හදිස්සියේම නහයෙන් ලේ ගැලීමක්

හදිස්සියේම නහයෙන් ලේ ගැලීමක්

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

බලාපොරොත්තු නොවන දේවල් කොතරම් සිද්ධ වෙනවාද? දවසක් එක්තරා කාන්තාවක් වෛද්‍යවරයකු සොයා ආවේ තරමක් කලබලයකින්. ඇයගේ නහයෙන් ලේ ගලමින් තිබුණා. ඇගේ අතේ තිබුණ පරණ රෙදි කැබැල්ල ලේ වලින් නැහැවී තිබුණා. මොකක්ද මේ හදිස්සියෙන් ඇයට සිදු වුණේ?

ඩොක්ටර්... දැන් ටික වේලාවකට කලින් එකපාරටම නහයෙන් ලේ එන්න ගත්තා. ඒ එක්කම ටිකක් හිසරදරයකුත් තිබුණා. වෛද්‍යවරයා වහාම පරීක්ෂා කර නහයෙන් ලේ වැගිරීම නැවැත්වීමට පියවර ගනු ලැබුවා. ඇයගේ රුධිර පීඩනය 180/120 ලෙස දැක්වූණා. ඒ කියන්නේ ඉතා අධික රුධිර පීඩනයක් ඇයට තිබුණේ. වහාම ප්‍රතිකාර ආරම්භ කෙරුණා.

නහයෙන් ලේ ගැලීම (Nose bleed  හෙවත් Epistaxis) තරමක් දුරට දැකිය හැකි රෝග තත්ත්වයක්. සාමාන්‍යයෙන් මෙය බියවිය යුතු රෝග ලක්ෂණයක් ලෙස ගණන් ගැනෙන්නේ නැහැ. නමුත් වහා ප්‍රතිකාර ලැබිය යුතු හා ලේ ගැලීමට හේතු තහවුරු කළ යුතු තත්ත්වයක් වනවා. සාමාන්‍යයෙන් නාසයේ ඉදිරිපසින් රුධිරය වෑහෙනවා වාගේම පසුපසින්ද රුධිරය වහනය විය හැකි වනවා. කලාතුරකින් අවස්ථාවක අධික රුධිර වහනයකදී ඇසේ සිට නාසයට කඳුලු ගලායන නාලය දිගේ ඉහළට පැමිණ ඇසිපිය ආසන්නයේදී රුධිරය පිටතට පැමිණිය හැකි වෙනවා. නාසය පිටුපසට රුධිරය ගලා ගොස් උගුර දිගේ ආමාශයටද රුධිරය එකතු විය හැකියි. මෙවැනි අවස්ථාවක ඔක්කාරය හා වමනයද දැකිය හැකියි.

නාසයෙන් රුධිරය ගලා යාමේ හේතු ගැන විමසා බලමු. මේවා බොහෝවිට නාසය ආශි‍්‍රත රෝග තත්ත්වයන් හා ශරීරය තුළ ඇති නිදන්ගත රෝග තත්ත්වයන් ලෙසට වෙන් වශයෙන් දැක ගත හැකියි. නාසය ආශි‍්‍රතව ඇති හේතු අතරට නාසයට සිදුවන අනතුරු, ඇඟිල්ල මඟින් නාසය තුළ ඇති දේ ශුද්ධ කිරීමට යාමේදී එමඟින් ඇතිවිය හැකි අනතුරුද, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයේ පීනස, ඇලජික් හෙවත් අසාත්මිකතා, පාරිසරික ද්‍රව්‍යයන්ගෙන් සිදුවන හානි ආදිය සැලකිය හැකියි. ඉතා වියළි සුළඟ මඟින් නහය වේළීමකට ලක්වී ඇතිවන තුවල, උපත් ආබාධ, නාසයට දමන ඖෂධ නිසිලෙස පරිහරණය නොකිරීමද, ඒ අතර වනවා.

ශරීරගත හෝ නිධන්ගත රෝගවලින් සිදු කරන හේතු අතර විෂබීජ ආසාදන හා අධික රුධිර පීඩනය ප්‍රමුඛතම කාරණා බව සැලකිය යුතුයි. ඊට අමතරව ඇස්පී‍්‍රන් වැනි රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ ගැනීම, මත්පැන්, අක්මා රෝග, හෘද අකර්මණ්‍යතාවය, විටමින් ඌනතාවය, සර්ප විස ශරීරගත වීම ආදියද විශේෂයි.

රෝගියා පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව තීරණය වුණේ අධික රුධිර පීඩනය නිසා මේ තත්ත්වය ඇති වූ බවයි. එහිදී අධික රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමත්, නාසයෙන් ලේ ගැලීමට ප්‍රතිකාර කිරීමත් සිදුකිරිම කළ යුතුයි. සාමාන්‍යයෙන් සුළු රුධිර වහනයක්, රුධිරය ස්වභාවයෙන්ම කැටිගැසීම මඟින් සුව වුවද, තරමක් දුරට ඇති රුධිර වහනයන් ඇඟිලි දෙකකින් නාස්පුඩුව තද කිරිම මඟින් පාලනය කළ හැකි වනවා. එක දිගට විනාඩි 5 පමණ තද කරගෙන සිටිමත් එසේ නොවන විට ඊටත් වඩා විනාඩි 15 පමණ කාලයක් තදකරගෙන සිටීමත් වඩාත් යෝග්‍යයි. ඊට අමතරව, ඖෂධ ආලේපන මඟින් නහර සංකෝචනය කර රුධිර වහනය නැවැත්වීමත් කළ හැකියි. අයිස් මඟින් නාස්පුඩු සිසිල් කිරීම මඟින් රුධිරය නතර කර ගැනීම ගැන එතරම් පැහැදිලි සාක්ෂි දක්නට ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී පමණක් එම ක්‍රමය ඵලදායි විය හැකියි.

ඉහත සාමාන්‍ය ක්‍රම මඟින් රුධිරය නවත්වා ගන්නට බැරි අවස්ථාවක රෝහල් ගතකිරීම අවශ්‍ය වෙනවා. එහිදී සුළු ශල්‍ය උපක්‍රම මඟින් හා නාසය තුළට ඇතුල් කරන පටියක් මඟින් රුධිර නාල තෙරපුමකට ලක් කිරීමෙන් (Packing) ලේ ගැලීම නතර කිරීමට කටයුතු සිදු කරනු ලබනවා.