ගංවතුර ව්‍යාසනයට මුහුණ දුන් ඔබටයි

ගංවතුර ව්‍යාසනයට මුහුණ දුන් ඔබටයි

කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ කථාකාචාර්ය රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය

ආසිරි රොද්‍රිගු

සිත්නන...

ඔබ පොතක් කියවනවා කියා. නමුත් එහි එක් පරිච්ඡේදයක් ඔබේ සිත් ගන්නේ නැහැ. එය ඉතාම නීරසයි. එසේ වූණත්, ඔබ පොත කියවීම නවතා නොදමන්නේ එහි එක් පරිච්චේඡේදයක් ඔබේ සිත් නොගත් පමණින් සමස්ත පුස්ථකයම එලෙස නීරස නොවන නිසයි.

මඳක් බලන්න අපේ ජීවිතත් ඉතාමත් අපූරුවට මේ උදාරහණය සමඟ ගලපාගන්නට පුළුවන්. ජීවිතයේ මොනතරම් අමිහිරි අත්දැකිම්වලට මුහුණ දෙනවාද? ඒවා පැහැදිලි කළ උදාහරණයේ තිබු නීරස පරිච්ඡේද හා සමානයි. එසේ වූණත් ඔබත් මමත් අපි කවුරුත් ජීවිතය නමැති පුස්තකය ඉවත දමනවාද? දිගින් දිගටම කියවනවාද?

රටතුළ ඇතිවන ව්‍යසනකාරී තත්ත්ව මානසික ගැටලු වලට හේතුවක් ද?

මේ වන විට අප රට තුළ වරින් වර ඇතිවන ව්‍යසන තත්ත්වයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකියි. මේවායින් කොටසකට හේතුව මිනිසා විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් වන අතර ඉතිරිය සඳහා හේතු වන්නේ ස්වභාවික තත්ත්වයන්ය. මේ සඳහා ඉතා මෑත කාලීනව දක්නට ලැබෙන උදාහරණ ලෙස මීතොටමුල්ල ආශි‍්‍රත ඇති වූ සිදුවීම හා ගංවතුර, නායයාම් හේතුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ හැකියි. කෙසේ වෙතත් මේ කුමන ආකාරයකින් හෝ පුද්ගලයාගේ ජීවිත මෙන්ම දේපළ වලට ඇති කරනු ලබන පීඩාකාරී ස්වභාවය නිසා මානසික වශයෙන් කඩා වැටීම ඉතාමත් ස්වභාවිකව ඇතිවන තත්ත්වයකි. මේ අතර නින්ද නොයාම, නුරුස්සන ස්වභාවය, අවිනිශ්චිත බව, හිතේ විසිරුණු ස්වභාවය, අධික තිගැස්ම, හිසරදය වැනි පීඩාකාරී මානසික මෙන්ම කායික තත්ත්වයන් ඉතා සුලබව දැක ගත හැකිවේ. මෙවැනි ගැටලු ඉතාමත් කෙටි කාලීන වන අතර ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවක් ද නොමැත. ඒ වගේම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකට මුහුණ දීමෙන් පසුව සපිරෙන මුලික අවශ්‍යතාවන්, සාමූහික බව, හිතවත්කම් මෙන්ම ව්‍යසනයට ලක් නොවූ ජනතාව තමා සමඟ සිටිනවා යන හැඟීම ඔවුන් මුහුණ දුන් අත් දැකීම නිසා ඇති වූ පීඩාකාරී බව තව තවත් අඩු කිරීමට හේතුවකි.

දීර්ඝ කාලීනව මානසික ගැටලු ඇතිවෙනවාද?

ඉහත පැහැදිලි කිරීමට අනුව මෙවැනි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන් අයට ඇතිවන මානසික ගැටලු තාවකාලිකව යටපත් වුවද ඇතැම් ඒවා දීර්ඝ කාලීනව බලපෑම් ඇති කර විය හැකියි. සිදු වූ විපතෙන් පසුවටත් තමා අත් විදි දරුණු මතකයන් නැවත නැවතත් සිහිනට නැඟීම, රාත්‍රියේදී භයානක සිහින දැකීම, නිතර ඇතිවන තිගැස්ම, විපත පිළිබඳ සාකච්ඡා කිරීමට ඇති නොහැකියාව හෝ අකමැත්ත ආදී රෝග ලක්ෂණ මෙහිදී දැකගත හැකිවේ. මෙම තත්ත්වය Post traumatic Stress Disoder ලෙසින් හැඳින්වේ.

මීට අමතරව සිතෙහි නිතර ඇතිවන දුක් සහිත බව තෙහෙට්ටුව, පෙරදී සිතට සතුටක් අතිව වන දේ පවා එපා වීම, නින්ද නොයාම කෑම අරුචිය, නිතර ඇතිවන අසුබවාදී සිතුවිලි ආදී විෂාදය (Depression) නමැති රෝගයේ ලක්ෂණ ද මේ සමඟ ඇති විය හැකියි.

අත් මිදීමට සිදු කරන්නේ කුමක්ද?

ඇතැම් අය මෙම මානසික ගැටලු වලින් අත්මිදීමට යැයි සිතා මත් පැන් හා මත් ද්‍රව්‍ය වලට යොමුවීම හේතුවෙන් තමාට ඇති වූ ගැටලු සිතින් මඟ හැරීමට උත්සාහ කරනු ලැබේ. නමුත් එවැනි ක්‍රම මඟින් සිදු වන්නේ තත්ත්වය තව තවත් දරුණු වීම පමණි. කෙසේ වෙතත් මෙවැනි මානසික පීඩාකාරී තත්ත්වයන් එදිනෙදා ජීවිතයට දැඩි බලපෑම් එල්ල කළ හැකි නිසා එම රෝගී තත්ත්ව හඳුනා ගැනීම වගේම අදාළ ප්‍රතිකාර කරා යොමු වීමද ඉතාමත් වැදගත්.

විශේෂයෙන් ආගමික වශයෙන් වැඩි නැඹුරුවක් ඇති කර ගැනීම, සමාජීය සබඳතා හා සමතුලිත පෞරුෂය මෙවන් ව්‍යසන වලින් පසුව ඇතිවන මානසික ගැටලු වලින් ආරක්ෂා වීමට උපකාරී වේ.

මානසික ගැටලු ඇතිවන්නේ ව්‍යසනයට මුහුණ දුන් අයට පමණද?

ඉහත පැහැදිලි කළ මානසික ගැටලු අදාළ ව්‍යසනකාරී තත්ත්වයට ගොදුරු වූ අය පමණක් නොව ඒවා සියැසින් දුටු, ගලවා ගැනීමේ හා ආපදා සේවාවන් සැපයූ වෙනත් පුද්ගලයන්ට වගේම නිළධාරීන්ට පවා ඇතිවිය හැකියි. ඊට හේතුව ඔවුන් ද එම අවස්ථාවල තම ජීවිත පවා අවදානමට ලක්කරමින් ආපදා තත්ත්වයට මුහුණ දීම මෙන්ම එම අනතුරුවලට මුහුණ දුන් පුද්ගලයන් සමඟ නිරන්තරව ගැටීම නිසා ඇතිවන කායික මානසික විඩාවයි.

ඔබට කළ හැක්කේ කුමක්ද?

මේ වන විට මෙවැනි විවිධාකාර ආපදා තත්ත්වය නිසා බොහෝ අත්දැකීම් වලට අප රට වැසියන්ට මුහුණදීමට සිදු වී තිබේ. යම් ලෙසකින් එවැනි අත්දැකිම් ලැබු අය ඕනෑතරම් ඔබගේ සමීපතමයන් වශයෙන් ද සිටීමට එවැනි විටෙක ඔවුන්ගේ මානසික පීඩාව අවම කිරීමට යම්තාක් දුරකට හෝ දායක විය හැකියි.

එසේ ඔබ විසින් ලබාදෙන උපකාර ප්‍රථමාධාර” (Phycholiyical Frist aid හැඳින්වේ.

මනෝ වෛද්‍යමය ප්‍රථමාධාර

Phychological Frist aid

01) අනතුරට මුහුණ දුන් තැනැත්තාට කරුණිකව හා සාවදානව සවන් දීම

02) ඔවුන් ඔබට පවසීමට කැමති දේ බලකිරීමකින් පැවසීමට ඉඩ ලබා දීම. මෙමඟින් ඔබ විසින් ඔවුන් මානසික පීඩනය බෙදාහදා ගැනීමකට සමාන කාර්යය සිදු කරනු ලැබේ.

03) වචනයෙන් පමණක් නොව හැසිරීමෙන් පවා එම පුද්ගලයාගේ තත්ත්වය ඔබට සහ කම්පනය (Empathy) වන බව ඇඟවීම. නමුත් මෙම හැසිරීම ඔවුන්ට ඔබ දක්වන අනුකම්පාවක් ලෙස නොදැනීමට වගබලා ගත යුතුයි.

04) පීඩාවට පත් වූ තැනැත්තාගේ මූලික භෞතික අවශ්‍යතා (ආහාර, ජලය, සුරක්ෂිත නවාතැන්, ප්‍රමාණවත් සුවපහසුව, අන් අය සමඟ සම්බන්ධ වීම) සඳහා ඔබට හැකි උපරීම උපකාරී වන්න. ඒවා සපයා ගත හැකි මාර්ග වෙත ඔවුන්ව යොමු කරවන්න.

05) ඔවුන් හුදකලා වී නොමැති බව සහ උපකාරයට තවත් බෝහෝ පිරිස් සිටින බව අගවන්න.

06) යථාර්ථවාදීව ඔවුන්ව හැකි තරම් ධෛර්යමත් කරන්න.

07) ඔවුන්ට අහිමි වූ දේ නොව ඔවුන් සතුව ඉතිරිව පවතින ශක්තීන් හා ඔවුන්ට හිමිවන උපාකාර තුළින් යළි ජීවිතය ගොඩනඟ ගැනීමට හැකියි යන සිතුවිලි වලින් ඔවුන්ව ශක්තිමත් කිරීම හා ඊට හැකි සෑම ආකාරයකින්ම ඔබට උපකාර කළ හැකියි.