හදවත ගැහෙන වේගය වෙනස්වීම භයානක තත්ත්වයක්ද?

හදවත ගැහෙන වේගය වෙනස්වීම භයානක තත්ත්වයක්ද?

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ

හෘද රිද්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරේෂ් කෝට්ටේගොඩ

හෘදය වස්තුව ගැහෙන වේගයේ වෙනස්වීම් ඇතැම් දෙනෙක් මුහුණදෙන සෞඛ්‍ය ගැටලුවක්. මෙහි අවස්ථාවන් කීපයක්ම තිබෙනවා. ඒ පිළිබඳව විස්තරාත්මකව දැන ගැනීමට පෙර හෘදය ගැහෙන වේගය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්. අපගේ හෘදය වස්තුව ගැහෙන වාර ගණන විනාඩියකට 70 -72 වාරයක් ලෙසයි සඳහන් වෙන්නේ. එසේ වුවත් නිරෝගිමත් පුද්ගලයකුගේ එම වාර ගණන 60 -100 අතර අගයක් විය හැකියි. මෙම අගය 60ට වඩා අඩු වුවොත් එය ගැටලුවක්. එය Bradycardia ලෙස හඳුන්වනවා. එසේම මෙම අගය 100ට වඩා වැඩි වුවොත් එයත් ගැටලුවක්. එය Bradycardia  ලෙස හඳුන්වනවා. හෘදයේ රිද්මය අසාමාන්‍ය වීම තවත් ගැටලුවක්.

හෘදය ගැහෙන වේගය අඩු වීම Bradycardia

වයසට යාමත් සමඟ හෘදය ගැහෙන වේගය විනාඩියකට වාර 60 කට වඩා අඩු වීම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි පුද්ගලයකුගේ මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් වන්නේ හෘදය ගැහෙන වේගය අඩු වීමත් සමඟම අධික මහන්සිය, ක්ලාන්තය, කරකැවිල්ල වැනි ලක්ෂණ පෙන්නුම් කෙරෙන විටයි. වයස අවුරුදු 55, 60 පමණ වනවිට ගොඩනැගිල්ලක පඩිපෙළක් නැඟීම වැනි දෙයකදී යමෙකුට මහන්සියක් කරකැවිල්ලක් දැනේ නම්, බොහෝදෙනෙකු සිතීමට පෙළඹී සිටින්නේ එය වයසට යාමත් සමඟ ඇතිවන තත්ත්වයක් ලෙසයි. එහෙත් එය වයසට යාම නිසාම ඇති වූ තත්ත්වයක් ලෙස සැළකිය නොහැකියි. මෙය සිදුවන්නේ හෘදය ගැහෙන වේගය අඩු නිසා ශරීරයේ පටකවලට රුධිරය ගමන් කිරීමට අවශ්‍ය කාර්යක්ෂමතාවය නැතිවීම නිසයි. එසේම යමෙකු තුළ නිතර ක්ලාන්තය, කරකැවිල්ල, බිම ඇදවැටීම වැනි තත්ත්වයක් ඇති වෙයි නම්, එයට හේතුව හෘදය ගැහෙන වේගය අඩු වීම නිසා මොළයට රුධිරය ගමන් කිරීම අඩු වීමයි.

මැදිවියේ සිටින පුද්ගලයෙක් නිවස තුළ හදිසියේම ඇද වැටුණු විට අප පෙළඹී සිටින්නේ කිසියම් දෙයක පය පැටලී බිම ඇද වැටී සිහිය නැතිවෙන්නට ඇතැයි නිගමනය කිරීමටයි. නමුත් ඒ පිළිබඳව සියුම් ලෙස සොයා බැලීමේදී සිහිය නැති වී එම පුද්ගලයා බිම ඇද වැටී ඇති බවත්, සිහිය නැතිවීමට හේතුව, හෘදය ගැහෙන වේගය අඩු නිසා, මොළයට අවශ්‍ය පමණට රුධිරය ගමන් නොකිරීම බවත් පෙනී යනු ඇති.

හෘදය ගැහෙන වේගය වැඩිවීම Bradycardia

මෙහිදී හෘදය ගැහෙන වේගය මිනිත්තුවකට වාර 100 ට වඩා වැඩියි. මෙවැනි තත්ත්වයක් සහිත රෝගීන්ටත් ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණයක් වන්නේ මහන්සිය. හෘදය යනු පොම්පයක්. එය නියමිත වේගයට වඩා වැඩියෙන් වැඩ කරන විට එහි කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එයට හේතු වන්නේ හෘදය නමැති පොම්පය පිරීමට ඇති කාලසීමාව අඩුවීමයි. හෘදය ගැහෙන වේගය වැඩි උදවිය නිතර කියන කාරණයක් වන්නේ “තමන්ගේ පපුව ගැහෙන” බවයි. ඕනෑම කෙනෙක් ටික දුරක් හෝ දුවන විට පපුව වේගයෙන් ගැහීම ස්වභාවිකයි. නමුත් Bradycardia  තත්ත්වයෙන් පෙළෙන උදවියගේ පපුව එකවරම වේගයෙන් ගැහීමට එසේ නොමැති නම් හෘද ස්පන්දන වේගය එකවරම වැඩි වීමට පටන් ගන්නවා. මෙයත් සමඟ ඇතැමුන්ට පපුව ප්‍රදේශයේ වේදනාවක් ද ඇති වීමේ හැකියාව තිබෙනවා. එලෙස වේදනාවක් ඇති වුවොත් වෛද්‍යවරයෙකු වෙත යාමට බොහෝදෙනෙක් පෙළඹුණත්, පපුව ගැහෙන වේගය වැඩි වූ පමණින් බොහෝදෙනෙක් වෛද්‍ය උපදෙස් පැතීමට පෙළඹෙන්නේ නෑ.

හෘදය ගැහෙන වේගය පිළිබඳව ඇතිවන තුන්වැනි ගැටලුව වන්නේ හෘදය ගැහෙන රිද්මයේ අක්‍රමවත් බවයි. මෙහිදී අධික මහන්සිය, පපුවේ ගැස්ම වැනි මූලික රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. එසේම මෙහිදී මෙම රෝගීන් මොළයේ රුධිර කැටි සිරවීම (stroke  - ආඝාතය) නමැති තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව තිබෙනවා. එයට හේතුවන්නේ හෘදය ගැහෙන අක්‍රමවත් බව නිසා හෘදයේ ඉහළ කුටීරවල (කර්නිකා) රුධිර කැට ඇති වී එම රුධිර කැට වලින් කුඩා කොටස් ගැල වී මොළය දක්වා ගමන් කිරීමේ හැකියාව තිබීමයි. මෙය ඉතාම භයානක තත්ත්වයක්. මෙය වර්තමානයේදී වයස අවුරුදු 40 -50 අතරේ පසුවන උදවියගේ පවා ඇතිවන බව පෙනී යනවා. එයට හේතු කීපයක්ම බලපා තිබෙනවා. අධික ස්ථුලබව, තෙල්, සීනි, ලුණු අධික ආහාර ගැනීම, අධි රුධිර පීඩනය මෙන්ම මානසික ආතතිය (stress) ඒ අතර වෙනවා. මානසික ආතතිය වැඩි වනවිට මානසික ආතති හෝර්මෝන වර්ග ශරීරයෙන් ශ්‍රාවය වීම වැඩි වෙනවා. මෙය හෘදයේ රිද්මය අක්‍රමවත් වීමටත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආඝාතයට ගොදුරු වීමටත් හේතුවෙනවා.

මීට ඉහතදීත් සඳහන් කලාක් මෙන්, අධික මහන්සිය, විටින් විට හැදෙන ක්ලාන්තය, කරකැවිල්ල තිබේ නම්, එක් අවස්ථාවකදී හෝ විශේෂ හේතුවක් නොමැතිව සිහි මුර්ජා වීමක් සිදු වී ඇත්නම්, විවේකයෙන් සිටින වේලාවන් හිදී පපුවේ ගැස්ම ඒ නම්, පපුව මැද ඇතිවන කැක්කුම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහා පවුලේ වෛද්‍යවරයා හෝ හමු වී පරීක්ෂා කරගත යුතුයි. එහිදී ඊ.සී.ජී පරීක්ෂාවකින් හෘද රිද්මයේ ගැටලු තිබේ නම් මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකියි. මෙවැනි රෝගීන් අද සමාජයේ බහුල වුවත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ 5% ක් වැනි සුළු පිරිසක් පමණයි. නමුත් මූලික පරීක්ෂණ කීපයකින් පසුව මෙම රෝගී තත්ත්වයන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සාර්ථකව ශ්‍රී ලංකාව තුළදීම සිදු කළ හැකියි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ සඳහාම වෙන් වූ සායනයක් පැවැත් වෙනවා.

මීළඟට හෘද රිද්මයේ අක්‍රමවත් බව සඳහා වන වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව තොරතුරු සොයා බලමු.