උකුල් ඇටයේ ශල්‍යකර්මයට සිහිය නැති කරන්න අවශ්‍ය නැහැ

 උකුල් ඇටයේ ශල්‍යකර්මයට සිහිය නැති කරන්න අවශ්‍ය නැහැ

ජාතික රෝහලේ අස්ථි සහ

විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ මෙන්ඩිස්

තම අම්මාගේ තාත්තාගේ හෝ පවුලේ වැඩිහිටි ඥාතියෙකුගේ උකුල් ඇටය බිඳුණු පසුව ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ බියක්. ඒ, වයස්ගත බව ශල්‍යකර්මයට බාධාවක් වේ යැයි සිතන නිසයි. නැතිනම් ශල්‍යකර්මයට පසුව නැවත සිහිය ගැනීමට අපහසු වේ යැයි සිතන නිසයි. එසේ බියවීමට අවශ්‍ය වන්නේ නෑ. ඒ බොහෝවිට මෙම ශල්‍යකර්මය සඳහා සිහි නැති කිරීමක් සිදු නොකරන නිසයි.

කෙසේ වුවද මෙවැනි ශල්‍යකර්මයකදී රෝගියාගේ ජීවිතය අහිමි වීම ඉතාම විරල සිදුවීමක්. රෝගියාගේ හෘදයේ හෝ පෙනහළුවල කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම්, ශල්‍යකර්මයකට භාජනය නොකොට පාදයට බර යොදා කලක් ප්‍රතිකාර කිරීමෙන් බිඳුණු අස්ථියට ප්‍රතිකාර කළ හැකියි. මෙහිදී දීර්ඝකාලයක් ඇඳටම වී සිටින්නට රෝගියාට සිදුවෙනවා. උකුල් ඇටය ප්‍රදේශයට පැරිස් බදාම බැන්ඩේජයක් යොදා බිඳුණු උකුල් ඇටය ඉබේ හා වීමට ඉඩ සලස්වනවා. මෙම ප්‍රතිකාරය සඳහා කලක් ගත වෙනවා. එසේම අස්ථි හා වනතෙක් නිවැරදි ඉරියව්වේ සිටියේ නැතිනම්, පාදය කෙටිවීමට හෝ ඇදයක් ඇතිවීමට වුවද ඉඩ තිබෙනවා.

උකුල් ඇටය බිඳුණු රෝගියකු සඳහා ශල්‍යකර්ම දෙආකාරයෙන් සිදු කරනවා. ඒ උකුල් ඇටය බිඳී ඇති ආකාරය අනුවයි. උකුල් ඇටයේ බෝලය ළඟින්ම කැඩී ඇත්නම්, බෝල හන්දිය දමා ශල්‍යකර්මය සිදු කරයි. මෙහිදී උකුල් ඇටයේ භාගයක් දැමිය යුතුයි. අනෙක් ශල්‍යකර්මය වන්නේ DHS ශල්‍යකර්මයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී උකුල් ඇටයට ඇන දමා සවි කරනවා යැයි කියන්නේ මෙම ශල්‍යකර්මයටයි. මේ සඳහා වයස බලපාන්නේ නෑ. කාන්තාවකට දරුවකු ලැබෙන අවස්ථාවේදී මෙන් මෙහිදී කොන්ද ප්‍රදේශයට එන්නතක් විඳීමෙන් එම ප්‍රදේශය හිරි වට්ටවා ශල්‍යකර්මය සිදු කරනු ලබනවා. ශල්‍යකර්මයෙන් දින දෙක තුනකට පමණ පසුව රෝගියාට රෝහලෙන් පිටවිය හැකියි.

ශල්‍යකර්මයෙන් පසුව රෝගියා බලාගන්නා හැටි

රෝගියාගේ උකුල් ඇටය බිඳුණු ආකාරය මත සහ ශල්‍යකර්මය සිදු කළ ආකාරය මත පාදයට සම්පූර්ණයෙන් බර වැටෙන පරිදි ඇවිද්ද යුතුද? අර්ධ වශයෙන් බර වැටෙන පරිදි ඇවිද්ද යුතුද? බර නොවැටෙන පරිදි ඇවිද්ද යුතුද? කියා වෛද්‍යවරු විසින් උපදෙස් ලබා දෙනවා. එම වෛද්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම වැදගත්. උකුල් සන්ධිය ශල්‍යකර්මයකට භාජනය කළ රෝගියකු නිවසට ගෙන ගිය පසුව හොඳින් රැකබලා ගැනීමට විශේෂ අවධානයක් යොමු කිරීම ද වැදගත්. ශල්‍යකර්මයට භාජනය කළ වැඩිහිටියා කාමරයට කොටුකර තබා “මෙයා ලෙඩා, මෙයාට, ඇවිදින්න හොඳ නෑ. ආයෙත් ඇවිද්දොත් ආයෙත් වැටෙන්න පුළුවනි” යනුවෙන් සිතා කටයුතු කිරිම ඉතාම නුසුදුසුයි. රෝගියාට තනිවම ඇවිදීමට තවමත් නොහැකිනම් රෝද පුටුවක තබා ගෙන හෝ කුස්සියට, සාලයට, මිදුලට රැගෙන යාම ඉතාම අවශ්‍යයි. මෙවැනි තත්ත්වයකට පත් වූ අයකු එකතැන කොටු කර තැබූ විට විෂාදයට (Depression) ඉක්මනින්ම ගොදුරු වීමේ හැකියාව තිබෙනවා. තමාව මෙලෙස කාමරයකට කොටු කර තබා තිබෙන්නේ තමන් මරනාසන්නව සිටින නිසා යැයි සිතීමට රෝගියා පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රෝගියා සත්‍යවශයෙන්ම මරණයට පත් වීමට පෙර දහස් වාරයක් සිතින් මිය යාමයි. ඒ නිසයි රෝගියාගේ ජීවිතය කාමරයකට සීමා නොකර සාමාන්‍ය තත්ත්වයට ගත යුතු වන්නේ. එමෙන්ම ඇවිදගත නොහැකි රෝගියකු නම් රෝගියා එකම ඉරියව්වක නොතබා, නිතර ඉරියව් වෙනස් කරමින් තබා ගැනීමත්, නිතර පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්. එසේ නොවුනහොත් රෝගියාගේ ශරීරයේ ඇඳ තුවාල මතුවී තත්ත්වය නරක අතට පත්වීමට ඉඩ තිබෙනවා.

උකුල් ඇටය සවිවෙන්න ගතවන කාලය

අපගේ ශරීරයේ ඕනෑම සන්ධියක් අස්ථියක් බිඳුණු විට එය සවි වෙන්න මාස එක හමාරක් පමණ (දින 45 ක් පමණ) ගත වෙනවා. වයස්ගත පුද්ගලයින් සඳහා මෙහිදී තවත් දින කීපයක් වැඩියෙන් ගත වෙනවා. අපගේ ශරීරයේ අස්ථි සවි වන වේගය වැඩි කිරීමට ඖෂධ නැහැ. එසේම ශරීරයේ අස්ථි උණු කිරීමට හෝ දිය කිරීමට හෝ හැකියාවක් ඇත්තේ නෑ. බිඳුණු අස්ථියක් නැවත සෑදීමේ ශල්‍යකර්මයකදී සිදු කෙරෙන්නේ අස්ථි කොටස් දෙක සවි වීමට අවශ්‍ය පරිසරය සකස් වීම සඳහා එම අස්ථි කොටස් දෙක එකට ලං කර තැබීමයි. අවශ්‍ය දින ගණන ගත වූ පසුව බිඳුණු එම අස්ථි දෙක සවි වන්නේ ඉබේටමයි. බොන ඖෂධ ලෙස කැල්සියම් ගත්තද, අස්ථි දෙක සවි වීමේ වේගය වැඩිවන්නේ නෑ.

බිඳුණු උකුල් ඇටයට සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව රෝගියා නිවසට යාමෙන් අනතුරුව ඇවිදින විට ආධාරකයක් භාවිතා කරන ලෙස උපදෙස් ලබා දෙනවා. මෙහිදී පළමුව ලබා දිය යුත්තේ කොටුවක් වැනි ආධාරයක්. එය වඩාත් ආරක්ෂිතයි. මාස දෙකක් පමණ එම ආධාරයෙන් ගමන් කළාට පසුව පාද 3 ක් අති බස්තමක් පාවිච්චි කරන ලෙස උපදෙස් ලබා දෙනවා. මාස 2 ක් පමණ එම බස්තම ආධාරයෙන් ගමන් කළාට පසුව බස්තමක් නොමැතිව ගමන් කරන ලෙස උපදෙස් ලබා දෙනවා. එසේ කරන්නේ රෝගියා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගත යුතු නිසයි. පාකින්සන් රෝගය ඇති අයකුට නම් තවත් වැඩි කලක් බස්තම අත නොහරින ලෙස උපදෙස් ලබා දෙනවා. මේ සෑම දෙයකම අරමුණ රෝගියා ඉක්මනින්ම සුපුරුදු ජීවතයට යොමු කිරීමයි.

ඖෂධීය ප්‍රතිකාර

ශල්‍යකර්මයෙන් පසුව රෝගියාගේ වේදනාව සමනය කිරිමට, රුධිරය කැටි ගැසීම වැළැක්වීමට ඖෂධීය ප්‍රතිකාර ලබාදිය යුතුයි. ශරීරයේ කැල්සියම් ප්‍රමාණය අඩු නම් කැල්සියම් පෙති ලෙසද ලබාදීම වැදගත්. ශල්‍යකර්මයෙන් උකුල් සන්ධිය සකස් කළාට පසුව ඔස්ටියෝපොරෝසිස් රෝගයට දිගටම ප්‍රතිකාර කිරීම අනිවාර්යයි. එසේ නොවුණහොත් නැවතත් එම පුද්ගයාගේ උකුල් ඇටය සුළු වැටීමකින් පමණ බිඳී යා හැකියි.

පසුගිය සතියේත් සඳහන් කළ පරිදි පිරිමි අයකුට වඩා වයස්ගත කාන්තාවකගේ සුළු වැටීමකින් පවා උකුල් ඇටය බිඳීමේ හැකියාව වැඩියි. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් තිබෙනවා. අස්ථිවල නීරෝගිභාවයට අපගේ ශරීරයේ තිබෙන ලිංගික හෝමෝන (sex hormones) වල විශාල බලපෑමක් තිබෙනවා. කාන්තාවන්ගේ ශරීරය තුළ Oestrogen  හෝර්මෝන ද පිරිමින්ගේ ශරීරය තුළ Testosterone හෝර්මෝනය ද මේ සඳහා හේතු වෙනවා. වයස අවුරුදු 50 ඉක්මවන විට ආර්ථවහරණයෙන් පසුව කාන්තාවන්ගේ ශරීරය තුළ Oestrogen  හෝර්මෝනය නිපදවීම ඇන හිටිනවා. එය වැඩිහිටි කාන්තාවන්ගේ අස්ථිවල ශක්තියට විශේෂ බලපෑමක් කරනවා. පිරිමින්ගේ ශරීරය තුළ තිබෙන Testosterone  හෝර්මෝනය වයස්ගත වූ විට නැති වන්නේ නෑ. ඒ නිසා ලිංගික හෝර්මෝනවල අඩුවක් පිරිමින්ගේ අස්ථිවලට දැනෙන්නේ නෑ. මෙය ඔස්ටියෝපොරෝසිස් රෝගය කාන්තාවන් තුළ වැඩි වීමට විශේෂ බලපෑමක් කරනවා.

කිසියම් හේතුවක් නිසා ආර්ථවහරණයට පෙර කාන්තාවකගේ ඩිම්බකෝෂ ඉවත් කිරීමට සිදු වුවහොත් එම කාන්තාවන්ට ඔස්ටියෝපොරෝසිස් සෑදීමේ හැකියාව වැඩියි. එහෙත් ඩිම්බකෝෂ ඉතිරිව තබා ගර්භාෂය පමණක් ඉවත් කිරීම ඔස්ටියෝපොරෝසිස් රෝගයට බලපෑමක් ඇති කරන්නේ නෑ.