Stress එක Release කරගන්න

Stress එක Release කරගන්න

* සමබල ආහාර ලබාගනීම

* ස්වායු ව්‍යායාම්වල යෙදීම

* හිතවතෙකු සමඟ කථාබහ කිරීම

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා

හෘද රෝග විශේෂඥ වෛද්‍ය

නාමල් විජේසිංහ

මානසික ආතතිය යනු අපි දැඩි පීඩාවට පත්කරන දෙයක්. මානසික ආතතියෙන් මිදීම වඩාත් වැදගත් වන්නේ මානසික ආතතිය නිසා අප රෝගීන් බවට පත් කරවන නිසයි. මානසික ආතතිය අඩු කර ගැනීම සඳහා තමන්ටම ඉටු කර ගත හැකි දේ බොහෝ තිබෙනවා. පහත සඳහන් කරන්නේ මානසික ආතතියෙන් මිදෙන්නට ඔබට උදව්වන කරුණු කීපයක්. පළමුවෙන්ම හැම කාර්යයක්ම මනා ලෙස සැලසුම් කරගන්න.ප්‍රථමයෙන් වඩාත් වැදගත් කාර්යයට මුල් තැන දෙන්න.

මීළඟට තමන් වැඩ කරන පරිසරය මනා ලෙස සකස් කර ගන්න. එය මානසික ආතතිය අඩු කර ගැනීමට විශාල පිටිවහලක්.රැකියාව කරන ස්ථානයේ ඉතා සිහින් හඬින් නැගෙන සංගීත රාවයක් දැන් බොහෝ ආයතනවල අසන්නට ලැබෙනවා. මෙය ආතතිය සමනය කර ගැනීමට ඉතා වැදගත් දෙයක්. තමන් වැඩ කරන මේසය පිළිවෙලට තබාගන්න. ඒ මත ඔබට අත්‍යවශ්‍යම කාර්යයන් සඳහා අවශ්‍ය ලිපි ගොනු පමණක් තබා ගන්න.

ආදායම වැඩියෙන් අවශ්‍ය වුණත් දිනපතා අතිකාල සේවයේ යෙදීම හෝ කාර්යාලයේ කටයුතු නිවසට ගෙන ගොස් කිරීම මානසික ආතතිය වැඩි වීමට ඉවහල් වෙනවා. ඒ නිසා දිනපතා එය පුරුද්දක් බවට පත් කර ගන්න එපා බොහෝ දෙනෙකු තමන්ට හිමි නිවාඩු දින පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ නැහැ. ඔවුන්ගේ මුළු ජීවිතයම සේවා ස්ථානය වෙනුවෙන් කැප කරනවා. මේක මානසික ආතතිය වැඩි වීමට බෙහෙවින්ම බලපානවා. ඒ නිසා මාස කීපයකට වරක් හෝ තමන්ට මානසික ආතතිය වැඩි බව දැණුනුු විට දින කීපයක් නිවාඩු ලබා ගන්න. ඉන්පසු ඔබ කරන සේවයද වඩා හොඳින් කිරීමට ඔබට හැකි වේවි.

ජීවන රටාවේ වෙනස්කම් ඇති කර ගැනීම

ඔබ කොතරම් කාර්යබහුල වුවද කුමක් හෝ විනෝදාංශයකද යෙදිය යුතුයි. එසේම මනස නිරවුල් කර ගැනීමට ආතතිය අඩු කර ගැනීමට තවත් බොහෝ දේවල් කළ හැකියි.

කාලය කළමනාකරණය කර ගැනීම

මෙය ආතතිය අඩු කර ගැනීමට ඉතාමත් වැදගත් වන දෙයක්. තමාගේ ඉලක්කයට යථාර්ථවාදී වීම, (එනම් තමන්ට කළ හැකි දේ ගැන පමණක් ඉලක්ක තබා ගැනීම), වැඩ කොටස පිළිවෙළකට කිරීම, (මෙහිදී මුලින් කළ යුතු අත්‍යවශ්‍යම වැඩ මුලින් කරන්න. ඉක්මනට කළ යුතු නමුත් වඩාත්ම වැදගත් නොවන දේ ඊළඟට කරන්න. ඉක්මනින් කළ යුතු නැති වුවත් අනිවාර්යයෙන් කළ යුතු වැඩ ඊට පසුව කරන්න. ඉක්මනට කළ යුතු නැති සහ වඩා වැදගත් නොවන කටයුතු මීළඟට කරන්න), වැඩ කල් නොදැමීම ආදියෙන් කාලය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්.

සමබල ආහාර ලබා ගැනීම

ආහාර වැඩිපුර ගැනීම මෙන්ම අඩුවෙන් ගැනීම ද ආතතිය ඇති කිරීමට හේතු වෙනවා. වැඩි වශයෙන් පැණි රස සහ තෙල් සහිත ආහාර අනුභවයද වක්‍රව මානසික ආතතිය ඇති කිරිමට බලපානවා. ඒ, එම ආහාර වලට හුරු වීමෙන් ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මුල් කරගෙනයි.

ස්වායු ව්‍යායාම්වල යෙදීම

හොඳින් ගැඹුරින් හුස්ම ගැනිම ශරීරයට හිතකර ප්‍රතිඵල ගෙනෙන, ආතතිය සමනය කරගත හැකි එක් උපක්‍රමයකි. එමඟින් රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන අතර මොළය සහ ස්නායු උත්තේජනය වීමක් සිදුවනවා. මේ සඳහා එළිමහනේ ඇවිදීම, පාපැදියක් පැදගෙන යාම, පිහිනීම වැනි ව්‍යායාමයක විනාඩි 30 -45 පමණ කාලයක යෙදිය හැකියි. එය ඔබේ මනස සන්සුන් කිරීමට බොහෝදුරට ඉවහල් වනු ඇත.

මිහිරි සංගීතයට සවන් දීම

මනස සන්සුන් කරන සංගීතයට සවන් දීම ද ආතතිය ඉහිල් කරන පහසු ක්‍රියාවක්. මෙහිදී දැස් පියාගෙන සංගීතය සවන් දීම මෙන්ම චිත්‍ර ඇදීම, නවකථාවක් කියවීම වැනි සැහැල්ලු, කාර්යයක යෙදෙන අතර සංගීතයට සවන් දීම ද කළ හැකියි.

භාවනා කිරීම

භාවනා කිරීම මඟින් මනසේ ඒකාග්‍රතාවය වැඩි වෙනවා. එමඟින් හිතට වද දෙන ප්‍රශ්නවලින් මිදි සිත සන්සුන් කර ගැනීමත් ඒ මඟින් ඔබේ ප්‍රශ්නවලට නිරවුල් මනසින් විමසා බලා වඩා හොඳ පිළිතුරු සොයා ගැනීමටත් ඔබට හැකියාව ලැබේවි.

ආනාපානසති භාවනාව ඉතා වැදගත් ශ්වසන ව්‍යායාමයක් ද වෙනවා. මේ සඳහා ඔබට කිසිදු මුදලක් වැය නොවන අතර අවශ්‍ය වන්නේ කාලය සොයා ගැනීම සහ සුදුසු පරිසරයක් වෙත යාම පමණයි. යෝග ව්‍යායාම සහ අනෙකුත් භාවනාවලින් ද මෙම සහනයම ලැබිය හැකිවනවා.

හිතවතෙකු සමඟ කථාබහ කිරීම

ඔබට දැඩි සිත් වේදනාවක්, බියක් හෝ සැකයක් ඇති වී නම් ඒ පිළිබඳව ඔබගේ හොඳම මිතුරාට/ මිතුරියට එසේ නොමැති නම් ඔබට හිතවත් පවුලේ කෙනෙකුට පැවසීමට කාලය වෙන් කරගන්න. එම තැනැත්තා ඔබට සවන් දීමට කැමති විය යුතුයි. එසේ ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්නය විස්තර කිරීමෙන් පසු පෙර තිබුණාට වඩා හිතට සහනයක් සැහැල්ලුවක් ඔබට දැනේවි.

කායික එක්වීම

බොහෝදෙනා මට ආතතිය ඒ නිසා මෙය කළ නොහැක කියා කල් දැමුවද ඔබේ සැකකරු/ සහකාරිය සමඟ මනා කායික සබඳතාවයක් පැවැත්වීම ද මානසික ආතතිය දුරලීමට හැකි සාර්ථක ක්‍රියාවකි. මක් නිසාද එමඟින් ඔබගේ සිරුරේ රුධිර සංසරණය යහපත් වීමත් හොඳින් හුස්ම ගැනීම නිසා පෙනහළුවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීමත් එමඟින් ඔබට සුව පහසු නින්දක් ලැබීමත් යන කරුණු සියල්ල සිදුවන බැවිනි. තවද යහපත් මනසකට බෙහෙවින් බලපාන ශාරීරික ස්පර්ශය ද මේ නිසා නොඅඩුවම ලැබෙනවා.

නිවාඩුවක් ගත කිරීම

සියලුම කාර්යබහුල චර්යාවලින් ඈත් වී විවේක ගැනීම සඳහා කෙටි කලකට වෙනත් රටකට හෝ ප්‍රදේශයකට යාම ද එහි දී කාර්යාලයේ කටයුතුවලට මැදිහත් නොවී නව අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලබා ගැනීම ද මානසික ආතතිය අඩු කර ගැනීමේ ඉතා සාර්ථක මාර්ගයකි.

ආගමික වතාවත්වල නිරත වීම

පන්සල, පල්ලිය, කෝවිල ආදී ඔබගේ පූජනීය ස්ථානයකට ගොස් එහි වතාවත්වල යෙදිම ද මානසික ආතතිය අඩු කර ගැනිමට අනුගමනය කළහැකි තවත් පිළිවෙතක්.

මනෝ ලෝකයේ සැරිසැරීම

මේ සඳහා ද කිසිදු වියදමක් වැය නොවන අතර අවශ්‍ය වන්නේ නිදහස් පරිසරයක් සහ සුව පහසු සයනයක් හෝ හාන්සි පුටුවක් පමණයි. මෙහිදි කළ යුත්තේ දෑස් පියාගෙන ඔබ ඉතා ආශා කරන ස්ථානයකට, පරිසරයකට මනසින් ළඟා වී ඒ තුළ සතුටින් කාලය ගත කිරිමයි. මෙම කාලය තුළදී හැකි තරම් සිරුර ලිහිල්ව තබාගන්න උත්සාහ කරන්න.

සිනාසීම

නිතරම සිනාසෙන්න, විනෝදාත්මක දෑ සොයා යන්න. කොතැනක හෝ විනෝදය දනවන කථාවක් ඇසුනි නම් එය ඔබේ පවුලේ අය හෝ හිත මිතුරන් සමඟ පවසා සිනාසෙන්න. මුදල් මත බොහෝ දේ තීරණය වන ආර්ථික රටාවක් තුළ කාර්ය බහුල වූ බොහෝදෙනා අද දවසේ සිනාසීමට අමතක වූ අය ලෙස ජීවත් වෙනවා. සිනාසීම සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නැහැ. අමතර සූදානම් වීමක් ද අවශ්‍ය වන්නේ නැහැ.