සිතේ ලෙඩේ, ගතින් පෙන්නුම් කෙරන හැටි

සිතේ ලෙඩේ, ගතින් පෙන්නුම් කෙරන හැටි

ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියූනගේ

රාජ්‍ය ආයතනයක සේවය කරන නිලූකා විවාහක කාන්තාවක්. නිරන්තරයෙන්ම විවිධාකාර වූ ශාරීරික රෝග තත්ත්ව පමණක් නොවේ රෝග බිය, අවිශ්වාසය වැනි විවිධාකාර ගැටලු වලින් ඇය පීඩාවට ලක් වූවා. විවිධ කායික රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කළත් ඒ කිසිවකින් ඇගේ රෝගී තත්ත්වය හඳුනා ගන්නට නොහැකි වූවා. කායික රෝග වෛද්‍යවරු පැවසුවේ ඇයට කිසිදු රෝගයක් නොමැති බවයි. අවසානයේදී ඇයව යොමු කෙරුණේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙතයි.

මානසික හේතු නිසා කායික රෝග ඇති වුණත් ඇතැම් අය ඒවා නොපිළිගන්නේ ඇයි?

විවිධාකාර මානසික රෝග තත්ත්ව නිසා කායිකව රෝගී වන පිරිස් මේ වනවිට සමාජය තුළ ඉතා සුලබයි. නමුත් තමා මුහුණ දි සිටින තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැතිකමින් ඔවුන් ඉතා දුක් බරව ජිවිතය ගත කරනු ලැබේ. තමාගේ කායික සෞඛ්‍ය දුබල විම මානසික සෞඛ්‍ය දුබලවීම නිසා සිදු වූ බව පිළිගැනීමට පවා ඔවුන් අකමැතිය. කායික රෝග පිළිබඳ වෛද්‍යවරු මෙවැනි තත්ත්ව පැහැදිලිව හඳුනාගෙන මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා අදාළ පුද්ගලයන් යොමු කළත් ඔවුන් ඊට දැඩි සේ අකමැති වේ. ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ මෙවන් තත්ත්වවලදී සිදු කෙරෙන මනෝ වෛද්‍යමය ප්‍රතිකාර උමතුව එසේත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පිස්සුවට ප්‍රතිකාර ගැනීමක් ලෙස පිළිගැනීමයි. නමුත් අදාළ ගැටලුවලට නිසි ප්‍රතිකාර නොලැබුණොත් තත්ත්වය තව තවත් බරපතළ වනු ඇත.

මනස රෝගී විම, තමාගේ ජීවිතයේ ප්‍රශ්නවලට විසඳුම් නොමැති වීම, පෞරුෂ දුර්වලතා, අනවබෝධය වගේම පෙර පැහැදිලි කළ පරිදි තත්ත්වය තව තවත් වර්ධනය කර වීමට හේතු වනු ඇත. දිගින් දිගටම මනසට ඇති කරන මෙම බලපෑම අවසානයේ දරුණු කායික රෝග අවස්ථාවන් දක්වා වර්ධනය විය හැකියි. උදාහරණයක් ලෙස මානසික ආතතිය හෘද රෝග ඇති වීමට හේතුවක් වශයෙන් හඳුනාගෙන තිබේ.

ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිද?

කෙසේ හෝ මෙවැනි අයෙකු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කරා යොමු වුණත් එමඟින් ක්ෂණික ප්‍රතිකාර බලාපොරොත්තු විය නොහැක. මෙසේ මනසට කෙරෙන ප්‍රතිකාර ඉතා අපහසු මෙන්ම ක්‍රමවත්ව හා සූක්ෂමව සිදු කළ යුතුය. ඖෂධ භාවිතා කිරීමක් මෙහිදී සිදු නොවන අතර එම ප්‍රතිකාර සඳහාම විශේෂිත ක්‍රමවේද මෙහිදී භාවිතා වේ.

මෙම ප්‍රතිකාර යටතේදී මනස නිරෝගී කර මනස

තුළ විශේෂිත “මානසික ප්‍රතිශක්තියක්”

(ර්‍ථඩරජඩධතධඨඪජචත ධ්ථථභදඪබර) ඇති කරනු ලැබේ. එමඟින් මනසට ඇතුළු වන විසබීජ නැමති විවිධාකාර වූ අහිතකර සිතුවිලි ඉන් ඉවත් කර දමනු ලැබේ. ඒ වගේම තමාගේ සිතුවිලි නිවැරදි කිරීම, ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීම, ආත්ම ශක්තිය වර්ධනය කිරීම, තමන් පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම, මානසික මෙන්ම කායික චර්යාවන් වෙනස් කිරීම, ශාරීරික සෞඛ්‍ය දියුණු කිරීම, ආත්ම ශක්තිය වර්ධනය කිරීම, ජීවිතයේ ගැටලු නිරාකරණයට අවස්ථාව උදා කරදීම වැනි විශේෂිත ප්‍රතිකාරමය ක්‍රියාවලි රාශියක් මෙහිදී භාවිතා වේ.

ප්‍රතිකාරවලදී සැලකිලිමත් වන බාහිර කරුණු

ඉහත ප්‍රතිකාර ක්‍රමවලදී රෝගියාගේ වයස, ස්ත්‍රී, පුරුෂ භාවය, අධ්‍යාපනික තත්ත්වය රැකියාව පිළිබඳ මූලිකව අවධානය යොමු කරනු ඇත. තවද රෝගියාගේ ශරීරික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඇගයීමක් මූලිකවම ලබා ගත යුතු වේ. එසේම රෝගියාගේ මානසික තත්ත්වය පිළිබඳ ඇගයීමක් ලබා ගත යුතුයි. ඊට අමතරව පසුගිය රෝග තත්ත්වයන් හා ඒවායේ ප්‍රතිකාර පිළිබඳව ද මනා අවබෝධයක් ලබා ගත යුතුයි. තවද අදාළ තැනැත්තාගේ සමාජ තත්ත්වය, ආගමික පසුබිම, ආකල්ප, ආදී වූ කරුණු රාශියක්ම විමසීමට ලක් කර ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.

විශේෂයෙන් මෙම ප්‍රතිකාර සිදු කෙරෙන අතරතුරදී රෝගියාගේ ප්‍රගතිය ඔවුන්ටම අවබෝධ කර දිය යුතුයි. පෙරට වඩා එහි තිබෙන ප්‍රගතිය මැන බැලීමට ක්‍රමවේදයක් ලබාදිය යුතුයි. එමඟින් තමාගේ සුවපත්භාවය පිළිබඳ ආත්ම විශ්වාසයක් තමාටම ගොඩ නඟා ගැනීමට රෝගියාට කෙරෙන උපකාරයකි. කෙසේ වෙතත් එමඟින් ද ප්‍රතිකාර ක්‍රමවත්ව පවත්වාගෙන යා හැකියි. තවද මෙහිදී රෝගියාගේ පවුලේ අයගේ නිරීක්ෂණයන් ද මෙහිදී ඉතා වැදගත් වේ.

මෙම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර මඟින් මානසික සෞඛ්‍ය කායික සෞඛ්‍ය නීරෝගි කර ජීවිතයේ ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් පවත්වා ගනිමින් රෝගී තත්ත්වය නිසා අඩාල වූ ජීවන ක්‍රියාවලි නැවත පුනරුත්ථාපනය හා නැවුම්ව ආරම්භ කරමින් ගුණාත්මක දිවියක් ගත කිරීමට හැකිවනු ඇත. මෙම මනෝ විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියේදී පරිසරය, ආගමික ක්‍රියා, සමාජීය ක්‍රියා, නිර්මාණ කුසලතා වර්ධනය ආශි‍්‍රතව ඇති මනෝ විද්‍යාත්මක හා මනෝ චිකිත්සාමය සාර්ථකත්වය පර්යේෂණ මට්ටමින් ඇගයීමට ලක් කරමින් සාර්ථක ප්‍රතිඵල උදෙසා රෝගීන් යොමු කෙරෙනු ඇත.