මුත්‍රාශයේ ගල් සහ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වාගන්න බැරිද?

මුත්‍රාශයේ ගල් සහ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වාගන්න බැරිද?

පෑලියගොඩ රන්පත වෙද මැදුර

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල

ආයුර්වේද වෛද්‍ය

රන්පත රුවන් රත්නායක

වර්තමානය වනවිට මුත්‍රාශයේ ගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇතිවීම ඉතාමත් සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයන්. නවීන තාක්ෂණික ක්‍රම අනුව සැත්කම් කිරීමෙන් තොරව ඒවා පහසුවෙන් ඉවත් කළත් රෝග මූලය හඳුනාගෙන ඒවා ශරීරයෙන් ඉවත් නොකිරීම නිසා නැවතත් රෝගී තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් ද තිබෙනවා. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත ඉතාමත් නිරෝගීව ගත කරනු ලැබේ. එවැනි ප්‍රතිකාරවල පවතින විස්මිත බව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මුත්‍රාශයේ මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇතිවීමට බලපාන හේතු පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේවි. මේ ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දැක්වූ අදහස්.

මිනිසාගේ මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගී තත්ත්ව ගණනාවක් වර්තමානයේ දැක ගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශි‍්‍රත කලාපවල ඇතිව වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාණුුකූලව මෙසේ ඇතිවන ගල්, අශ්මරී ලෙසින් හැඳින්වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ඝන වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ඇතිවන ගල් ද තිබෙන අතර ඒවා පිත්ත අශ්මරී ලෙසින් හැඳින්වේ.

මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු අතර අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණ අධික ආහාර අධිකව ගැනීම, අධිකව දහඩිය පිටවන ක්‍රියාවල නිරතවීම සමඟම ප්‍රමාණවත් පරදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් වේ. තවද මුත්‍රා සහ ශුක්‍රවේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.

මෙහිදි මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකියි. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශ දක්වා ගමන් කර වේදනාවක් හටගත හැකියි. විශේෂයෙන් මෙම ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ පිරිමි පාර්ශවයේ අයටයි.

තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට තද කැක්කුම් ද ඇති වේ. ඒ වගේම බඩදැවිල්ල, උගුරට එන ස්වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරිවැටෙන ස්වභාවයක් ද බොහෝදුරට දැකගත හැකි වේ.

මෙවැනි ලක්ෂණ මෞත්‍ර ලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාව වශයෙන් ද හඳුන්වාදිය හැකියි.

මීට අමතරව මුත්‍රා පිට කිරීම් ආශි‍්‍රතව ද රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ රුධිරය සමඟ මුත්‍රා පිටවීම ද දැකගත හැකි වේ. මෙවන් රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්වභාවයක් ද දැකගත හැකි වේ.

තවද මුත්‍රා ගල් ඇතිවීමට ශුක්‍ර නාල අවහිරවීමෙන් බලපෑම් ඇති කරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්ඵටික ශුක්‍රාණුවල සිරවීම නිසා ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇති වී මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇති කරනු ලැබේ. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගයෙන් ඉතා කුඩා ප්‍රමාණයේ මුත්‍රාගල් මුත්‍රා මාර්ගය හරහා පිටවන අවස්ථා ද දැකගත හැකි වේ.

මෙසේ මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරිමකට ලක්විය හැකියි. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකි. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකියි. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමිම මෙන්ම ලිංගය ආශි‍්‍රතව තද වේදනාවක් ද ඇතිවිය හැකියි. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක් ද පිටවිය හැකියි. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවත් මුත්‍රාපිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීමද බොහෝදුරට දැකගත හැකි වේ.

පිත්තාශයේ ගල්

මෙහිදී උදරයේ දකුණු පැත්තෙන් ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශ්‍රිත කැක්කුම් ඇති නොවේ. බොහෝදුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකි වේ. ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම පිත්ගල් පිත්තනාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලැබේ. එසේ පැමිණෙන ගල් අවහිර වුණොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දීමට සිදු වේ. ශරීරය සීත විම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම, ඒ පීඩාකාරී තත්ත්ව වේ. තවත් පිරිසකට පිත්තාශයේ හටගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇතිවී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

ආහාර ජීර්ණයේදී ඇතිවන විෂමතාවන් සහ වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වේ. වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථ ද මීට හේතු වේ. උදාහරණ ලෙස තක්කාලි සමඟ හාල්මැස්සන් ආහාරයට ගැනීම නිසා ඔක්සලේට් පදාර්ථ ඇති වේ.

වර්තමානයේ මුත්‍රාශයේ සහ පිත්තාශයේ ගල් ඇති වූ විට ලේසර් ප්‍රතිකර්ම මඟින් ඉවත් කරණුු ලැබේ. නමුත් එම ගල් එසේ ඉවත් කළත් රෝගය සඳහා බලපාන හේතුව ශරීරයෙන් ඉවත් වී නොමැති නිසා නැවත මුත්‍රාශයේ හෝ පිත්තාශයේ ගල් (අශ්මරී) හටගැනීමේ ප්‍රවණතාවක් ඇති වේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇතිවීමට බලපාන තවත් හේතුවක් වන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් දුර්වලතාවන්ය. ආහාර ජීර්ණයේ විෂමතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජීර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදු වේ. එවැනි වෛද්‍ය ක්‍රමයක් භාවිතා කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇතිවීම, මෙන්ම අතුරු ආබාධ ඇති වීම ද සිදු නොවේ. වකුගඩු මඟින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතා ද දුරු වී යනු ලැබේ.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් ද නීරමුල්ලිය, කොත්තමල්ලි, ඉරමුසු, රණවරා,පොල්පලා වැනි මුත්‍රා කාරක පාන වර්ග මාරුවෙන් මාරුවට දිනපතා භාවිතා කිරීම මඟින් මෙවැනි රෝග වළක්වා ගත හැකියි. ප්‍රමාණවත් පරිදි ජලය පානය, හැකි තරම් ස්වභාවික ආහාර ද්‍රව්‍ය භාවිතය මෙන්ම මුත්‍රා කාරක ස්වභාවික ආහාරපාන මඟින් ශරීරයේ පවතින විෂ පදාර්ථ පිටතට බැහැර කිරීමට ද හැකියාව ලැබී මෙවන් ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකියි.