එළවළු පලතුරු Fresh වුණත් බෙහෙත් ගහලා නම් ....

එළවළු පලතුරු Fresh වුණත් බෙහෙත් ගහලා නම් ....

ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

ඔබ එළවළු පළතුරු මිල දී ගන්නට ගිය විට එහි මිල පිළිබඳ සැලකිලිමත් වනවා වගේම එහි ගුණාත්මක භාවය පිළිබඳවත් නිතැනින්ම සිතා බලනවා නේද? ඒ නිසාම ඔබේ බෑගය තුළට දමාගන්නේ ඉතාමත් පිරිසුදු නොතැලුණු එළවළු පලතුරු පමණයි. ඇතැම් එළවළු ලස්සනට ලොකුවට තිබු පමණින් අපේ හිත ද ඇදී යනවා. නමුත් හිතේ සතුටින් අතේ බරට රැගෙන එන මෙම එළවළු පළතුරු ආහාරයට එකතු කර ගැනීමට පෙර ඔබ ඒවායේ ගුණාත්මකබව පිළිබඳව සිතුවාද?

සාමාන්‍යයෙන් ඔබ මා අත්දැක ඇති පරිදි එළවළු පළතුරු නෙළා ගත් පසුව දින දෙක තුනක් ගත වන විට මැල වී යනවා පමණක් නොව ඒවා නරක් වීමට ද බොහෝ දුරට ඉඩ තිබෙනවා. එසේ වුවත් වෙළඳපොළෙන් මිලදී ගන්න එළවළු පළතුරු එසේ නොවේ. ඒවා පෘෂ්ටිමත්ව සැලකිය යුතු කාලයක් තිබීම ඇත්තෙන්ම පුදුමය දනවන සුළු කරුණකි.

උදාහරණයක් ලෙස අප රටවල වගා කිරීමට අපහසු ඇපල් දොඩම් වැනි පළතුරු පිළිබඳ සිතා බලන්න. ඒවා අදාළ රටවලින් ආනනයන කරන කාලය අතරතුර මෙන්ම ඉන්පසුවත් මෙරට තුළ යම් සැලකිය යුතු කාලයක් සැරිසරන තුරුත් නොවෙනස්ව තිබීම ඉතාමත් පුදුම සහගත නොවන්නේද? ඒවා මිලදී ගැනීමට මොහොතකට පෙර කැඩු ඒවා තරම් නැවුම් දීප්තියකින් යුතු වීම, සැබැවින්ම පුදුම දනවන සුලු නොවන්නේද? නමුත් එවැනි අලංකාර එළවළු පලතුරු වල සැබෑ කතාව එය නොවේ. ඒවා වෙළෙඳපළට පැමිණෙන මොහොත දක්වා ගත වන කාලය පිළිබඳව හා ඒ නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජන පිළිබඳව අද අපි විමසා බලමු.

ඕනෑම කෘෂි රසායනික ද්‍රව්‍යයක් බෝගයකට යෙදිය යුතු නියමිත කාලයක් තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම බෝගයක අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව වෙළෙඳපළට රැගෙන ඒමට පෙර යම් කිසි කාලයක් අතර මැද අවස්ථාවල ගත කරනු ලැබේ. ඇතැම් කෘෂි රසායානික ද්‍රව්‍ය අවස්වැන්න නෙලීමට දින 7ක් 3ක් ට පෙර යෙදිය යුතුයි. නමුත් ලංකාව තුළ ඒ තත්ත්වය තරමක් අවදානම් මට්ටමක පවතින අතර ඇතැම් විට වෙළෙඳ පළට දැමීමට මොහොතකට පෙරත් ඇතැම් රසායනික ද්‍රව්‍ය යොදනු ලැබේ. ඇතැම් විට මේවා බෝග නෙළන කූඩ වලට පවා යෙදීම ඉතාම කණගාටුවට කරුණක්. ඒ හේතුවෙන් මෙම බෝග වෙළෙඳපල තුළ අලෙවි වන අතර පාරිභෝගිකයා විසින් මේවා මිලදී ගැනීමෙන් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවේ.

කෙසේ වෙතත් මෙසේ යොදනු ලබන සෑම රසායනික ද්‍රව්‍යයකින්ම සමස්තයක් ලෙස සිරුරේ සෑම පද්ධතියකටම බලපෑම් ඇති කරනු ලැබේ. කෘෂි රසායනික ද්‍රව්‍ය අනුව ශරීරයේ තිබෙන පද්ධතීන් වලට ඇති කරන බලපෑම එකින් එකට වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස එක් රසායනිකයකින් ඇට මිදුළු වලට බලපෑමක් ඇතිවිය හැකියි. තවත් අතකින් ස්නායු පද්ධතියට හෘදයට මෙන්ම පෙනහැල්ලට බලපෑම් ඇති විය හැකියි. කෙසේ වෙතත් පොදුවේ ගත් විට සමස්ත ශරීරයටම ඉන් බලපෑමක් ඇති කළත් ඇතැම් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් විශේෂිත ඉන්ද්‍රීය පද්ධති වලට විශේෂ වශයෙන් බලපෑම් ඇති කරනු ලැබේ.

නමුත් මේ වන විට මහා පරිමාණ වශයෙන් බෝග වගා කිරීමේදී එළවළු පලතුරු ඇතුළු බෝග වල අස්වැන්න වැඩිකර ගැනීම මෙන්ම කෘමීන් වල්පැල, පුස්වලින් බැක්ටීරියා වෛරස් හානි අවම කරගැනීම වැනි හේතු මුල්කරගෙන කෘෂි රසායනික ද්‍රව්‍ය යොදනු ලැබේ. නමුත් ගොවිමහතුන් එක් අතකින් තමාගේ ලාභය පමණක්ම අරමුණු කර ගත්තද ඇතිතෙන්ම ඒවා මිලට ගන්නා අයගේ සෞඛ්‍ය පිළිබඳ දෙවරක් සිතා බැලීමට මේ වන විට කාලය උදා වී තිබේ. විවිධ පර්යේෂණ කණ්ඩායම් කරන ලද සමීක්ෂණ අනුව මෙම රසායනික ද්‍රව්‍ය මඟින් කුඩා දරුවන්ට විශේෂ වශයෙන් ස්නායු පද්ධතියේ ගැටලු, මොළයේ ආබාධ, හෝර්මෝන වල ගැටලු ආදී බොහෝ සෞඛ්‍ය තර්ජන ඇති වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අතීතයේ පමණක් නොව මේ වන විට පවා නිරෝගී දිවිපෙවෙතකට නැවුම් එළවළු පලතුරු ආහාරයට ගත යුතු බව වෛද්‍ය මතය වුවත් ඒවා ආහාරයට එකතු කරගැනීම මේ හේතු නිසා මත භේදාත්මක වී තිබේ. නමුත් ඒවා ආහාරයට එකතු කර ගැනීමෙන් අපට වැළකි සිටින්නට ද නොහැකි අතර කාර්යබහුලත්වය නිසා නිවාස ආශි‍්‍රතව වගා කර ගැනීම ද තරමක් දුරට අපහසු වී ඇත. මේ නිසා වෙළෙඳ පොළෙන් අකැමැත්තෙන් හෝ මිලදී ගැනීමට අපට සිදු වී තිබේ. ඒවා හැකිතරම් රසායනික ද්‍රව්‍යවල බලපෑමට අවම වන පරිදී ආහාරයට නොගත හොත් ඒවා අපට ශරීර ගත විය හැකියි. ගොවීන් පමණක් නොවේ වෙළඳාමේ යෙදෙන අය රසායනික ද්‍රව්‍ය එළවළු පලතුරු වලට යොදාගන්නා අතර ඒවා වඩා වැඩි කාලයක් නැවුම් පෙනුමකින් තබා ගැනීම සඳහා ද ඔවුන් අනිවාර්යයෙන්ම රසායනික ද්‍රව්‍ය යොදාගනු ලැබේ.

නමුත් මෙම ආහාර ද්‍රව්‍ය අපගේ ආහාරයට එකතු කර ගැනීමට පෙර රසායනික ද්‍රව්‍ය සෝදා ඉවත් කර ගැනීම සඳහා ඉතාම අපහසු වූවත් කළ හැකි සරලම පිළියම වන්නේ පිරිසුදු ජලයෙන් ඒවා සෝදා දැමීමයි. මෙම ජලය බොහෝ දුරට ගලා යන ජලය නම් වඩාත් යෝග්‍ය වගා අතර මතුපිට ඇති රසායනික ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් ඉවත් කර ගත හැකියි. බොහෝ දුරට පෝෂණවේදීන්ට අනුව බොහෝ දුරට එළවළු වල පලතුරු වල පිට පොත්තේ තන්න්තු බහුල වල අන්තර් ගත වී තිබුණත් මෙම රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් පිට පොත්ත ඝනකම් කොටස් ඉවත් කර දැමීමට සිදුවේ. මීට අමතරව බොහෝ එළවළු පලතුරු කපා සේදීම මඟින් එහි ඇති පෝෂක කොටස් ඉවත් වේයැයි පැවසුවත් රසායනික ද්‍රව්‍යවල බලපෑම අවමකිරීමට ඒවා කුඩා කැබලි වලට කපා නැවත සේදීමට හැකි නම් එමඟින් ද යම් සැලකිය යුතු රසායනික ප්‍රමාණයක් සේදී යනු ලැබේ එමඟින් රසායනික ද්‍රව්‍ය මඟින් ශරීරයට ඇති විය හැකි බලපෑම තරමක් දුරට හෝ අවම කරගැනීමට හැකියාව ලැබේ. එසේ කුමන ආකාරයකට සේදීම කළත් එම එළවළු පලතුරු වල අන්තර් ගතයේ විෂ ද්‍රව්‍ය යම් ප්‍රමාණක් වශයෙන් හෝ අන්තර් ගත බව ඔබ අමතක නොකළ යුතුයි. ඊට අමතරව එළවළු පලතුරු සිසිල මඟින්ද ඒවා ඇතිවන බලපෑම අවම කළ හැකි අතර ඒ සඳහා අධි ශීතකරණය තුළ එළවළු පලතුරු බහා තබා ආහාරයට එකතු කර ගැනීමට හැකි නම් එමඟින් ද රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුල්වීම අවම කරගැනීමට හැකියාව ලැබේ.