ගර්භාෂය සමඟ ඩිම්බකෝෂ ඉවත් කිරීමෙන් හෘදයාබාධ, පිළිකා අවදානමක් !

ගර්භාෂය සමඟ ඩිම්බකෝෂ ඉවත් කිරීමෙන් හෘදයාබාධ, පිළිකා අවදානමක් !

කාන්තාවන්ගේ ගර්භාෂ විච්ඡේදනය (Hysterectomy) නොහොත් ගර්භාෂය ශල්‍යකර්මයකින් ඉවත් කරන විට ඩිම්බකෝෂ ද ඉවත් කිරීම හේතු කොටගෙන හෘදයාබාධ , පිළිකා මෙන්ම අකාලයේ මරණයට පත්විමද සිදුවිය හැකි බව එංගලන්තයේ වෝවික් විශ්ව විද්‍යාලය මඟින් මෑතකදී පවත්වනු ලැබූ අධ්‍යයනයකින් හෙලි වී ඇත.

මෙම විෂය පිළිබඳව මෙතෙක් පවත්වා ඇති දැවැන්තම අධ්‍යයනය මෙය වන අතර කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මෙම අධ්‍යයනය සඳහා සහභාගි කරගෙන ඇත. ගර්භාෂ විච්ඡේදනයේදී සුළු ආබාධයක් නිසා ඩිම්බ කෝෂ දෙකම ඉවත් කළ හා ඩිම්බ කෝෂ එකක් හෝ ඉවත් නොකළ කාන්තාවන් සන්සන්දනය කරමින් මෙම අධ්‍යයනය පවත්වන ලදී.

මේ සඳහා වයස 35 -45 අතර කන්තාවන් 113679 දෙනෙකු සහභාගි කර ගනු ලැබූ අතර මෙම සංඛ්‍යාවෙන් තුනෙන් එකකගේ පමණ ඩිම්බකෝෂ දෙකම ඉවත් කර තිබිණි.

මෙම අධ්‍යයනයට අනුව ඩිම්බකෝෂ ඉවත් නොකළ හෝ එකක් ඉවත් කළ කාන්තාවන්ට ischaemic heart disease  වර්ගයේ හෘදයාබාධ (හෘදය වස්තුවට රුධිරය ගෙන යන ධමනිය තදවීම හෝ තුනීවීම නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය රුධිරය හා ඔක්සිජන් නොලැබීයාම) හා පිළිකා ඇතිවීම ඩිම්බකෝෂ දෙකම ඉවත් කරගත් කාන්තාවන්ට වඩා අඩුවෙන් සිදුවන බව පෙනීගොස් ඇත. එසේම ඩිම්බකෝෂ දෙකම ඉවත් කර ගත් අයගෙන් සියයට 1.01 ශල්‍යකර්මයට පසු අඩු කාලයකින් මරණයට පත්වන බවත් හෙලි වී ඇත.

ගර්භාෂය ඉවත් කිරීමේදී ඩිම්බ කෝෂ ඉවත් නොකළ හෝ එකක් පමණක් ඉවත් කළ කාන්තාවන් අඩුවෙන් එසේ මරණයට පත්වන බවද පැහැදිලි වී ඇත.

ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ඉවත් කිරීමෙන් ඩිම්බ කෝෂ පිළිකා ඇතිවීම වැළකෙන නමුත් එම තත්ත්වය පත් කාන්තාවන්ට ඩිම්බ කෝෂ ඉවත් කිරීමෙන් හෘදයාබාධ හෝ වෙනත් පිළිකා වර්ග ඇති වීමට ඉඩක් තිබෙන බවත් දිගුකලක් ජිවත්වීමේ හැකියාව ද අහිමිවන හිමිවන බව පහදා දීම අවශ්‍ය බව මෙම අධ්‍යයනට මුල් වූ මහාචාර්ය රිචඩ් ලිල්ෆඩ් පවසයි.

ඔහු විශේෂයෙන් පවසන්නේ ඩිම්බකෝෂවල ඇතිවන පිලිකා ඉතාම සරල බැවින් පරිවෘත්තික (metabolically) වශයෙන් ක්‍රියාත්මක ඉන්ද්‍රියක ඉවත් කර දැමීමෙන් දිගුකාලීනව අවැඩදායි විය හැකි බවයි.

මේ අතර එංගලන්තය පුරා රෝහල්වලට ඇතුළු කරනු ලැබූ රෝගීන් අනුසාරයෙන් ගනු ලැබූ දත්තවලට අනුව වයස 35 - 45 ත් අතර කාන්තාවනගෙන් ගර්භාෂය ඉවත් කරලීමේ ශල්‍යකර්මයේදී ඩිම්බකෝෂ ද ඉවත් නොකළ අයට පිළිකා රෝගී තර්ජනයක් ඇති නොවු බව පැහැදිලි වේ.

එසේම මෙම දත්තවලට අනුව ඉතාම සුළු හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉතාම අඩු වී ඇති බව හෙළි වී ඇත. වෝවික් විශ්වවිද්‍යාලය මඟින් කරනු ලැබූ මෙම පර්යේෂණය මඟින් ඉහත කී අන්දමේ කරුණු සොයා ගනු ලැබූ නමුත් එය තවදුරටත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම සනාථ කර ගනු සඳහා පර්යේෂණ කටයුතු දිගටම සිදු කරනු ලබන බව මහාචාර්්‍ය ලිල්ෆඩ් වැඩිදුරටත් පවසයි.


සුරතල් බළලුන්ගේ සිරුරේ රසායන වර්ග අධිකයි

ප්ලාස්ටික්, රෙදි , විද්්‍යුත් උපකරණ ගිනිගැනීම වැළැක්වීම සඳහා මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලැබූ රසායන වර්ගයක් වන බ්‍රොමිනේටඩ් ෆ්ලේම් රිටාඩන්ට්ස් (Brominated Flame retardants ) (BFRS) සුරතල් බළලුන්ගේ සිරුරට නිවසේ පවතින දූවිලි වලින් ඇදී යන බව ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලය මඟින් පසුගියදා පැවැත්වූ අධ්‍යයනයකින් හෙලි වී ඇත.

Environmental Science & Technology සඟරාවේ පළ කරනු ලැබූ මෙම අධ්‍යයනයේ තොරතුරු අනුව නිවසේ පවතින විද්්‍යුත් උපකරණ හා දැව භාණ්ඩ වලින් නිකුත් වන ඉහත කී රසායන වර්ගය. දූවිලි සමඟ මිශ්‍ර වීම නිසා ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති කරනු ලබයි. මීට පෙර සිදු කරනු ලැබූ පර්යේෂණයකදී ඉහත කී BFRS රසායනය බළලුන්ගේ රුධිරයේ පැවතීම නිසා ඔවුනට Hyperthyroidism  නමැති රෝගය වැළඳී තිබෙනු සොයාගෙන ඇත. ඒ අනුව මෙම රසායනය එසේ බළලුන්ගේ රුධිරයට ඇතුළු වූ අන්දම සොයා බැලීමේදී දැව සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල තවරා තිබූ මෙම රසායන වර්ග දූවිලි සමඟ මිශ්‍ර වීම නිසා එම තත්ත්වය ඇති වූ බව සොයා ගැනීමට හැකි විය. නිවස තුළ රැඳී සිටින බළලුන්ගේ හා එළියට පහලියට යා හැකි බළලුන්ගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේදී නිවසේ පවතින ඉහත කී අයුරින් BFRS රසායනය දූවිලි සමඟ මිශ්‍ර වීම නිසා නිවසේ වෙසෙන බළලුන්ගේ රුධිරයේ මෙම රෝගාබාධයට හේතු වූ බව මෙම අධ්‍යයනයට මුල් වූ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ ජානා වයින් පවසයි.

විශේෂයෙන් කුඩා දරුවන් මෙම දූවිලි ගෑවුණු සියල්ල මුඛයේ දමා ගැනීමට පුරුදු වීමත් එසේම බළලුන් සමඟ සෙල්ලම් කිරිට පෙළඹීමත් නිසා මෙම රෝගාබාධ එම දරුවන් කෙරේද බලපෑ හැකි බව වැඩිදුරටත් පවසයි.