දියවැඩියාවට විතරක් නොවෙයි රෝග ගණනාවකටම ඇඹරැල්ලා හොඳයි

දියවැඩියාවට විතරක් නොවෙයි රෝග ගණනාවකටම ඇඹරැල්ලා හොඳයි

උපදෙස් - බොරැල්ල ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

පලතුරු වාරේ ඇවිත් නිසා හැමතැනම දකින්න ඇත්තේ විසිතුරු පාට පාට ගෙඩි. කොළ පාටින් සරුවට හැදෙන ඇඔරැල්ලාත් මේ අතර දකින්නට පුළුවන්. විශේෂ පලතුරක්. එහෙම කිව්වම කටට කෙළ උනන්නෙ ඒකෙ ඇඹුල් ගතිය තදින්ම දැනෙන නිසයි. මේවා රසට කවුරුත් කන්න කැමති නිසා මෙවර ලිපිය සැකසෙන්නේ ඇඔරැල්ලා ගැනයි. ඕනෑම පලතුරක පවතින ගුණාත්මක භාවය වගේම ප්‍රයෝජන රාශියක් මේ ඇඔරැල්ලාවලද පවතිනවා. ඉදුණු පසු ඇඔරැල්ලා ඉතා රසවත් නිසා කවුරුත් කෑමට පි‍්‍රයයි. නමුත් අඩක් පැසුණු පසු ඇත්තේ වෙනමම ඇඹුල් රසයක්. බොහෝදෙනා ඒ රසයට ද කැමතියි. එබැවින් ඇඔරැල්ලා වැඩි කොටසක් ඉදෙනකම් ගහේ තියෙන්නෙ නැහැ. අමුවට හෝ භාගෙට පැහෙන කොට අච්චාරු, චට්නි වර්ග, දෝසි හෝ ඇඹුලට කන්න කඩා ගන්නව. මෙවැනි ප්‍රයෝජන රාශියක් ඇති ඇඔරැල්ලාවල ගුණාත්මක භාවය හා එහි අහිතකරභාවය ගැන බොරැල්ල ආයුර්වේද විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම අපව දැනුවත් කලේ මෙසේයි.

කැස්සට ඇඔරැල්ලා

සුව නොවන කැස්ස ඇතිවිට ඇඔරැල්ලා ගෙඩියක් සුද්ද කර එය සෝදා ගෑරුප්පුවෙන් ඇන ගසා ගන්න. ගසාගත් ඇඔරැල්ලා ටික මී පැණි සමඟ කෑමෙන් කැස්ස නැති වී යයි.

දියවැඩියාවට ගුණයි

ඇඔරැල්ලා ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අවම වේ. දියවැඩියාව කිසිලෙසකින් වැඩිවීමක් සිදු නොවේ. ඇඔරැල්ලා ගෙඩි කෑම දියවැඩියාවට ගුණ දෙයි. සීනි පාලනයට සුදුසු වෙයි.

ගුණදෙන අවස්ථා

වාත වේදනාව නැති කරයි. දණහිස් වේදනා නැති කරයි. දණහිසේ ඉදිමුම අවම කරයි. ශරීරයේ ස්නායු ශක්තිමත් කරයි. පෙනහළුවලට ගුණදායකයි. ශරීරයේ ශක්තිය වැඩි කරයි. බලය වැඩි කරයි. අධික රුධිර පීඩනය පාලනය කරයි. හෘදයට හිතකරයි. කොලෙස්ටරෝල් අඩු කරන ගුණයක් ඇත. බඩ පිපුම දුරු කරයි. කෑම අරුචිය ඇති අයගේ කෑම රුචිය වැඩි කරයි. වැඩෙන වයසේ දරුවන්ගේ අස්ථි ශක්තිමත් කරයි. දත් ශක්තිමත් කරයි. එබැවින් වැඩෙන ළමයින්ට දීමට සුදුසුයි. අධික තරබාරුව දුරු කරයි. ඇස්වල දීප්තිමත් භාවය වැඩි කරයි. පෙනීම වැඩි දියුණු කරයි. මාංෂ පේශිවල වේදනාව දුරු කරයි. දත් සවිමත් කරයි. කැක්කුම් දුරු කරයි. අලස බව දුරු කරයි.

ඇඔරැල්ලා ආහාරයට ගැනීම නිසා

සිරුර පැහැපත් කරයි. මනා පෙනුමක් ලබා දෙයි. ප්‍රෝටීන, යකඩ, පොස්පරස්, විටමින් සී, තයමින් සහ ජලය අඩංගුව පවතින බැවින් ඕනෑම වයසේ අයෙකුට සුදුසුයි. මල බද්ධය දුරු කරයි. ආහාර හොඳින් දිරවයි. මල බුරුල් වේ. කටහඬ මිහිරි කරයි. ප්‍රමාණවත් වන ලෙස ආහාරයට ගැනීම ගුණදායක වෙයි.

අසාත්මික වන අවස්ථා

ඇඔරැල්ලා වැඩිපුර ආහාරය ගැනීම සුදුසු නැත. එහිදි බඩ පපුව දැවිල්ල, උගුරකට වන වීම, කුෂ්ට හෝ දිව තුවාල වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකියි. එසේම චර්ම රෝග ද ඇතිවීමට පුළුවන. කටේ තුවාල ඇති අය ඇඔරැල්ලා කෑමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය වේ.

වෙහෙස නිවන්නට හොඳම ඇඔරැල්ලා

ක්‍රීඩාවේ යෙදෙන අයට ඇඔරැල්ලා හොඳ ගුණවත් කෑමකි. මෙහි ජලය අඩංගු වන බැවින් ජල අවශ්‍යතාවය ද ඉටු වේ. එසේම වෙහෙස නිවාගත හැකියි. සිරුරට සැහැල්ලුවවක් දැනේ. මනස ප්‍රබෝධමත්ව තබයි.

ආම්ලික බව

ඇඔරැල්ලා පලතුරක් මෙන්ම රසවත් ව්‍යංජනයක් ලෙස සාදා ආහාරයට ගත හැකියි. ඇඔරැල්ලා පිසීමේදී සීනි ටිකක් දැමීම එහි පවතින ආම්ලික බව දුරු වී යයි.

ඖෂධයක් ලෙස

විඩාව, පිපාසය සංසිදුවන ඇඔරැල්ලා බොහෝ ලෙඩ රෝග වලට ඖෂධයක් ද වෙයි. සමේ රෝගවලට සුදුසු ඇඔරැල්ලා උණ නසයි. පිත වඩයි. ආමාශගත දැවිලි සමනය කරයි. දේශීය ඖෂධ සඳහා ගනු ලබන්නේ විශාල ගසක් සහිතව වැවෙන ඇඔරැල්ලා වර්ගයකි. නමුත් පෝචිචිවල වගා කරන ඇඔරැල්ලා ගුණයෙන් අඩු බව සඳහන් වේ.