මෙන්න, හඳුනාගන්න! සැබෑ සහල් සහ ප්ලාස්ටික් සහල්වල වෙනස

මෙන්න, හඳුනාගන්න! සැබෑ සහල් සහ ප්ලාස්ටික් සහල්වල වෙනස

කොළඹ නාගරික ඹරස පරික්ෂක

ආර්.එම්.ජී.බී. රාජනායක

බත, බුලත ශ්‍රී ලාකේය සංස්කෘතියේ කොටසකි. අප ඊට බෙහෙවින්ම ගරු කරමු. එබැවින් ඊට කිසිවකුත් නිගරු කිරීම හෝ වංචා කිරීම අනුමත නොකරමු. එවැනි වාතාවරණයක් තුළ පසුගියදා ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරන ලද සහල් වර්ගයක් පිළිබඳ ප්‍රවෘත්තියක් පැතිර ගියේ ශ්‍රී ලාංකිකයන් මවිතයට පත් කරමින්ය. මේ අරුම පුදුම ප්‍රවෘත්තිය කුමක්ද? මෙතෙක් කල් අප කටට දිවට හුරු වූ සහලින් පෝෂණය වූ අපට මේ වනවිට වෙළෙඳපොළේ ඇතැයි පැවසෙන ප්ලාස්ටික් සහල් අප අතටත් පත් වේවිද?

මේ පිළිබඳ අප කළ විමසුමකදී කොළඹ නාගරික රස පරීක්ෂක ගාමිණී රාජනායක මහතා දැක්වූ අදහස මෙසේය.

එවැනි සහල් වර්ගයක් මෙතෙක් වෙළඳපළෙන් හමු වී නැහැ. එසේම මෙය යථාර්ථවාදීවත් යම්පමණකට පිළිගැනීමට තරමක් අපහසු ප්‍රවෘත්තියක්.

සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයකින් යමක් නිර්මාණය කළොත් එහි බර අඩුවිය යුතුයි. හේතුව ප්ලාස්ටික් යනු බර අඩු සැහැල්ලු ද්‍රව්‍යයක් නිසා. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වතුර උඩ පාවෙන ද්‍රව්‍යයක්.

කෙසේ වෙතත් මේ වනවිට සාමාන්‍ය ජනතාව තුළ මේ පිළිබඳ විශාල කුතුහලයක් පවතින බැවින් මෙහි සත්‍ය, අසත්‍යතාව නැතිනම් නිරවද්‍යතාවය ඔප්පු කර ගැනීම බෙහෙවින් වැදගත්.

කෙසේ වෙතත් නිවසේදීම නැතිනම් ගෙදර දොරේදීම මහජනතාවටත් මෙම ප්ලාස්ටික් සහල් පිළිබඳ වූ සැකය පරීක්ෂාවට ලක් කළ හැකි ක්‍රමවේද කීපයක් ද තිබෙනවා. ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් මෙම ක්‍රමවේද තුළින් තමා පරිභෝජනය කරන සහල් වර්ගය ස්වභාවික සහල් ද එසේත් නැතිනම් නිර්මාණය කරන ලද ප්ලාස්ටික් සහල් ද යන්න හඳුනාගත හැකියි.

සාමාන්‍යයෙන් පිසූ සහල් නම් රත්වන තෙල්වලට දැමූ විට සහල් උඩට මතුවිමක් සිදුවිය යුතුයි. නමුත් ප්ලාස්ටික් නම් රත් වූ තෙල්වලට දැමූ විට යටට බැසීමක් සිදුවිය යුතුයි.

එසේම ප්ලාස්ටික් ගිනි ගැනීමේදී ඊට ආවේණික සුවඳක් ද තිබෙනවා. එය අපේ නාසයට හුරු පුරුදුයි. එසේම බත් රෝස්වන විට ඇතිවන සුවඳක් ද තිබෙනවා. එයත් අපගේ නාසයට හුරු පුරුදුයි.

ප්ලාස්ටික් සහල් සහ ස්වභාවික සහල් වෙන්කර හඳුනා ගැනීම මෙම ක්‍රමවේදය අනුව ද අත්හදා බැලිය හැකියි. එහිදී සහල් ටිකක් පුච්චා එම පිච්චෙන සුවඳින් අපට එය සැබෑ සහල් ද එසේත් නැතිනම් කෘත්‍රිම සහල් ද යන්න වෙන්කර හඳුනාගත හැකියි. ඊටත් අමතරව සහල් තැම්බූ වතුර ටිකක් නිවෙන්නට හැර එම වතුරට අයඩින් හෝ බෙතඩින් බිංදු 2 ක් පමණ දැමූ විට ස්වභාවික සහල් තැම්බූ වතුර නම් නිල් පැහැයට හැරේ. එසේ වනුයේ සහල්වල පිෂ්ඨය අඩංගු වන බැවිනි. නමුත් ප්ලාස්ටික්වල ස්වභාවික සහල්වල මෙන් පිෂ්ඨය අඩංගු නොවන බැවින් ප්ලාස්ටික් සහල් තැම්බූ වතුර නම් නිල්පාට නොවෙයි. මේවා පරිභෝගියන් හට නිවසේදීම කළ හැකි සරල පරික්ෂණයන්ය.

මීට අමතරව සහල් දෙස බැලූ බැල්මටත් වෙනස හඳුනා ගැනීමට යම් හැකියාවක් තිබේ. එනම් අනුකරණ සහල්වල දිලිසෙන ස්වභාවය වැඩිය. එසේම කැකුළු සහල් සඳහා එවන් අනුකරණයක් කිරීම ද අපහසු වේ. ඊට අමතරව එසේම ඉතාමත් විද්‍යානුකූලව අනුකරණ සහල් හඳුනාගැනීමේ ක්‍රමවේද ද පවතී. පර්යේෂණාගාරයක් තුළ සිදු කළ හැකි එබදු පර්යේෂණයන් මඟින් එය තහවුරු කර ගැනීමේ හැකියාව පවතී.

එනම් සහල් කුඩු කර අන්වීක්ෂයක් තුළින් බැලූ කළ එම වෙනස්කම් හොඳින් නිරූපණය වෙයි. ස්වභාවික සහල්වලට ආවේණික ව්‍යුහයක් පවතින අතර පර්යේෂණාගාරයක් තුළදී එය තහවුරු කර ගැනීමේ හැකියාව ඇත.

කෙසේ වෙතත් ප්‍රවෘත්තියක් සත්‍ය හෝ අසත්‍ය හෝ වේවා එය සමාජගත වීමට වැඩි කාලයක් අවශ්‍ය නොවේ. මෙම ප්ලාස්ටික් එසේත් නැතිනම් අනුකරණ සහල් පිළිබඳ ප්‍රවෘත්තිය ද ශ්‍රී ලාංකිකයන්ට අසන්නට ලැබුණේ හදිසියේමය. ලෝකයේ යම් රටවල භාවිත වන බවට තොරතුරු සහිත මෙවන් අනුකරණ සහල් ශ්‍රී ලංකාවේ භාවිත වන බවට දැනට තොරතුරු හමු නොවේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ එක් රැයකින් මිනිසුන් අතරට ගිය මෙම ප්‍රවෘත්තිය මිනිසාට තව තවත් තම වටපිටාව එසේත් නැතිනම් තමා පරිභෝජනය කරන දෑ පිළිබඳ විමසිලිමත් වීමට ලැබුණු අවස්ථාවකි.

එබැවින් මේ පිළිබඳ කිසියම් හෝ සැකයක් සහිත සහල් විශේෂයක් දක්නට හෝ මිලදී ගැනීමට සිදු වුවහොත් ආසන්නම සෞඛ්‍ය බලධාරියා දැනුවත් කිරිම වැදගත්ය.

එනම් ආහාර පරීක්ෂවරයා හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හට ඒ පිළිබඳ දැන්වීම වැදගත්ය.

රටේ මහජනතාවගේ සෞඛ්‍යයට බාධා එල්ල කරන මෙවන් දෑ පිළිබඳ දැනුවත් වීම මෙන්ම, ඒ පිළිබඳ දන්නා තොරතුරු සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීම ද එක සේ වැදගත්ය.

එසේම විමසිලිමත් වීම කූට ව්‍යාපාරිකයන්ට වැට බැඳීමකි. එබැවින් අපගේ සමස්ත පරිභෝජන ද්‍රව්‍යයන් කෙරේ නිරන්තරයෙන් සැලැකිලිමත්ව කටයුතු කිරිමට අප හැම විටම ක්‍රියා කරමු.