සර්පයකු දෂ්ට කළ විට රෝගියාව බිය වද්දන්න එපා

සර්පයකු දෂ්ට කළ විට රෝගියාව බිය වද්දන්න එපා

උපදෙස් - වෛද්‍ය නිලධාරි

අභයතිලක දේවගිරි

පළාත් ආයුර්වේද රෝහල - මීගොඩ

පුංචි සර්ප පැටියා තුළත් පවතින විෂ වැඩුණු සර්පයෙකු තුළ පවතින විෂ හා සමාන බව බොහෝ දෙනා නොදන්නා නිසා සර්ප පැටවුන් ගණන් නොගෙන සිටීම හොඳ නැහැ. ඒ විතරක් නොවෙයි. පුංචි සර්පයාගේ පවා විෂ පවතින බව දැන ඔවුන් විනාශ කිරීමද සුදුසු නොවන මුත් ඔවුන්ගෙන් අප ආරක්ෂා වීම වඩා වැදගත් බව පවසන්නේ මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය නිළධාරී අභයතිලක දේවගිරියි. සත්ව ලෝකයේ සර්පයින්ද මේ පරිසරයට අයිති කොටසක් බැවින් ඔවුන් කෙතරම් විෂ සහිත වුවත් පරිසරය පවතින්නේ මේ සතුන් පැවතුණොත් පමණි. නමුත් සර්ප දෂ්ඨ නිසා රෝගාතුර වන මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යන බව වාර්තා වේ.

බියකරු විෂ සහිත සර්ප කොට්ඨාශ අතරින් ශ්‍රී ලංකාවේ ලස්සනම සර්පයා ලෙස පොල්මල් කරවලා හඳුන්වා දිය හැකියි. විවිධ සර්ප කොට්ඨාශ සමඟින් සත්ත්ව ලෝකය සම්බන්ධ වී පරිසරය අලංකාර කෙරෙන බව බොහෝ පරිසරවේදීන්ගේ මතයයි.

සර්පයින් ගැවසෙන ස්ථාන

කුණු රොඩු ආශ්‍රිත ප්‍රදේශවල, සීතල බිම් කඩවල සර්පයින්ගේ වාසස්ථාන වුවත්, ගල් ගොඩවල අතර, එකට අහුරා ඇති පොල් අතු අතරේ, තෙත රෙදි ආශ්‍රිතව වී ගෝනිවල, මල් පෝච්චි අස්සේ උන්ගේ ගැවසීම සිදු වෙයි. විශේෂයෙන් අන්නාසි වගා ආශ්‍රිත බිම්වල, කුඹුරුවල, ලියැදිවල ද ආහාර සොයා යන සර්පයින් ඇති බව දක්නට ලැබේ. වර්ෂාව අඩුවෙන් පවතින කාලවල සීතල පරිසරය සොයා නිවෙස් ආශ්‍රිතව පැමිණීමට උනන්දු වන නිසා නිවෙස්වල පිළිකන්නේ කෙළවරට වන්නට සකසා ඇති දර මඩුවේ හෝ වියපු පොල් අතු තැන්පත් කරන ලද මඩුවේ හෝ ඔවුන් සැඟවෙන ස්ථානයන්ය.

විශේෂයෙන් තේ වතු වල ද සර්පයින්ගේ සැරි සැරීම සුලබව දැකිය හැකියි. නමුත් නාගයින් ගස් බෙනවල හා තැනින් තැන වන රොදවල ඇති හුඹස්වල, මී ගුල්වල කුඹුරු බිම්වල හා වෙනත් වගා බිම්වල දක්නට ලැබෙනු ඇත.

පොළඟා වැනි සර්පයින් ලඳු කැලෑවල මෙන්ම කුණකටුවා හා මාපිලා වැන් සර්පයින් කුණු රොඩු හා මල් පෝච්චිවල සිට ද හමු වී ඇත. පලා පොළඟා වැනි අලංකාරය දනවන සර්පයා වාසය කරන්නේ ගස් අතු අගය. කරවලා මෙන්ම මාපිලා ද ගස් උඩ දැකිය හැකි සර්පයන්ය. පොල්මල් කරවලා හෙවත් මල්සරා නැමැති සර්පයා ඉතාමත් අලංකාර සර්පයෙකි.

සර්පයෙකු දෂ්ඨ කළ විට

සාමාන්‍යයෙන් සර්පයෙකු දෂ්ටයේදී ක්ෂනික වේදනාවක් ඇති වේ. නමුත් සමහර සර්පයින් දෂ් ටනයේදී වේදනා රහිතව ලේ පමණක් ගැලීම සිදු වේ. තවත් සමහර විටකදී ලේ ගැලීමක්වත් වේදනාවක්වත් හට නොගෙන ඉදිමීම හා කළු තලාවීම පමණක් එම ස්ථානයේ දක්නට ලැබේ. නාගයා දෂ්ට කළ විට අඟල් 1-1 1/2 ක් අතර විෂ දළ වැදුණු සලකුණු දැකිය හැකියි. සාමාන්‍යයෙන් සර්පයෙක් දණහිසින් ඉහළට දෂ්ටකළ අවස්ථා ඇත්තේ අඩුවෙනි.

දෂ්ට කිරීමට යොමුවන ස්ථාන

සිරුරේ කකුල්වල මහපට ඇඟිල්ලේ හෝ කකුල්වල දණහිසි්න් පහළ කෙටසයි. සමහර අවස්ථාවලදී ගස්වල සිටින විෂ සහිත සර්පයින් පුද්ගලයෙකු ගසට නැගීමේදී ඔහුගේ බෙල්ල හෝ හිසට දෂ්ට කරන අවස්ථා ද ඇත.

දෂ්ටයෙන් වැළකීමට

රාත්‍රී ගමන් බිමන් අඩු කිරීම, එම ගමන් බිමන් වලදී එළියක් භාවිතා කිරීමට යොමු වීමෙන් අඳුරේ යාමෙන් වැළකී ආරක්ෂාව සලසා ගත හැකියි. ඒ සඳහා ඔබට හැකි පමණින් හුළු අත්තක් හෝ විදුලි පන්දමක් භාවිතා කළ හැකියි. විශේෂයෙන් ගමන් බිමන් වලදී පා ආවරණයක් (පාවහන්) භාවිතා කිරීම වඩාත් උචිතයි. සර්පයන් දැඩි අවධානය යොමු කරනුයේ කම්පන සංවේදීතාවය නිසා රාත්‍රී ගමන් බිමන් වලදී කෝටුවක් වැනි දේකින් තට්ටු කරමින් ඉදිරියට යාම උන් මග හැරීමට කරන හොඳ උපක්‍රමයකි. සර්පයන් ගැවසෙන ස්ථාන එළි පෙහෙළි කිරීමට උනන්දු වීම වඩාත් ආරක්ෂිත ක්‍රමයකි.

කුණු රොඩු, කැළි කසල, කැලෑව නිවස අවට ඇත්නම් එහි පිරිසිඳු භාවය ඇති කර ගැනීම වඩාත් සුදුසු ක්‍රියාවකි.

සර්ප දෂ්ටයේදී ආයුර්වේද රෝහල වෙත යාමට පෙර කළ යුතු දෑ

රෝගියාව මහන්සි නොකර බිය නොවද්දා රෝහල වෙත රැගෙන යාම කළ යුතුයි. එසේම සර්පයා ගැන ඇති බිය රෝගියා තුළින් පහ කළ යුතුයි. සර්ප විෂ සිරුර පුරා ගමන් කිරීම වැළැක්වීමට මෙම උපක්‍රමය යොදයි. දෂ්ට මුඛය සෝදා පිරිසිඳු කිරීමට හැකිනම් වඩාත් සුදුසුයි. එහිදී රැඳී ඇති විෂ සුළුවෙන් හෝ ඉවත් වීමක් වෙයි. දෂ්ට මුඛය වසා නොතැබිය යුතුයි. ලේ ගැලීමේදී එය නවතාලීමට උත්සාහ නෙකරන්න.

ප්‍රතිකාර

රෝහල වෙත ඉක්මනින් ලඟා වීමට හැකිනම් එය වඩාත්ම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට කරන උදව්වකි. අත් බෙහෙතක් නොකර සර්පයා සොය සොයා සිටීම වැනි කාලය අපතේ යන දෑ නොකිරීමට වග බලා ගන්න. කුමන සර්පයාද යන්න සොයා බැලීම රෝහලේ වෛද්‍යවරු දන්නා බැවින් ඒ ගැන සැලකිලිමත් නොවුනාට කම් නැත. ඒ දේශීය චිකිත්සාවට අනුව නිර්ණය කළ හැකි බැවිණි.

සර්ප දෂ්ට මුඛය පිරිසිඳු කිරීමට

අමු කහ වතුරට දමන්න. දෙහි ගෙඩි දෙකක් කපා එම කහ වතුරට දමා ඉන් සර්පයා දෂ්ට කළ ස්ථානය සෝදා හරින්න. මෙය කළ යුත්තේ පහළ අතටයි. ඉහළට නොගත යුතුයි.