නිරන්තරයෙන් අවදියෙන් සිට හඳුනාගන්න

නිරන්තරයෙන් අවදියෙන් සිට හඳුනාගන්න

ආඝාතයේ පූර්ව ලක්ෂණ

Day to Day Health Hints

ආඝාතය (Stroke) අද අප රට තුළද සුලබව දැකිය හැකි මාරාන්තික ආබාධයකි. කිසියම් රෝගී පුද්ගලයකු ආඝාතයට පත් වෙමින් සිටින බව දැන ගැනීමට මේ පියවර අනුගමනය කරන්න. ඒ අනුව රෝගියා ඉක්මනින් රෝහල් ගත කිරිමට ඔබට පුළුවන.

රෝගියා ලවා වචන කිහිපයක් කතා කරවීමට උත්සාහ ගන්න. ගොත ගසන්නේ නම් එය ද ආඝාතයට යොමුවීමේ ලක්ෂණයකි.

රෝගියාට සිනාසීමට කියන්න

රෝගියා සිනාසෙන විට හෝ දත් පිටතට පෙන්වන විට හෝ මුහුණ දෙසම එක ආකාරයට හැඩ නොගැසේ නම් හෝ යම් කඩා වැටීමක් ඇති බවක් දැකිය හැකිනම් හෝ රෝගියා ආඝාත තත්ත්වයට තල්ලු වෙමින් සිටින බවක් අඟවයි.

රෝගියාට සිය ඇස් වසාගෙන තත්පර 10 කාලයක් තම දෑත් ඉදිරියට කෙලින් ඔසවාගෙන සිටින ලෙස පවසන්න.

ඔහුට එක අතක් එසවීමට නොහැකි විම හෝ එසවූ එක් අතක් ඉක්මනින් පහතට වැටෙන්නේ නම් රෝගියා ආඝාතයට යොමු වෙමින් පවතින බව සැලකිය හැකිය.

විටමින් D ඌණතාවය නිසා වියපත් අය රෝගී වෙනවා

වයස්ගත (වියපත් වූ) පුද්ගලයන් හට අවශ්‍ය තරම් ඩී විටමිනය හිරුඑළිය ආශ්‍රයෙන් හෝ ආහාර මාර්ගයෙන් හෝ නොලැබීම නිසා ගමන් කිරිමේ අපහසුව හා නිතර රෝගීවීමේ අවදානමට ඔවුන් ලක්වන බව “වෘද්ධවේදය” පිළිබඳ සඟරාව දක්වයි.

විශේෂයෙන්ම “ඩී” විටමිනය හිඟ වූ වියපත් පුද්ගලයන්ගේ ඇවිදීම සීමාවන බව පැහැදිලි බව හෙළිදරව් වී ඇත. ඔවුන්ගේ රුධිර ගත ඩී විටමින ප්‍රමාණය ඉහළ දැමුවහොත් එහා මෙහා යාමට ඔවුන්ට වැඩි හැකියාවක් ලැබෙන බව මෙම පර්යේෂණ වාර්තාව පවසයි.

මෙවැනි තත්ත්වයකට හේතුව නම් ඩී විටමිනය පේශි ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය විටමිනයක් බැවිනි. එසේම හෘදය හා ශ්වසන රෝග ඇති වීම අඩු කිරීමටත් සෑහෙන ඩී විටමින ප්‍රමාණයක වියපත් වුවන්ට ලැබීම ප්‍රයෝජනවත් බව පර්යේෂකයෝ දක්වති.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා මොළයටත් ප්‍රශ්නයක්?

කෙනෙකුගේ රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය සම්මතයට වඩා ඉහළ යාමේ තර්ජනය බලපාන්නේ දියවැඩියාව ඇති කිරීමට පමණක් නොවන බව ඔබ දන්නවාද?

ස්නායු වේදීන් පිරිසක් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව මොළය හකුලුවා ලීමට මෙසේ රුධිරයේ සීනි වැඩිවීම හේතුවෙයි. විශේෂයෙන්ම මොළයේ මතකය සහ සිතීමේ කාර්යයන් සඳහා වගකීම ගන්නා කොටස් මෙසේ වැඩිපුර හැකිලීමට ලක්වෙන බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙම පර්යේෂණය හෙළි කරන ඉතා වැදගත්ම දේ නම් දියවැඩියා අවදානම ඇති කරන තරමේ සීනි මට්ටම සහිත උදවිය මේ මොළයේ ව්‍යසනයට වැඩිපුරම ලක්වන බවයි.

රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යාම දියවැඩියාව ඇති කරනවා මෙන්ම වකුගඩු, අක්මාව, හෘදය සහ පෙනහළු වලට යම් ගැටලු ඇති කරන අතර දැන් මොළයට තමන් නතු කරගෙන ඇතිබව මෙම පර්යේෂකයෝ දනිති.

මධ්‍යධරණ ආහාරවේල (මෙඩිටරේනියන්ඩයට්) ලෙස හැඳින්වෙන නිවුඩ්ඩ සහිත ධාන්‍ය, පියලි ඇට, වර්ණවත් එළවළු සහ පලතුරු, මාළු මෙන්ම ඔලිව් තෙල් ද යොදාගත් ආහාර වේලක් තුළින් මොළයේ ඇතිවන මෙම ක්ෂය වීමට හරස්විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසය.

නින්දෙන් නැඟිට රෑට කන එක හොඳද?

අප අතරින් සමහර දෙනෙකු මහ රාත්‍රියේදී එනම් රෑ 12ට,1ට,2ට නින්දෙන් අවදි වී යමක් කෑමට ගැනීම පුරුද්දක් කරගෙන සිටිති. වෛද්‍ය මතයට අනුව නම් මෙය සෞඛ්‍යයට හිතකර සිරිතක් නම් නොවෙයි. එහෙයින් දිවා කාලයේදී ගන්නා වෙනත් ආහාර වර්ග මෙන් නොව රෑට මෙසේ කෙටි ආහාරයක් ගැනීම සෞඛ්‍යමය ගැටළු රාශියකට මඟපාදන බව සත්‍යයකි.

කුළුබඩු මිශ්‍රිත සැර කෙටි ආහාර, තෙල් දැමූ ආහාර, බැදපු ආහාර, පැස්ටා, පාන්, පිට්සා වැනි ආහාර මෙසේ මහ රෑ කෑමට ගැනීම නිසා ශරීරයේ බර වැඩිවීම, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, ලේ තුළ ට්‍රයිග්ලිසරයිඩ මට්ටම වැඩි වීම, ආහාර අජීර්ණ තත්ත්වයන්, ගැස්ට්‍රයිටීස් ඇතිවන විපත් අතර පවතියි. සීනි මිශි‍්‍රත පාන වර්ග සහ වායු මිශි‍්‍රත පාන වර්ග ගැනීම නිසා ශරීරය දියවැඩියා තර්ජනයට ද යොමු කිරීමට සමත්ය.

රෑට පැන නඟින බඩගින්න ඉවසා ගැනීමට නොහැකි නම්, පලතුරු කෑල්ලක්, ක්‍රැකර් විස්කෝතුවක්, හුලං විස්කෝතුවක්, රටකජු හෝ කජු ඇට කිහිපයක් වැනි ආහාරයක් ගැනීම බරපතළ ප්‍රශ්න ඇති නොකරයි. සීනි දැමූ හෝ නොදැමූ තේ හෝ කෝපි හෝ කෝප්පයක් පානය කළහොත් එය ඔබේ නින්දට බාධාවක් වේවි.