දුෂණ නිසා සිදුවන හානිය සුළුපටු නැහැ

දුෂණ නිසා සිදුවන හානිය සුළුපටු නැහැ

පරිසර දූෂණය අද බොහෝදෙනා කතා කරන මාතෘකාවක්. පරිසර දූෂණය එකම විදියට, එකම තැනක, එකම ප්‍රතිඵල ඇති කරන කාර්යයක් නොවෙයි. සිදුවිය හැකි විවිධ දූෂණ තත්ත්ව සහ ඒවා ඇති කරන ප්‍රතිඵලත්, දූෂණ තත්ත්ව අඩු කිරීමට ගත හැකි පියවරත් අද අපි සොයා බලමු. පසට, ජලයට සහ වාතයට එක් වී ජීවින්ට හිරිහැරකාරී සහ හානිවන ආකාරයෙන් ක්‍රියාත්මක වන රසායනික හා ආලෝකය, තාපය හා ශබ්දය ආදී ශක්තීන් බොහෝ දූෂණය ඇති කරන කාරක ලෙස හඳුනාගෙන ඇත.

වායු දූෂණය

වාහනවලින් පිටවන වායුව, කර්මාන්තශාලා වලින් පිටවන දුමාරය,කසළ පිලිස්සීමෙන් බැහැර වන දුමාරය, වාතයට එක්වන දූවිලි ඇතුළු විවිධ අංශු නිසා වායු දූෂණය ඇති වෙයි. නාසය, ශ්වාසනාල, උගුර, පෙනහළු, හෘදය සහ සම ඇතුළු ශරීරයේ ඉන්ද්‍රිය ගණනාවකට වායු දූෂණය අහිතකරව බලපායි. විෂ දුමාරය අඩු ඉන්ධන, ජෛව ඉන්ධන,සුළං වල සහ සූර්ය බලය යොදා ගැනීම, සූර්ය පැනල වහල මත සවිකර නිවෙසට අවශ්‍ය විදුලිය ලබා ගැනීම, කැළි - කසළ පිළිස්සීම නොකර වළලා දැමීම, එරෝසෝල් ස්පේ‍්‍ර භාවිතය නොකිරීම මෙම දූෂණය අවම කිරිමට උදව් වෙයි.

ආලෝක දූෂණය

පියයුරු පිළිකා අවදානම ඉහළ නැගීම, වෙනත් පිළිකාවල වර්ධන වේගය ඉහළ දැමීම, ජානමය හානි ඇතිවීම, පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීම, ස්ථුලතාවය (තරබාරුව), දියවැඩියා අවදානම නැංවීම, මනෝ භාව වෙනස්කම් හා විෂාදය ඇතිවීම යනාදී සෞඛ්‍ය අවදානම් කෘත්‍රිම ආලෝක දූෂණය මඟින් ඇතිවන සෞඛ්‍ය තර්ජන අතර පවතියි.

අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, තිව්‍ර (සැර) ආලෝකය ලබාදෙන විදුලි පහන් වෙනුවට සෞඛ්‍ය ආලෝකය සපයන පහන් භාවිතය, යනාදිය මෙම දූෂණය පහළ දැමීමට උදව් කරගත හැක.

ශබ්ද දූෂණයට

වාහන එන්ජින් සහ නලා හඬ මඟින් ඇති කරන ශබ්දය, කර්මාන්ත යන්ත්‍ර සුත්‍ර, ශබ්ද විකාශන මඟින් ඇසෙන සංගීත හා වෙනත් ශබ්ද, කළුගල් බිඳීම සඳහා වෙඩි යෙදීම ඇතුළු කනට ඔරොත්තු නොදෙන තරමට ඇති කරන මහා ශබ්ද කන්දරාව ශබ්ද දූෂණයට හේතු වෙයි.

කන් ඇසීම අඩුවීම, කනෙන් ශබ්ද හට ගැනීම , ආතතිය, හෘදයාබාධ, නින්දට බාධා ඇති කිරීම, ප්‍රතිශක්ති පද්ධතියට හානි කිරීම, උපත් ආබාධ, ඇති කිරීමට මෙන්ම මාර්ග අනතුරු ඇතුළු හදිසි අනතුරු වැඩි කිරීමටත් අධික ශබ්දය බලපායි. තරහයාම, ගැටිති ඇති කර ගැනීම වැනි නොසන්සුන්තා ඇති කිරීමටත් ශබ්ද දූෂණය ඉවහල් වෙයි.

ශබ්ද විකාශන යන්ත්‍ර හා ගුවන් විදුලි හඬ අඩු කිරීම, වාහන එන්ජිම ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම, වාහන නලා ශබ්ද අඩු කිරීම, “හෙඩ්ෆෝන්” භාවිතය, යන්ත්‍ර සූත්‍ර වලින් නැඟෙන ශබ්ද පාලනය මඟින් බාහිර පරිසරයට එක්වන ශබ්දය අඩු කළ හැකිය. එසේම අධික ශබ්දය සහිත තැන්වල වැඩ කරන අයට කර්ණනාල ආවරණ භාවිත කිරීම ද සුදුසුය.

පස හා ජල දූෂණය

කෘත්‍රිම පොහොර, කෘත්‍රිම රසායනික භාවිතය, කර්මාන්තශාලාවලින් බැහැරවන අපද්‍රව්‍ය, කැළි කසළ, මල මුත්‍රා වැනි අපද්‍රව්‍ය ආදී බොහෝ සාධක පස සහ ජලය දූෂණය කිරීමට සමත් වෙයි.

අක්මාව, වකුගඩු, ආමාශය ආදී ඉන්ද්‍රිය රැසකට හානි කිරීමට සමත් මෙම දූෂක ආහාර මාර්ග පද්ධතියේ හා සමේ රෝග ගණනාවකට ද හේතු කාරක වෙයි.

විවිධ අපද්‍රව්‍ය පස සහ ජලය වෙත යොමු නොකිරීම, රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය අවම කිරීම, ගෙවත්ත හා වටපිටාව පිරිසිදුව තබා ගැනීම, කර්මාන්තශාලා අපද්‍රව්‍ය ඇතුළු සියළු අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීම මෙම දූෂණ තත්ත්වයන් වළක්වා ගත හැකිය. පානිය ජලය උතුරුවා නිවා පානය කිරීම ද මෙම දූෂණ සෞඛ්‍යයට හානි කිරීම වළක්වාලයි.