පළා රසයි ගුණයි එත් අවදානමක්...

පළා රසයි ගුණයි එත් අවදානමක්...

කොළ පැහැති පලා වර්ග ඉතා ගුණදායකය. ඒවා විටමින් ඒ, බී, සී මෙන්ම ෆෝලික් අම්ලය (එයද බී කාණ්ඩයටම අයත් වූවකි) ප්‍රති - ඔක්සිකාරක ලෙස ප්‍රකට ෆ්ලෙවනොයිඩ්ස් සහ ප්‍රකාශ් රසායනික (ෆොටෝ නියුට්‍රියන්ට්ස්න්) ලෙස හැඳින්වෙන පෝෂකයන්ගෙන් ද පොහොසත්ය. යකඩ, කැල්සියම්, සින්ක්, මැග්නීසියම් ඇතුළු ඛනිජ පෝෂක ද පලා කොළ පෝෂණයෙන් පරිපූර්ණ කරවයි.

පලාවර්ග ව්‍යංජන, මැල්ලුම් හා සලාද වශයෙන් සකස්කර ගැනීමට අප ගෘහණියෝ දනිති. ගොටුකොළ, නිවිති , තෙබුුකොළ, සලාද කොළ ආදිය සලාද ලෙස පිළියෙල කර ගැනීමට හා ආහාරයට ගැනීමට අප බෝහෝදෙනා සතුටුය. ගුණය හා රසය අතින් ඒවා විශිෂ්ට වූවද එසේ පිළියෙල කිරීමේ යම් අවදානමක් ද පවතියි.

එළවළු සලාදයේ් ඇති අවදානම නම් ඒවා නොපිසීම නිසා යම් රෝගකාරක විෂබීජ සලාදය හරහා අප ශරීරයට ඇතුළු වීමට ඇති හැකියාවයි. මෙසේ අවදානම ගෙන එන විෂබීජ අතර සැල්මොනෙල්ලා සහ ඊ කෝලයි, ෂිගෙල්ලා ඇතුළු පාචනය, අතීසාරය, සෙංගමාලය, උණ සන්නිපාතය ආදී උදර රෝග ඇති කරන බැක්ටීරියා මෙන්ම පණු රෝග ඇති කිරීමට සමත් පරපෝෂිතයන් ද වෙති. රෝග කාරක ඇමීබාවන් ද එහි සිටිය හැකිය.

ආසාදන ඇති කිරීමේ අවදානම අඩු කර ගැනීම සඳහා සලාද, පලා වර්ග පිළියෙල කිරීමේදී පහත දැක්වෙන පියවර අනුගමනය කිරීමට උත්සාහ ගන්න.

හැකි සෑමවිටම සලාදය සඳහා වන පලා වර්ගය ගෙවත්තෙන් අලුත් පිටම නෙළාගන්න. ඒවා කිහිපවරක් ගලායන (කරාමයකින් වැඟිරෙන ජලයෙන්) ජලයෙන් සෝදා ගන්න. එසේ සේදීමට පෙර පලා සමඟ ඇති අපද්‍රව්‍ය හා දරදඬු මුල් කොටස් කපා ඉවත් කිරීම අවශ්‍යය.

වෙළෙදපොළෙන් පලා මිලදී ගත්තේ නම් ඒවා නිවසට ගෙන එන මල්ල තුළ දැමිය යුත්තේ වෙනත් ඇසුරමක එතීමෙන් පසුවය. මස්, මාළු ඇතුළු ඔබ මිලදී ගත් වෙනත් ආහාරවල ඇති විෂබීජ පලා වර්ගය හා එක්විය හැකිය.

කාබනික පලා (කෘත්‍රිම පොහොර හා කෘෂි රසායනික නොයෙදු පලා) හි විශේෂ වාසියක් මෙහිදී නොමැත. ඒවාද අනෙකුත් පලාවර්ග මෙන්ම හොඳින් සෝදා පිරිසුදු කරගත යුතුමය.

බෙහෝ සුපිරි වෙළෙඳසැල්වල දැන්, එවේලේම ආහාරයට සකස් කළ ලියන ලද පලා ප්ලාස්ටික් ඇසුරුම්වල යොදා අලෙවි කෙරේ. කෙසේවෙතත් එය පෙර සඳහන් කළ විෂබීජ නොතිබෙන බවට සහතිකයක් ලබා නොදෙන බව මතක තබාගන්න.

නිවෙසට ගෙන ආ පලාවර්ග වුවද වෙනත් ඇසුරුමක බහා පිසූ හා නොපිසූ ආහාර සමඟ නොගැටෙන සේ ශීතකරණයෙහි තැබීමට වගබලා ගැනිම අවශ්‍යය.

පලා සමඟ විෂබීජ එක්වීමට ඇති අවස්ථාව අවම කිරීම සඳහා කුස්සියේ මේසය, කැපීමට යොදා ගන්නා ලෑල්ල, පිහිය, සින්ක් එක සහ වෙනත් භාජන හොඳින් පිරිසුදුව තබාගන්න.

පලාවල තැවරී ඇති විෂබීජ සලාදයට එක් කරන ලුණු දියර මෙන්ම තක්කාලි හා දෙහි යුෂ ආදියෙහි අඩංගු අම්ල මඟින් ද යම්දුරකට පලනය කරයි. එහෙයින් සලාදයට දෙහි යුෂ, ලුණු වතුර සහ තක්කාලි එක් කිරීම මඟින් පෝෂණය නංවනවා. (දෙහි යුෂ පලාවල ඇතුළත් පෝෂක සමහරක් අවශෝෂණයට උදව් වෙයි. යකඩ එවැන්නකි.) ඒ පමණක් නොව විෂබීජ ආක්‍රමණය ද පසුබස්වයි. පලා වර්ග සුළු වේලාවක් රත් කිරිම (මැල්ලුම් ආදියෙහි දි මෙන් මඟින් තුළින් ද ඒවා සමඟ පවතින විෂබීජ විනාශ කර දැමීමට අවස්ථා සැලසෙයි.

පලා කොළ සලාදය රසයි, ගුණයි එහෙත් අවදානමක් ඇති කරයි.