50 වසරක් පුරා රෝගීන්ට සුවසෙත සළසන ගාල්ල සීමාසහිත සමූපකාර රෝහල

50 වසරක් පුරා රෝගීන්ට සුවසෙත සළසන ගාල්ල සීමාසහිත සමූපකාර රෝහල

1962 කුඩා ඩිස්පැන්සරියක් ලෙස ආරම්භ කළ සී/ස ගාල්ල දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමූපකාර සමිතිය මේ වනවිට දිවයිනේ ප්‍රධානතම සමූපකාර රෝහල බවට පත් වී අවසානය.

විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ගේ සුව සේවා පහසුකම් සැලසීමේ මූලික අරමුණින් ඇරඹී ඩිස්පැන්සරියේ දෛනික රෝගී සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගිය බැවින් ගාල්ල වක්වැල්ල පාරේ අංක 42 දරණ ස්ථානයේ රෝහල් සේවාවක් ලෙස පවත්වාගෙන යාම ඇරඹීය.

මේ වකවානුව තුළ විශේෂඥ වෛද්‍ය සේවාව ඇරඹී යුගය බැවින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශක සේවය දකුණු පලාතේ ජනතාවට ලබා දීමට මේ රෝහල මඟින් හැකි වූ නිසා රෝහල ජනතාව අතර ඉතා ජනපි‍්‍රය වන්නට වැඩි කළක් ගත වූයේ නැත.

වර්තමානයේ 50 වසරක් පුරා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් මෙන්ම රෝගීන්ගේ සුවසෙත පිණිස නිරන්තරයෙන් වෙහෙසෙමින් දකුණු ලක ජනතාවට සුව සේවා පහසුකම් ලබා දුන් රෝහලක් බවට ගාල්ල සමූපකාර රෝහල අභිමානවත්ව පවත්වා ගෙන යාමට සමත් විය. දැනට උපදේශක විශේෂඥ වෛද්‍ය සේවය, නේවාසික හා බාහිර ප්‍රතිකාර සේවය, ශල්‍යාගාර හා සූතිකාගාර අංශය, රසායනාගාර හා එක්ස් රේ පහසුකම්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින්, සීටී ස්කෑනින්, එන්ඩොස්කොපි, එක්සසයිස් ඊ.සී.ජී, ලැපරස්කොපි, එකෝ පරික්ෂණ, ඊ.සී.ජී - ඊ.ඊ.ජී. දන්ත වෛද්‍ය අංශය, අක්ෂි ප්‍රතිකාර අංශය, උගුර කන නාසය ප්‍රතිකාර අංශය, බාහිර ඔසුහල, එන්නත් කිරීමේ සේවාව, විදේශිකයින් සඳහා වෛද්‍ය පහසුකම් හා ගෘහස්ථ හෙද සේවය ආදී සේවාවන් පවත්වාගෙන යයි.

එමෙන්ම දියවැඩියා රෝගීන් සඳහා දකුණු පළාතේ ඇති එකම දියවැඩියා ප්‍රතිකාර හා උපදෙස් මධ්‍යස්ථානය ද ගාල්ල සමූපකාර රෝහල සතුව පවතී.

මෙයට අමතරව දකුණු පලාතේ ඇති එකම පෞද්ගලික ගිලන් රථ සේවාව ලෙස ආරම්භ කරන ලද ගිලන්රථ සේවයක් ද වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වී ඇත.

හෘද රෝගින් සඳහා විශේෂිත වූ හෘද රෝගී ප්‍රතිකාර ඒකකය අලුතින් ආරම්භ කර එකෝ කාඩ්යෝග්‍රැපි හා එක්සසයිස් ඊ.සී.ජී ඇතුළු පරීක්ෂණ වඩාත් සහනදායි මිලකට ජනතාව වෙත ලබා දෙමින්, සාර්ථකව සිය සේවාවන් සපයමින් ක්‍රියාත්මක වේ.

ස්කෑනින් අංශයේ අවශ්‍යතාවන් සීඝ්‍ර වශයෙන් පුළුල් වීමක් සමඟ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වෙත පැමිණෙන රෝගීන් සඳහා නවීනතම 4 ඩී පහසුකම් වලින් යුත් කලර් ඩොප්ලර් ස්කෑනින් යන්ත්‍ර 2 ක් ද සහිතව මේ වනවිට ස්කෑනින් යන්ත්‍ර 6 ක් සේවාවන් සඳහා යොදවා ඇත.

රුපියල් මිලියන 58 පමණ වැය කරමින් නවීනතම පහසුකම් සහිතව, ඔක්ටිමා 520 වර්ගයේ සීටී ස්කෑන් යන්ත්‍රයක් සවිකර ඇත. මිලියන 200 වියදම් කරමින් නවතම හෘද සහ උරස් ශල්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇත. දකුණු පළාතේ අඩු අදායම්ලාභින්ට මෙම හෘද ශල්‍ය ඒකකයෙන් සහනදායි මුදලට සැත්කම් කර ගැනීමට හැකියාව පවතී.

පැය 24 පුරා ක්‍රියාත්මක වන බාහිර රෝගී අංශයට අමතරව දක්ෂතම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ද මෙම රෝහලේ තිබෙන තවත් සුවිශේෂීත වූ අංශයකි.

නේවාසික රෝගීන්ට සාමාන්‍ය වාට්ටු කාමරයේ සිට සුඛෝපභෝගි වායු සමනය කළ කාමර දක්වා ලබා ගැනීමේ පහසුකම පවතී. අඩු ආදායම් ලබන අය වෙනුවෙන් ද, නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ දී සහනදායක මුදලකට නේවාසික වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර, සමූපකාර රෝහලේ සාමාජිකයන්ට විශේෂ සේවා පහසුකම් හා වරප්‍රසාදයක් සහ වට්ටම් සහන සලසා ඇත.

සමූපකාර රෝහලට අනුබද්ධ සමූපකාර හෙද විදුහල මඟින් හෙද සේවා පාඨමාලාවන් පවත්වා විශාල සිසු හෙදි පිරිසකට නොමිලේ පුහුණුව ලබා දී ඇති අතර එම සිසුන් මෙම රෝහලට හෙදියන් ලෙස සේවයට බඳවා ගැනිම සිදු කෙරේ. ඉදිරියේ දී අනුමත ජාත්‍යන්තර තත්ත්වයේ ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සැලසුම් කෙරේ.

ප්‍රායෝගික පුහුණුව සඳහා සමූපකාර රෝහලට අනුයුක්ත කරන අතර ඩිප්ලෝමාලාභීනට ලෝකයේ ඕනෑම රටක සේවය කල හැකි ඩිප්ලෝමා සහතිකයක්, සමූපකාර රෝහලට අනුබද්ධ සමූපකාර හෙද විදුහල මඟින් ලබා දෙනු ඇත.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීමේ සේවාවක් ද පවත්වාගෙන යන අතර මේ වනවිට නොමිලේ අක්ෂි ශල්‍යකර්ම විශාල ප්‍රමාණයක් සිදු කොට ඇත.

නවීන පහසුකම් සහිත ශල්‍යාගාර දෙකක්, දැඩි සත්කාර ඒකකයක්, දියවැඩියා මධ්‍යස්ථානයක්, අංග සම්පූර්ණ රසායනාගාරයක්, හෘද රෝග ප්‍රතිකාර ඒකකයක්, අක්ෂි ප්‍රතිකාර ඒකකයක්, චැනල් කාමර 58ක්, සියළු පහසුකම් වලින් යුත් නේවාසික රෝගී කාමර 64 ක් ඇතුලත් වන පරිදි ඉදි කර මෙම රෝහල් පරිශ්‍රය, භූගත වාහන අංගනයකින් ද සමන්විත වේ.

ප්‍රාදේශිය මට්ටමෙන් දුර බැහැර රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

සීමාසහිත ගාල්ල සමූපකාර රෝහලේ වර්තමාන සභාපති නිතිඥ ඒ.පී.ජී. සරත්චන්ද්‍ර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සාමාන්‍යාධිකාර කේ.ජී. චාල්ස් ගමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේත්, දැඩි අධිෂ්ඨානය හා කැපවීම මත මෑතක සිට රෝහල විශාල ප්‍රගතියයක් ලබා ඇත.

ලද සම්මාන

2010 සමූපකාර සංවිධාන සඳහා පැවැත්වූ ජාතික කාර්ය සාධන තරගාවලියේ ලෝකඩ සම්මානය හිමි කර ගැනීම.

2011 වර්ෂයේ දකුණු පළාතේ සාර්ථකම වෙනත් සමූපකාර සමිතිය තේරීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීම.

2010/ 2011 ජාතික ඵලදායිතා තරගාවලියේ ච්2 කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් හිමිකර ගැනිම.

2014 දක්ෂිණ සුවවිරු සම්මාන උළෙලේ තෙවන ස්ථානය හිමිකර ගැනීම.

2015 ජාතික ඵලදායිතා තරගාවලියෛ් කුසලතා සම්මානයක් හිමි කර ගැනීම

2016 සමාජ කතිකා විශිෂ්ඨතා තරගාවලියේ සේවා අංශයෙන් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම.