොරේ වැඩකටයුතු කරනවිට ක්‍රියාශීලීව එම කටයුතු සිදු කිරීමෙන් ශරීරයට ව්‍යායාමයක් ලැබෙනවා. වර්තමානයේදී දරුවනට නිසි ව්‍යායාමයක් නොලැබීම අනාගතයේ එම දරුවන් බෝ නොවන රෝග වෙත කැඳවාගෙන යාමට හේතුවක්. උසට සරිලන බර පවත්වා ගැනීමට නිතර උත්සාහ ගැනීම මගින් බෝ නොවන රෝගවලින් මිදීමේ හැකියාව ලැබෙනවා. ඔබේ උසට සරිලන ඔබේ ශරීරයේ බර කොපමණද යන්න පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් දැනගත හැකියි.

ජලය පානය...

බෝ නොවන රෝග බොහොමයකින් වැළකී සිටීමට නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ජලය පානය ඉතාම වැදගත්. උතුරුවා නිවාගත් ජලය හෝ ප්‍රමිතියෙන් යුතු ෆිල්ටර් එකක් භාවිතා කිරීමෙන් ජලය සකසාගත හැකියි. දිනකට වැඩිහිටි පුද්ගලයකු ජලය ලීටර් 2 1/2 - 3 අතර ප්‍රමාණයක් පානය කිරීම වැදගත්. ජලය ගබඩා කර තැබීමට වඩාත්ම සුදුසුවන්නේ රතු මැටි භාජනයි. එක්වරක් භාවිතකර ඉවත දැමිය යුතු ප්ලාස්ටික් භාජන නැවත නැවත ජලය තබාගැනීමට හෝ තෙල් පැණි වැනි කිසිවක් දැමීමට සුදුසු වන්නේ නෑ.

මානසික ආතතිය...

කිසියම් පුද්ගලයකු නිතර නිතර මානසික ආතතියෙන් පෙළෙන්නේ නම්, එම පුද්ගලයා බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ හැකියාව වැඩියි. මානසික ආතතියෙන් මිදීමට ආගමික කටයුතුවලට යොමුවීම, සංගීතයට සවන්දීම සිත සන්සුන් කරන ස්ථානයක සංචාරය වැනි දේ කළ හැකියි.

බෝ නොවන රෝගවල ලක්ෂණ

බෝ නොවන රෝගවලදී බොහෝවිට කිසිඳු පූර්ව ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. එම නිසා වඩාත්ම සුදුසු වන්නේ වයස අවුරුදු 35 වූ විට සෑම පුද්ගලයකුම අධිරුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනි මට්ටම මැනීම, කාන්තාවක් නම් මැමෝග්‍රෑම් වැනි පිළිකා පරීක්ෂණාවන්ට යොමුවීම ඉතාම වැදගත්. මව්පියන්හට බෝ නොවන රෝග ඇත්නම් වයස අවුරුදු 35 ට පෙර වුවද මෙම පරීක්ෂණවලට යොමුවීම වැදගත්.

වෛද්‍ය පරීක්ෂණ

බෝ නොවන රෝග රැසක්ම හඳුනාගැනීමේ ප්‍රධානතම වෛද්‍ය පරික්ෂණය වන්නේ නිරාහාර රුධිර පරික්ෂාවයි. රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන්නේ නම්, පැය 8 - 10 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුයි. කොලෙස්ටරෝල් මේදය පරික්ෂා කරන්නේ නම්, පැය 12 - 14 අතර කාලයක් නිරාහාරව සිටිය යුතුයි. මෙම පරීක්ෂණ දෙකම එකවර කරන්නේ නම්, පැය 12 කින් රුධිර පරීක්ෂණය කළ හැකියි. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මෙම පරීක්ෂණ නොමිලේ කරගත හැකි සුවදිවි සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.