කනෙන් අව පැහැති දියරයක් ගලනවා

කනෙන් අව පැහැති දියරයක් ගලනවා

සිතා අරඹේපොළ

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

පුද්ගලයකුගේ කනෙන් ස්‍රාවයක් ගලන්නේ නම් එය ඉතාමත් අසහනකාරී තත්ත්වයක් වනවාට කිසිදු සැකයක් නැත. බොහෝදෙනා ඒ පිළිබඳ මැසිවිලි නගන්නේ එය පීඩාකාරී තත්ත්වයක් වන බැවිණි. මෙය සුලබ රෝගී තත්ත්වයක් වන අතර කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද බහුලව වැළඳෙන රෝගයක් ලෙස හඳුන්වාදිය හැක.

කනෙන් දියර ගැලීම සුව නොවන රෝගයක් ලෙස ඇතැමුන් බියෙන් සහ සැකයෙන් පසුවන අතර දීර්ඝකාලීනව මෙම රෝගී තත්ත්වය පැවතීමට ද බලපාන හේතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි අද බලාපොරොත්තු වන්නේ. මේ සඳහා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සම්බන්ධ කර ගත්තා.

ඇතැමුන්ගේ එක කනකින් ස්‍රාවය ගලන අතර සමහරකුගේ කන් දෙකෙන්ම ස්‍රාවය ගැලීම සිදු වේ.

යම්කිසි පුද්ගලයකුගේ කනෙන් දියරයක් ගැලීමේදී ඒ හා සබැඳි අනෙකුත් පරිවාර රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත් වීම ඉතා වැදගත් කරුණකි. විශේෂයෙන්ම රෝගියාට ඇසීමේ දෝෂයක් මෙන්ම හෝ ගානා ශබ්දයක් සහ අධික වේදනාවක් ඇතිවෙන්නට මේ තත්ත්වය බලපෑ හැක.

කන හෝ එහි රෝගී තත්ත්වයන් පිළිබඳ කතා කිරීමේදී කනෙහි ව්‍යුහය පිළිබඳ දැනුවත් වී සිටීම වැදගත් වේ. කන කොටස් තුනකින් යුක්ත වන අතර පිටත කන, මැද කන ඇතුළු කන මේ කොටස් තුන වේ.

පිටත කනෙහි ඇතිවන ආසාදන විශේෂයෙන් බැක්ටීරියා සහ දිලීර කනට ඇතුළු වීම නිසා කනෙහි ස්‍රාවයන් ගැලීම බහුල ලෙසම සිදුවන තත්ත්වයකි. කුඩා දරුවන්ට හෝ වැඩිහිටියෙකුට මෙවැනි තත්ත්වයක් උදා වූ විට කනෙහි දැඩි වේදනාවක් ඇතිවීම වැළැක්විය නොහැක්කකි.

බලපාන හේතු

නිතරම කනට පුළුන් කූරු cotten buds ඇතුළු කිරීම, ඇල, දොළ, වැව්වල ඇති අපිරිසිදු ජලයේ ගිලී නෑම. කුරූ කටු ආදිය යොදා කන කැසීම මෙයට මූලිකව බලපාන හේතුන් වේ.

කඩිනම් ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවය

මෙවැනි තත්ත්වයක් උද්ගත වූ විට කඩිනම් ප්‍රතිකාර වෙත යොමුවීම අතවශ්‍ය වේ. කඩිනම් ප්‍රතිකාර වෙත යොමු නොවීමෙන් කන අවට ඉදිමිම, ඉතා අධික වේදනාව හා ඇසීමේ දුබලතාවයන් ද අවසානයේදී ඇති වන්නට බොහෝවිට ඉඩකඩ පවතී.

වහාම ප්‍රතිකාර වෙත යොමුවීමේදී පළ පුරුදු වෛද්‍යවරයකු විසින් නිරන්තර පරීක්ෂාවන් වෙත යොමුවිය යුතු වේ. නියමිත හා ගැලපෙන ඖෂධ බිංදු යොදා ගැනීම අනෙත් වැදගත් කරුණයි. මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් කරුණ වන්නේ මෙම රෝගී තත්ත්වය බැක්ටීරියාවක් නිසා ඇති වූවක්ද? දිලීර ආසාදනයක් දැයි ඇතිවූවක් ද නිශ්චිතව සොයා බැලීමයි.

බැක්ටීරියා ආසාදනයකදී දිලීර නසන බිංදු හෝ දිලීර ආසාදනයකදී බැක්ටීරියා නසන බිංදු හෝ භාවිතා නොකළ යුතුය. එවැන්නක් සිදු වුවහොත් එය හානිදායක තත්ත්වයක් වේ. එබැවින් රෝගය නිශ්චිත අයුරින් සොයා ප්‍රතිකාර කිරීම අතිශයින් වැදගත් වේ. මැද කෙණෙහි ආසාදනය නිසා ඇතිවන අධික වේදනාවක් සහ ස්‍රාවය ගැලීම රෝගියාට දැනෙන අතර කෙටි කාලයක් තුළදී කනෙහි දියර ගැලීමට පටන් ගැනීම මැද කනෙහි ආසාදනයෙහි ලක්ෂණය. කනේ ආසාදනයක් ඇතිවීමයි.

මැද කනෙහි ආසාදන නිසා ඇතිවන ස්‍රාවය ගැලීම

මෙවැනි තත්ත්වයකදී රෝගියාට අධික වේදනාවක් දැනෙන අතර කෙටි කාලයක් තුලදී කනෙන් දියර ගැලීමට මැද කනෙහි ආසාදනය නිසා ඇතිවන රෝග ලක්ෂණයකි. අප නොසිතුවද නාසයේ තිබෙන යම් යම් අවහිරතා නිසා මැද කනේ ආසාදනයක් ඇතිවන අතර ඉතා ඉක්මණින් දියර එකතු වීමට මෙය හේතු වේ. එසේම මේ තත්ත්වය තුළදී මැද කනෙහි පීඩනය අධික වීම නිසා අධික ලෙස වේදනාවට රෝගියා පත් වේ.

එවැනි පීඩනයකින් කනෙහි බෙරය පිපිරීමකට ලක් වී දියර ගැලීමම ආරම්භ වේ.

මෙවැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමේදී ශරීරයට අවශ්‍ය ප්‍රතිජීවක හා ඖෂධ වර්ග බීමට මෙන්ම නාසයට සහ කනට දැමීම සිදු කෙරේ.

ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලයක් තිස්සේ කනෙහි අවපැහැ දියරයක් ගැලීම සිදු වේ නම් එයට හේතුව වන්නේ මැද කනෙහි දීර්ඝකාලීනව පවතින ආසාදන තත්ත්වයකි.

මෙවැනි තත්ත්වයන්ට භාජනය වීමේදී එයට බලපාන හේතූන් රැසක් ඇත. ඒවා වනුයේ කෙනෙහි බෙරයේ සිදුරු ඇතිවීම, මැද කනෙහි ඇතිවන අනවශ්‍ය වර්ධනයන් විය හැකිය. එබැවින් මෙවැනි රෝගීන්ට මස්දළු ඇත්දැයි පරීක්ෂා කළ යුතුය. පිටතින් කනට ඇතුළු කරන ආගන්තුක ද්‍රව්‍ය පුළුන්, ඇට වර්ග, ටිෂූ කොළ ආදිය පිළිබඳව සහ අවට තිබෙන අස්ථිවල රෝගී තත්ත්වයන් ද සැළකිල්ලට ගත යුතු වේ. සරලව විසඳාගත නොහැකි වූ විට ශල්‍යකර්මයකට බඳුන් වීමට තිබෙන ඉඩකඩ බොහෝය.