ගෙදර හීලෑ බල්ලා වුණත් සපා කන්න පුළුවන්

ගෙදර හීලෑ බල්ලා වුණත් සපා කන්න පුළුවන්

කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය

තුෂාන් බෙනරගම

බලු සුරතලුන් හා නිවෙසේ සාමාජිකයන් අතර තිබෙන්නේ මොනතරම් අපූරු බැඳීමක් ද? සමහර විටෙක ඒ බැඳීම් අවුරුදු ගණන් පැරණි විය හැකිය. ඉතා විශ්වාසසවන්ත විය හැකිය. නමුත් ඒ විශ්වාසය නිසාම අනපේක්ෂිත මොහොතකදි බලු සුරතලුන් වෙතින් අනතුරට ලක්වන අවස්ථා ඉතා බහුලව හඳුනාගත හැක. ඊට හේතුව කුමක්ද? ඉතාමත් විශ්වාසවන්තව නිවසේම ඇති දැඩි කරන බල්ලන් පවා හුරු පුරුදු රැකබලාගන්නන් සපා කන්නේ ඇයි?

අපට බහුලව හඳුනාගත හැකි සිදුවීමක් නම් නිවසේ ඇති දැඩි කරන බල්ලන් හට වඩාත් සමීපව සිටින කුඩා දරුවන්ව සපා කන අවස්ථාය.

කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගම මහතා ඒ පිළිබඳ දැක්වූ අදහස් මෙසේය.

බොහෝවිට කුඩා දරුවන් තමයි නිවෙසේ ඇති කරන බල්ලන් සමඟ වැඩිපුර ඇසුරට යන්නේ. දරුවන් බල්ලන් සමඟ සෙල්ලම් කරනවා. උන්ගේ කනට ඇඟිලි දමනවා. කටට අත දමනවා. එසේම බල්ලන් සමඟ සෙල්ලම් කළ ද නොකළ ද ඕනෑම මොහොතක බල්ලන් හපා කෑමක් සිදු කළ හැකියි. විශේෂයෙන්ම කුඩා දරුවන් හට මේ පිළිබඳ වැටහීමක් නැහැ.

ඇල්සේෂන්, Pit Bull Terrier, Bullmastiff, doberman pinscher වැනි ප්‍රමාණයෙන් විශාල බලු විශේෂ අපට නිවෙස්වල දැකගත හැකියි.

වෙනත් රටවල නම් යම් බලු විශේෂ ඇති දැඩි කිරීමට අවසර ගැනීමේ ක්‍රමවේදයක් ඇත. එසේම නිවෙස්වල ඇති දැඩි කිරීමට තහනම් බලු විශේෂ ද ඇත.

තවද බල්ලකු විසින් පැන සපා කෑමේදී බොහෝදුරට අනතුරට ගොදුරුවන්නේ මුහුණය. එසේම නහය, කට, කන, ඇස මේ ඕනෑම ස්ථානයක් බල්ලාගේ සපා කෑමට ලක්විය හැක. මෙහිදී ඇතිවන තුවාලයේ බරපතලකම අනුව කැළැල් ඇතිවිය හැක. ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව ඉතිරි වන කැළැල් 100% ක් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව නැත. නමුත් ප්‍රතිකාරයේදී හැකි කරම් කැළල අවම වන ආකාරයෙන් ප්‍රතිකාර කිරීම සිදු වේ. බොහෝවිට මෙවැනි අනපේක්ෂිත අනතුරක් නිසා ඇසට ස්ථීර තුවාල සිදුවිය හැක.

මෙවැනි හේතුන් මත විශේෂයෙන්ම කුඩා දරුවන් ලොකු බල්ලන් සමඟ ඇසුරට යොමු කිරීම හැකිතාක් වැළැක්විය යුතුය. එසේම මෙවැනි බල්ලන් සිටින අසල්වැසි නිවෙස්වලට කුඩා දරුවන් යැවීම වැළැක්විය යුතුය.

සුනඛයන් හා මිනිසා අතර බැඳීම ඈත අතීතය තෙක් දිවෙන බව අපි දනිමු. එබැවින් බල්ලන් විශ්වාසවන්ත සතුන් ලෙස අපි හැමවිටම හඳුනා ගනිමු. එනමුත් බල්ලන් කිසිදු අවස්ථාවක සපා නොකයි යන විශ්වාසය සහතික කළ නොහැක. අවුරුදු ගණන් නිවසේ ඉතා මිත්‍රශිලීව හැදී වැඩුණ ද ඕනෑම මොහොතක බල්ලකු විසින් නිවසේ හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු පවා සපා කෑමේ හැකියාව සහිතය.

විශේෂයෙන්ම නිවසට පැමිණි අලුත් සාමාජිකයකු එසේත් නැතිනම් නිවසේ සිටින අලුත උපන් බිළිඳකුට අවධානය යොමු වීම වැනි කවර හේතුවක් මත හෝ නිවසේ සාමාජිකයන්ගේ අවධානය යොමුවන කල බල්ලන් හට එය හොඳින් වැටහේ. එවැනි අවස්ථාවල බල්ලන් හට නැවත ඒ අවධානය තමා වෙත යොමු කරවා ගැනීමේ අවශ්‍යතාව තදින් පවතී. එවිට බල්ලන් අවධානය දිනා ගැනීමට යම් යම් අයුරින් උත්සාහ දරයි.

තවද ඉහත දැක්වූ ආකාරයේ බඳු විශේෂ සපා කෑ විගස උන්ගේ මුඛය තදින් වැසී සවි වේ. එවැනි අවස්ථාවලදී ද සිදුවන අනතුර වඩාත් බරපතළ තත්ත්වයකට පත්විය හැක.

එබැවින් මෙවැනි අනතුරු අවමකර ගැනීමට හෝ වළක්වා ගැනීමට නිරන්තරයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ. කිසිවිටෙක බල්ලා නිවසේ ඇති දැඩි වන හීලෑ සතකු බව සලකා හෝ විශ්වාසකර උන්ට වඩාත් සමීප වීමට හෝ අනවශ්‍ය ආකාරයෙන් හිරිහැර කිරීමට හෝ කටයුතු නොකළ යුතුය.

බලු සුරතලුන් අපේ මනස සුවපත් කරන බව සැබෑය. නමුත් ඒ සෑමවිටකම අප සැලකිලිමත් හා ප්‍රවේසම් විය යුතුමය.

විශේෂයෙන්ම කුඩා දරුවන් මෙවැනි බල්ලන් සමඟ ගැවසීමේදී කල්පනාකාරී විය යුතුය.

සමහර විටෙක මෙවන් අනපේක්ෂිත අනතුරක් නිසා ඇතිවන ප්‍රතිඵලය ජීවිත කාලයටම බලපෑ හැක. මෙවැනි අනතුරු නිසා ඇතිවන කැළැල් 100%ක් සැකසිය නොහැකි වේ. කළ හැක්කේ කැළැල් උපරිමව අවම වන ලෙස ප්‍රතිකාර සිදු කිරීම පමණය.

බලු සුරතලුන් අපගේ මනස සුවපත් කරයි. අපි උන්ට කරුණාවන්ත වෙමු. රැකබලා ගනිමු. එනමුත් සැමවිටම අපගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වෙමු.