අවුරුදු 50 පැන්නට පස්සේ Fit එකේ ඉන්න නම් මොනවද කන්න අවශ්‍ය ?

අවුරුදු 50 පැන්නට පස්සේ Fit එකේ ඉන්න නම් මොනවද කන්න අවශ්‍ය ?

වයස්ගත වූ වැඩිහිටියන්ගේ මනා සෞඛ්‍ය පැවැත්ම හා ආහාර අතර පැහැදිලි වූ සම්බන්ධතාවක් ඇත. යම් පුද්ගලයකු වයස්ගත වීමේදී ඇතිවන විවිධ ශාරීරික හා මානසික වෙනස්කම් එම පුද්ගලයාගේ පෝෂණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කරයි.

ශරීරය කෘෂ වීම හා පරිවෘත්තීය වේගය අඩු වීම, ආහාර රුචියේ ඇතිවන වෙනස්කම්, ආහාර වල සුවඳ හා රසය දැනීම අඩුවීම, ඇවිදීමේ දුර්වලතා, ආහාර දිරවීම හා ශරීරයට අවශෝෂණය වීමේ දුර්වලතා යනාදී හේතු මොවුන්ගේ පෝෂණ තත්ත්වයට බලපෑම් ඇති කළ හැකිය. තවද, වැඩිහිටි වියේදී ඇතිවන විවිධ රෝගී තත්ත්ව නිසා පෝෂණ ඌණතාවයන් ඇතිවේ. මේ සියළු හේතු වැඩිහිටියන්ගේ මන්දපෝෂණය හේතු වේ. අධි පෝෂණය ද වැඩිහිටියන් තුළ පවතින බහුල පෝෂණ ගැටළුවක් වන අතර එයට හේතුව අඩු ශාරීරික ක්‍රියාකාරකම් හෝ වැඩිපුර ආහාර පරිභෝජනය වේ. වයස්ගත වියේ පසුවන වැඩිහිටියන් මන්ද පෝෂණයට ගොදුරුවීම පහසුවෙන් සිදුවිය හැකි දෙයක් නිසා ඔවුන්ගේ ආහාර පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.

ක්‍රියාශීලී නොවන වැඩිහිටියන්ගේ ශක්ති අවශ්‍යතාවය වයස් ගත වීමත් සමඟ අඩුවේ. එහෙත්, ප්‍රෝටීන්, විටමින් (තයමින්, රයිබොෆ්ලේවින්, විටමින් බී 12, ෆෝලික් අම්ලය.විටමින් ඩී සහ සී) සහ ඛනිජ ලවණ (යකඩ හා කැල්සියම්) වල අවශ්‍යතාවය නොවෙනස්ව පවතී. වැඩිහිටියන් ආහාරය සඳහා තෝරාගත යුත්තේ පෝෂණ ගුණයෙන් සපිරි ආහාරය. එනම් සියළු පෝෂක බහුලව ඇති හා කැලරි අඩු ආහාර වේ. වයස්ගත වැඩිහිටියන් අධිබර හා තරබාරු වීමට ඇති හැකියාව ඉහළ මට්ටමක පවතින නිසා ඔවුන් ශක්ති ජනක ආහාර පරිභෝජනය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දිනපතා විවිධත්වයෙන් යුතු ආහාර තෝරා ගැනීම මඟින් වැඩිහිටියන්ට අවශ්‍ය විවිධ පෝෂක අවශ්‍යතා ලබා ගැනීමට පුළුවන. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස දියර පානය ද අවශ්‍ය වේ.

විටමින් හා ඛනිජලවන පරිපුරක (කෘත්‍රිම විටමින්, පෙති, සිරප් හා අතිරේක පෝෂක)

සමහර වැඩිහිටියන් විසින් ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම නිසා ඇතිවන පෝෂක ඌණතාවය පරිපුරක විටමින් හා ඛනිජ ලවණ ලබා දීමෙන් සම්පුර්ණ කළ හැක. මෙම පරිපුරක විටමින් හා ඛනිජ ලවණ වෛද්‍ය උපදෙස් මත ලබා දිය යුතු වේ.

වයස්ගත වැඩිහිටියන් සඳහා නිවැරදි ආහාර පුරුදු

ආහාර රුචිය අඩු වීමත්, ආහාර සැපීමට මුඛයේ දත් නොතිබීමත්, ආහාර ශරීරයට අවශෝෂණය වීම අකාර්යක්ෂම වීමත්, විවිධ වර්ග වලට අයත් ආහාර නිතර ආහාර වේලෙහි අඩංගු නොවීමත් යන කරුණු හේතු කොට ගෙන ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබී යාම සිදුවේ. ආහාර මෘදු ලෙස හා තෙම්පරාදු කිරීම වැනි විවිධ ක්‍රම වලට පිළියෙල කර ගැනීමෙන් මෙම තත්ත්වය වළකා ගත හැක. සියළු ආහාර කාණ්ඩ වලට අයත් විවිධ ආහාර වර්ග තෝරා ගැනීම සඳහා විශේෂයෙන් අවධානය යොමුකළ යුතුය. මෙම අවදියේ පසුවන අය අතර, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීමත්, ආහාරයෙහි ප්‍රමාණවත් ලෙස තන්තු හා කෙඳි සහිත ආහාර අඩංගු නොවීමත්, ජලය හෝ දියරමය පානයන් ගැනීම අඩුවීමත්, ක්‍රියාකාරකම් අඩුවීමත් යන හේතු නිසා මල බද්ධය බහුලව දක්නට ඇත. මේ තත්ත්වයේ මිදීම සඳහා තන්තු සහිත ආහාර ගැනීම (නොපහින ලද ධාන්‍ය, පළතුරු, එළවළු සහ පියලි), වැඩිපුර ජලය පානය කිරීම සහ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම වැඩිකළ යුතුය. බඩ විරේක ඖෂධ භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි.

ඔස්ටියෝපොරොසිස් (කැල්සියම් ඌණතාවය නිසා සිදුවන අස්ථි තුනී වීම)

අස්ථි තුනී වීම හා බිඳී යාමේ අවදානම වයස් ගත වීමත් සමඟ වැඩි වේ. ආර්තවහරණයෙන් පසු කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවීමේ වැඩි නැඹුරුතාවයක් දක්වයි. මෙවැනි අයගේ අස්ථි පහසුවෙන් බිඳෙන අතර, ශරීරයට ලබාගන්නා කැල්සියම් ප්‍රමාණය එකවර වැඩිකිරීම තුළින් අස්ථි යථා තත්ත්වයට පත් කළ නොහැක.එහෙත් තව දුරටත් අස්ථි තුනී වීම වළක්වා ගැනීම සඳහා කැල්සියම් බහුල ආහාර වන හාල්මැස්සන්, කුඩා මාළුවන්, කිරි, කිරි වලින් සාදන ආහාර ප්‍රමාණවත් ලෙස ආහාරයට එකතු කරගත යුතු අතර, ක්‍රියාශීලි වීම මඟින් අස්ථි තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගත හැකිය.

රක්තහීනතාවය

රක්තහීනතාවය වැඩිහිටියන් අතර පවතින ප්‍රධාන පෝෂණ ගැටළුවකි. යකඩ බහුල ආහාර වන මස්, මාළු, කරවල, පියලි වර්ග, තද කොළ පැහැති පළා වර්ග හා ෆෝලික් අම්ලය බහුල වන ආහාර වන පියලි හා ඇට වර්ග, පළතුරු තද කොළ පැහැති එළවළු සහ පළා වර්ග දිනපතා ආහාරයට ගත යුතුය.

සෞඛ්‍යමත් ආහාර

පෝෂණ ගුණයෙන් සපිරි කාණ්ඩ හයටම අයත් ආහාර හා පාන වර්ග වැඩිහිටියන් සඳහා පරිභෝජනයට සුදුසු අතර, අධික ලෙස මේදය අඩංගු ආහාර, සීනි හා ලුණු එකතු කළ ආහාර භාවිතය සීමා කළ යුතුය. නියමිත කාල පරතරයකින් හා නිසි ප්‍රමාණ වලින් ආහාර ගැනීම යෝග්‍ය අතර, ආහාර වේල් මඟ හැරීම සිදු නොකළ යුතුය. ආහාර රුචිය අඩුවීම නිසා ගන්නා ආහාර ප්‍රමාණය අඩු වීමද එමඟින් ඔවුන්ගේ බර අඩු වීමද සිදුවේ. ආහාර රුචිය අඩු වැඩිහිටියන් සඳහා, තෙම්පරාදු කිරීම වැනි විවිධ ක්‍රම මඟින් ආහාරය රසවත් කළ හැකි අතර, එයින් සැපයෙන ශක්ති ප්‍රමාණයද වැඩි කර ගත හැක.

මෙවැනි ආහාර ලබාදීම මගින් ඔවුන්ගේ බර අඩු වීමද වළක්වා ගත හැක. වැඩිපුර දියර වර්ග පානයට ලබාදීම සුදුසු අතර දිනකට වතුර වීදුරු 6 සිට 8 දක්වා ප්‍රමාණයක් ලබා දිය යුතුය. අධිබර තත්ත්ව වළක්වා ගැනීම සඳහා පිටි සහිත ආහාර වල ප්‍රමාණය, සීනි සහ මේදය අඩංගු ආහාර ලබා දීම සීමා කළ යුතු අතර, ඒ වෙනුවට එළවළු, පළතුරු. පියලි හා ඇටවර්ග හා මාළු ලබා දීමටද, මධ්‍යස්ථ වශයෙන් මස්, කිරි සහ බිත්තර ලබා දීමද සිදුකළ යුතුය. මද්‍යසාර භාවිතය සුදුසු නොවන අතර දුම්පානයෙන්ද වැළකීම මගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වා ගත හැක.

ශාරීරික ක්‍රියාකාරකම් හා ජීවන රටාව

නිතර ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් වයස්ගත වියේදී ඇතිවන බොහොමයක් ගැටළු අඩුකරගත හැකිය. ශාරීරික ක්‍රියාකාරකම්වල නොකඩවා නිරත වීම තුළින් යහපත් වූ ශාරීරික හා මානසික පැවැත්මක් ළඟාකර ගත හැකි අතර, ක්‍රියාශීලි ජීවන රටාව මගින් අස්ථි තුනී වීම හා මාංශපේශී දුර්වල වීම වළක්වා ගත හැක. තවද ශාරීරික ක්‍රියාකාරකම් වල වැඩිපුර යෙදීම මඟින් තරබාරුව, දියවැඩියාව, හෘදරෝග වැනි ජීවන රටාව සමඟ බැඳී පවතින බොහොමයක් ලෙඩ රෝග සෑදීමේ අවදානමද අඩුකර ගත හැකිය. තවද ක්‍රියාශීලී වීම මගින් පුද්ගලයාගේ සමාජ සහ සම්බන්ධතා වැඩි වේ. එමෙන්ම පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය සීමා කිරීම ද අවශ්‍ය නොවේ. එමගින් ආහාර මගින් ලබාගන්නා සියළු පෝෂක අඩුවක් නොමැතිව ලබා ගැනීමටද හැකිවේ.

සුළු අසනීපයකින් පසු වුවද ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමට උනන්දු වීම මගින් ඉක්මණින් සුවවීම සහ ඇවිදීමේ අපහසුතා වලට ලක් වීමද වැළකේ.