විදුලි උපකරණ භාවිතයට පෙර මේ පිළිබඳව දැනුවත් වන්න

විදුලි උපකරණ භාවිතයට පෙර මේ පිළිබඳව දැනුවත් වන්න

ජාතික රෝහලේ

පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යාණි සොයිසා

විදුලි සැර, සැරට වැදුණොත් නම් ඉතින් ඉතිරි කොටස පිළිබඳව අපට කතා කරන්නට වන්නේ පර ලෝක්යේ සිටයි. නමුත් පර ලෝකයට යන්නට පෙර මෙලොවදී විදුලිය නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගතහොත් ඒ පිළිබඳ කිසිසේත් පසුතැවිලි වන්නට නම් අවශ්‍ය වන්නේ නැහැ. බොහෝවිට අපටත් වඩා නොදැනුවත්කම නිසා මීට ගොදුරු වන්නේ අපගේම දරුවන්. ඒ නිසා අනතුරක් වන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වී ඒ අනතුරු වළක්වා ගැනීම ඉතාම වැදගත්. එබැවින් අපගේම නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නේ කෙසේද යනන පිළිබඳවත් හදිසියේ හෝ විදුලිසැර වැදුණොත් රෝහලකට රැගෙන යාමට පෙර සිදු කළ යුතු මූලික පිළියම් පිළිබඳවත් විමසා බලමු.

නිවසේදී විදුලිය නිසා සිදුවිය හැකි බොහෝ අනතුරුවලට හේතුවක් බවට පත් වන්නේ නිසි ප්‍රමිතියකට විදුලිය ලබා ගන්නා පරිපථ සකස් නොකිරීම මෙන්ම නිසි ප්‍රමිතියක් තොර විදුලි උපකරණ භාවිත කරයි. එමෙන්ම බිඳුණු විදුලි භාණ්ඩ වලින්, විදුලි පේණු වලින්ද විදුලිය කාන්දු විය හැකි නිසා ඒවා පිළිසකර කර ගැනීමෙන්ද මෙවන් අනතුරු පහසුවෙන් වළක්වා ගත හැකියි. තවත් සමහර විටෙක වයර් කැබලි දෙකක් අමුණා එය විදුලියට සම්බන්ධ කර භාවිතයට ගැනීම කිසිසේත් සුදුසු කටයුත්තක් නම් නොවේ. ඒ නිසා සුළු වශයෙන් හෝ විදුලිය කාන්දු වීමක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම එය යථා තත්ත්වයට පත් කරගත යුතුයි. තවත් ඇතැම් පිරිස් විදුලි උපකරණ භාවිතා කොට එය ක්‍රියා විරහිත නොකර තැබීමෙන් බොහෝ අනතුරුද සිදු කර ගනියි.

කැඩී බිඳී ගිය විදුලි බල්බ භාවිතා කරන විට ඒවා විදුලිය සමඟ සම්බන්ධව ක්‍රියා කරන විටදී ගිනි පුළිඟු පිටවීමෙන් (ස්පාක් වීමෙන් ) වෙනත් අතුරු හේතු සමඟ සම්බන්ධ වී අනතුරු ඇති විය හැකියි. මීට උදාහරණ ලෙස එසේ විදුලිය ස්පාක් වන අවස්ථාවක ගෑස් ලිප දැල්වීමෙන් අනතුරට පත්වූ අවස්ථා පිළිබඳවද වාර්තා වී ඇත. මේ හේතුන්ට අමතරව විදුලි උපකරණ භාවිතා කරන විට ඒවායේ වතුර, වෑංජන වැනි දේ හැළී තිබීමෙන් විදුලිය කාන්දු විය හැකියි. ඒ වගේම ජලය සමඟ විදුලි උපකරණ ඇල්ලීම නිසාත් විදුලිය වැදීමට හැකියාවක් ඇත. ඒ නිසා නිතරම විදුලි උපකරණ භාවිතා කරන විට වියළි දෑතින් පාවහන් සහිතව කටයුතු කළ යුතුයි. ඒ වගේම විදුලිය ආශි‍්‍රත පිළිසකර කිරීම් වලදී නිතරම විදුලි සැපයුම ක්‍රියාවිරහිත කර ඒවා ඉටුකිරීමට වගබලා ගත යුතුයි.

විශේෂයෙන් කුඩා දරුවන් නිවෙස්වල සිටිනවා නම් ඔවුන්ට විදුලි පේනු අසලට යාමට හැකි නොවන පරිදි ඒවා ආවරණය කර තැබීම මෙන්ම ඔවුන්ට ළඟාවිය නොහැකි තැන්වල ඒවා සවි කිරිමද ඉතා වැදගත්. මෙවැනි කරුණු කාරණා කෙසේ වුවත් හදිස්සියේ හෝ විදුලි සැර වැදුණු අවස්ථාවකදී විදුලිය විසන්ධි කර අනතුරට පත් පුද්ගලයා සිටින ස්ථානයට යා යුතු අතර අනතුරේ ස්වභාවය අනුව වහාම ප්‍රථමාධාර ලබාදී වෛද්‍ය ප්‍රතිකාරද ලබා දිය යුතුයි.