මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව සමඟ එන වෛරස් උණ

මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව සමඟ එන වෛරස් උණ

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා

දූ දරුවන්ගේ දාංගලය, මවුපියන්ගේ සිතට එක් කරන්නේ නිම්හිම් නැති සතුටක්, ඒ නිසාම දරුවෙක් උපන්දා පටන් ආරක්ෂාව, රැකවරණය, සුවසෙත සලසමින් මාපියන් අප්‍රමාණ කැපවීම් කරන්නේ දරු සෙනෙහස නිම්හිම් නැති විදිහට අත්විඳගන්නයි.

මවුපියන් ප්‍රාණය මෙන් ආදරය කරන පොඩිත්තකුට ලෙඩක් දුකක් වැලඳුණොත් මවුපියන්ගේ හිතට නිවනක් නෑ. ඒ නිසාම හිත පිරෙන්න ආදරය කළාට මදි. ඔවුන්ට යහපත් සෞඛ්‍ය පුරුදුත් කියා දෙන්නට වගබලා ගැනීම ඔබේ යුතුකමක්. දූ දරුවන් පාසලේ පන්තියේ, ක්‍රීඩා පිටියේ. මඟතොටේ ගැවසෙන කාලයයි මේ, ඒ නිසා මවුපියන්ට වෙනදාට වඩා දරුවන් කෙරෙහි වැඩි විමසිල්ලකින් කටයුතු කරන්න සිදුවී තිබෙනවා.

මේ දවස්වල පැතිරෙන ඩෙංගු උණ, වෛරස් උණ, මී උණ ආදී රෝග තත්ත්වයන් නිසා, මවුපියන් සිටින්නේ් තරමක් බියෙන් සැකයෙන්.

ඩෙංගු පමණක් නොවෙයි. වෛරස් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව හිස ඔසවන්නට පටන් අරන්, උණ සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍යයෙන් බොහෝ දරුවන්ට වැලදෙන නිසා ඇතැම් මවුපියන් ඒ ගැන තැකීමක් නොකරන්නට පුළුවන්.

එහෙත් දරුවකුට වැලඳුණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව කල් පවතින්නේ නම් එය වෛරස් උණ වන්නට පුළුවනි. සාමාන්‍යයෙන් ඩෙංගු රෝග තත්ත්වය ගැන සැක ඇති කරගන්නේ උණ දින තුන හතරක් පැවතුණොත් පමණයි. වෛරස් උණ රෝගයත් එලෙසයි.

එසේම ඕනෑම රෝගයක් ඇතිවන්නට පෙර එය වළක්වා ගැනීම, වැඩිහිටියන් වශයෙන් ඔබ ගත යුතු හොඳම පියවරයි. අද දරුවන්ට ඇතිවන බොහෝ රෝගී තත්ත්වයන්ට වගකිව යුත්තේ මවුපියන්ය. ඔවුන් එක් එක් ආකාරයෙන් තම දුවා දරුවන්ට ආදරය කළත් බොහෝ වෙලාවට හොඳ සෞඛ්‍ය පුරුදු කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ නෑ. සෙම්ප්‍රතිශ්‍යාව සමඟ ඇතිවන වෛරස් උණ රෝගයට බොහෝ විට හේතුවෙන්නේ පරිසරයේ බලපෑම, දූවිල්ල, වාතය, ජලය මෙන්ම, වෛරසය ආසාදිත වූ කෙනෙකු නිසා මෙම වෛරස් රෝගය බෝවීමට ඉඩ තිබීමයි. බොහෝ මවුපියන් අප දැක තිබෙන්නේ විෂබීජවලින් දරුවන් ආරක්ෂා කරන්න ගන්නා පියවර ප්‍රමාණවත් නැති බවයි. උදාහරණයක් ලෙස නිවසක වැසිකිළිය ප්‍රධාන වශයෙන් රෝග ඇතිකරන ස්ථානයක් බව පෙනෙන්නට තිබේ.

අද සමාජයේ දරුවකුට ඉහළම වටිනාකමක් ලැබෙන්නේ ඔහුගේ නිරෝගී පැවැත්ම අනුවයි. එමෙන්ම දරුවක් ජීවිතයේ ඉලක්කයන් කරා ගෙනයන්නට නම් ඔහු සෞඛ්‍ය සම්පන්න දරුවක් විය යුතුය. එසේ නොමැති දරුවකුට අනාගතය වෙනුවෙන් ඇප කැප වෙන්නට සුදුසු යහපත් මානසිකත්වයක් ඇතිකරගන්නට අවස්ථාවක් නැහැ. මේ නිසා අද වන විට මවුපියන් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. එකක් සමාජයෙන් ඔවුන් රැකගැනීමයි. දෙවැන්න රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා කිරීමයි. සමාජය විෂමවන්නාසේම පරිසරය ද අපවිත්‍ර වන හෙයින් දිනෙන් දිනම කාලයෙන් කාලයට විවිධ රෝගයන් ද හිස ඔසවන ස්වභාවයක් දක්නට ඇත. එවැනි තත්ත්වයන්ගෙන් ඔබේ ආදරණීය දරුවන් ඈත්කර තබන්නට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගය හඳුනාගැනීම එය හටගන්නා ආකාරය. මෙන්ම රෝගය වැලඳුණු දරුවකු රැකබලා ගැනීම පිළිබඳවත් නිවැරැදිව අපි දැනුවත් වෙමු.

රෝගයේ ස්වභාවය

මෙම වෛරස් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සුළු විෂ බීජයකින් පවා බෝ විය හැකියි. එය වැලඳුණු රෝගියකු පරිහරණය කරන පිඟන්, කෝප්ප වැනි දෑ මඟින් ද පහසුවෙන් රෝගය බෝවීමට පුළුවන්. වෛරස් උණ තත්ත්වයේ දී දරුවකුට තද උණ හට ගැනීමටද, නිතර නිතර නාසයෙන් සොටු දියර ගිලින්නට ද ඇඟ සුදුමැලි වීමද, වමනය යාම, බඩඑළියයෑම වැනි රෝග ලක්ෂණ ද දක්නට ලැබේ. විශේෂයෙන් දරුවන්ට කෑම අරුචිය හා හුස්ම ගැනීමේ අපහසුතා ද ඇතිවේ. මෙම තත්ත්වය දින තුනකට වඩා පැවතියහොත් රෝග තත්ත්වය භයානක වීමට ඉඩ ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

එමෙන්ම දරුවාට අවශ්‍ය විවේකය ලබා දී එම දරුවා අන් දරුවන්ගෙන් වෙන්කර තැබීමටත් පියවර ගත යුතුය.

වෛරස් රෝගයෙන් ඔබේ දරුවා පරෙස්සම් කිරීමේ එකම මඟ වන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කිරීමයි. ඒ අතරින් දරුවෙක් පාසල් ගොස් පැමිණි පසු මුහුණකට සෝදා පවිත්‍රවීමේ පුරුද්ද ඇති කිරීම ඉතා වැදගත්ය. එමෙන්ම ක්‍රීඩා කටයුතු වල නියැලෙන්නේ නම් මෙවැනි පුරුදු රෝගවලින් මෑත් වී සිටීමට බෙහෙවින් ඉවහල් වෙයි.

සෑම නිවෙසකම දරුවකුට වෙන් වූ පිඟානක් හා කොප්පයක් තුවායක් පරිහරණය කිරීමේ පුරුද්ද ඇතිකිරීම වැදගත්ය.

වෙළෙඳ සැල්වලින් ආහාරපාන ලබාදීමේ දී ඒවායෙහි පිරිසුදු භාවය ගැන සිතීම ද මවුපියන්ගේ වගකීමකි. ගමනක්. බිමනක් යන විට ආහාර පාන හැකි තරම් නිවෙසින්ම පිළියෙළ කරගෙන යෑම ඉතා යහපත් සෞඛ්‍ය පුරුද්දකි. විශේෂයෙන්ම තැන් තැන්වල ඇති කඩපිල්වලින් දරුවන්ට පානය සඳහා ජලය ලබාදීමෙන් වැළකිය යුතුයි.

වෛරස් උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු බව දැනගත්විට ඔබ කළ යුතු වන්නේ හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමය. උණ රෝගය දින තුනකට වඩා පැවතුණහොත් ඩෙංගු රෝගය පිළිබඳ සැකය ද ඇතිවන බැවින් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යයි.

වෛරස් රෝගය ඇති වූ දරුවකු වතුරෙන් ප්‍රවේශම් කර තැබීම ඉතා වැදගත් පියවරක්. මෙම වෛරස් උණ රෝගය සමඟ තද සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන හෙයින් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඔබ නොදැනීම නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් දරුවා පරෙස්සම් කිරීමට වගබලා ගත යුතුව තිබේ.