සිරුරේ මේද දියකර හරින මී පැණි උපදෙස්

සිරුරේ මේද දියකර හරින මී පැණි උපදෙස්

මහරගම නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය නිලිධාරිනී

චන්ද්‍රිකා වැලිවිටිගොඩ

මේ ගෙවී ගියේ පැණි රහ කෑමවල රහ දැනුණු කාලය වුනත් තවමත් ඒ රහ නමි අමතක වී නැහැ. අවුරුදු කාලයේ නම් රසකෑම ඕනෑ තරම්. ඒ අතරට කැවුම්, කොකිස්, මුං කැවුම්, අතිරහ, අළුවා අවුරුදු මේසෙ රජ කරන කෑම වර්ග අතර ජනපි‍්‍රයයි. මේ පැණි රස කෑම කොතරම් දිවට පි‍්‍රයතාවයක් දැක්වූවත් මී පැණි ඊටත් වඩා පි‍්‍රය උපදවන දෙයක් යැයි කීවොත් ඔබ සිතන්නේ කුමක්ද?

අවුරුදු කාලයේ කැවුම්, කොකිස් වැනි විවිධ කෑම වර්ග කොතෙකුත් තිබුණත් පැණි රසයෙන් ඉහළ මී පැණි ගැන කතා කරන්නයි මේ සූදානම.

ඒ සඳහා නාවින්න ආයුර්වේද රෝහලේ වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිටිගොඩ උපදෙස් දී අපව දැනුවත් කළේ මෙසේයි.

මී පැණිවල වැදගත්කම

අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මෙහි මත් වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුළු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපෑමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වූවක්. ඒ වගේම විවිධ මල්පැණි වර්ග එකතු කර මී මැස්සන් නිර්මාණය කරන මේ මී පැණි විශ්මිත ඖෂධයකි. ලෝකයේ නොයෙක් තැන්වලදී මැරෙන්න ගිය රෝගීන් මී පැණි බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව විශ්වාස කරනවා. මී පැණිවල ඇති යෝගවාහිනී ගුණය දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂී ගුණාංගයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදී එම මොහොතේදීම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය මී පැණිත් සමඟ මිශ්‍රකර දිව ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ළඟාවීමට හැකියි. මේ සඳහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කර ගත් මී පැණිවල ඇති යෝගවාහිණී ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරීම හා ‘වාහී’ යනු ප්‍රවාහනයයි. ඒ අනුව ඖෂධයක් මී පැණි සමඟ දීමෙන් ඖෂධය සමඟ එකට එකතු වී එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වී ඉතා ඉක්මනින් ගෙනයාමේ සුවිශේෂී ගුණය වූ යෝගවාහීනී ගුණය මී පැණිවලට ඇත. දේශීය වෙදකමේ බොහෝ ඖෂධ මී පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරීමට දෙන්නේ ඒ නිසයි.

ලැබෙන ප්‍රයෝජන

මී පැණි වාතය සමනය කිරීම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශීත ගුණය ඇත. තුන්දොස් සමනයට මී පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මේ අනුව සිරුරේ වේදනාව, දාහය, සෙම සමනය කිරීම සිදුවේ. ඖෂධයක පවතින සුවිශේෂි ගුණ්‍යක් වන මේ තුන්දොස් සමනය කිරීමේ ගුණය මී පැණිවලට ලැබීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මීට අමතරව මී පැණි මඟින් එකට කැටිකර තබා ගැනීමේ හැකියාවක්ද ඇත. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේ සන්ධාන ගුණය නමින් හඳුන්වයි. විශේෂයෙන් ඖෂධ සැකසීමේදී මේ ප්‍රයෝජන මී පැණිවලින් ලබා ගනී. ඒ අනුව එකට කැටිකර තබා ගැනීමට මී පැණි භාවිතා කරන බව පැහැදිලිවෙන කරුණක්. ඒ විතරක් නොව මී පැණිවලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස සිරුරේ පවතින සෙම් කොටස් සහ අධික මේද තට්ටු ගලවා ඉවත්කර දැමීම පෙන්වා දිය හැකියි. මෙය ජේදනය ගුණය නමින් හඳුන්වයි.

රුධිරයේ සීනිවලට බලපෑම

මී පැණි අධික ලෙස නිරතුරුවම සිරුරට ලබාදීමෙන් රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාමේ හැකියාව පවතින බව සලකන්න. එබැවින් වෛද්‍ය උපදෙස් මත මී පැණි ඖෂධවලදී ලබා ගැනීම කළ යුතුයි.

ඖෂධීය ගුණ

මී පැණි මිහිරි රසයකින් යුක්ත වූවත් එහි කහට රසයක්ද පවතිනවා. හේතුව එය විිවිධ මල්වල පැණිවලින් මී මැස්සන් විසින් සකසන නිසයි. මීට අමතරව මී පැණි මඟින් කෘශ (කෙට්ටු) කරන ගුණයද පවතින්නේ එහි පවතින මේද කොටස් දියකර හැරීමේ ශක්තිය මී පැණිවල සතු බැවිණි. ඕනෑම හදිසි රෝග අවස්ථාවකදී මී පැනි දිව ගෑමට කදිම ඖෂධ්‍යක් වේ. සමහර පිළිකා රෝග අවස්ථාවලදී රෝගී අවස්ථාවේ සිට රෝගීන්ට දිනපතා වේලක් තේ හැඳි 1/2 ක් සමඟ පමණ දිව ගෑමට සැලැස්වීම එම පිළිකා තත්ත්වයෙන් මිදීමට උපකාරී වූ බව එම පිළිකා රෝගීන් විසින් ප්‍රකාශ කරනු ලැබූ අත්දැකීම් වේ. ඒ වගේම මී පැණි හොඳ විෂ නාශකයකි. හදිසි රෝග අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ළඟ තබා ගැනීමට ඕනෑම නිවසක දැකිය හැකියි.

මී පැණි විෂයි

රත් වූ මී පැණි සිරුරට විෂ ගෙන දේ. රස්නයේ පවතින කිසිම ඖෂධයක් සමඟ මී පැණි මිශ්‍ර නොකරයි. හේතුව රත් වූ පසු මී පැණිවල ඇති ගුණ හානිවන අතර මී පැණි විෂක් ලෙස ක්‍රියාකරන නිසාවෙනි.

මී පැණි හඳුනාගන්න

මී පැණි මී මැස්සන් විසින් සකසනු ලැබූ මී වදවලින් වගේම ඹබර පැණි බඹරුන් විසින් සකසන බඹර වදවලින්ද ලබා ගනී. මී පැණි හා බඹර පැණි අතරින් වැඩි ඖෂධ ගුණයක් ඇති මී පැණි ප්‍රයෝජනයට ගැනීමෙන් ඖෂධීය වටිනාකම හඳුනාගෙන වෙළඳපලට දැමීමත් කළයුතු දෙයකි. ඒ සඳහා මී පැණි හඳුනාගන්නට නම් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුයි. බඹර පැණි සුදු පැහැ ගැන්වී ඇති අතර මී පැණි රතුවන් දුඹුරු පැහැයක් ගනී.

හොඳ ආරක්ෂකයෙක් වීම

අතීතයේදී තමන්ගේ ආහාර පිණිස ගත් දඩමස්වලට හොඳ ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කර ඇත. එනම් දඩමස් මී පැණිවල බහා තබා ඒවා ආරක්ෂාකර තැබීමට සමත් වීමයි. එය නරක් නොවී කල්තබා ගැනීමේ පහසු ක්‍රමයක්ව එකල ප්‍රයෝජනයට ගත්තේය. නමුත් අප දන්නා පරිදි අද ද අපට මී පැනි එසේ කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකියි. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ වර්ගවලට මේ ක්‍රමය උපයෝගී කර ගනී.