ඓතිහාසික වටිනාකමක් ඇති සොබාදහමට සමීප සරදියෙල් ගම්මානය

ඓතිහාසික වටිනාකමක් ඇති සොබාදහමට සමීප සරදියෙල් ගම්මානය

වර්තමානයේ දුවා දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් කාලයක් කැප කරන බව රහසක් නොවේ. ටියුෂන් රැල්ලට හසු වී සිටින ඔවුන් විභාගය ළංවන විට නිදිවරමින්, අධික ආතතියකින් යුතුව පාඩම් කටයුතු කරන්නේ විභාගයෙන් නියත ජය ලබන්නටය. දුවා දරුවන් පමණක් නොව වැඩිහිටි අය ද එසේමය. අප කොයි කවුරුත් හුරු පුරුදු වී සිටින මේ කලබලකාරී ජිවන රටාවෙන් මිදෙන්නට පාසල් නිවාඩු සමයේ දූ දරුවන් සමඟ විනෝද වන්නට ඓතිහාසික සහ සංස්කෘතිකමය වශයෙන් අපේ පෞඩත්වය ඔප් නංවන ස්ථානයක් පිළිබඳව වත ගොත පවසන්නටයි මේ සූදානම.

දූ දරුවන්ට අධ්‍යාපනික මෙන්ම ඉතිහාසය පිළිබඳ දැනුමක් සහ විනෝදයක් මෙන්ම සතුටක් ලබාදෙමින් වැඩිහිටියන්ටත් අතිශයින් ප්‍රයෝජනවත් වූ ස්ථානයක් බවට මෙම ස්ථානය පත් වී තිබෙනවා.

මෙම ස්ථානය හැඳින්වෙන්නේ සරදියෙල් ගම්මානය නමින්. කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උතුවන නම් ගමේ උතුවන්කන්ද ඉදිරිපිට අක්කර 6 ක භූමි භාගයේ පිහිටා ඇති සරදියෙල් ගම්මානයේ නිර්මාතෘ සහ හිමිකරු වන්නේ “ආරෝග්‍යා” පුවත්පතට නිරන්තරයෙන් වෛද්‍ය ලිපි සපයමින් ඔබගේ ශරීර සුවතාවයට අනගි උපදෙස් රැසක් ලබා දෙන විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතායි. එතුමාගේ සංකල්පයක් මත 2008දී ඇරඹී සරදියෙල් ගම්මානය 2012 වසරේදී මහජන ප්‍රදර්ශනය වෙත යොමු කෙරුණ.

දීකිරිකෑවගේ සරදියෙල් අප්පු හෙවත් සුර සරදියෙල් ඉපදුණේ 1832 වසරේ. සරදියෙල් ජීවත් වූයේ උතුවන අවට ප්‍රදේශයේ. ඔහු සැඟවී සිටියේ උතුවන් කන්ද මුහුදු මට්ටමින් අඩි 1410 ක උසයි. සුදු ජාතිකයන් උතුවන් කන්ද හැඳින්වූයේ කාසල් රොක් නමින්.

මේ උතුවන් කන්දට මුහුණලා නිර්මාණය කර ඇති සරදියෙල් ගම්මානය මූලිකවම පාදක වී තිබෙන්නේ සරදියෙල්ගේ ජිවන චරිතය වටා... ඔහු උපන් 1864 දා සිට සුද්දන් විසින් ඔහු එල්ලා මරණයට පත් වූ මොහොත වනතෙක් ඔහුගේ ජීවන චරිතය අලලා සුවිශේෂි සන්ධිස්ථාන සැමරුම් මූර්තීන් ලෙස අපූරුවට නෙළා තිබීම මෙහි ඇති සුවිශේෂත්වයයි. මෙලෙස ප්‍රතිනිර්මාණය කරන ලද පිළිම ආකෘතින් අතර ඔහු ජීවත් වූ 19 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය අනුසාරයෙන් නෙළන ලද පිළිම දරුවන්ට අධ්‍යාපන දැනුම් සම්භාරයක් ලබා ගත හැකි අන්දමින් නිමා වී තිබෙන්නේ මූර්ති ශිල්පී ජයපාල අතිනි.

ඒවා අතර ඩෝසන් කුළුණ, අශ්ව කෝච්චිය, ඩෝසල් බංගලාව, දඬුකඳ, තිඹිරිගෙය, වැලිපීල්ල, සෙක්කුව, අම්බලම, මාළු අල්ලන කරක්ගෙඩිය, දියපිල, වටපිල, කොට්ටපිල, දියගොට්ට, හක්ටිය, පැදුරුආණ, බෝගම්බර හිර ගෙදර, කරල් පැදුර, කැණි මඬල, ගොවි ගෙදර, පිංතාලිය, එකගෙයි දීග කෑම, වෙද ගෙදර යනාදි වර්තමාන සමාජයෙන් බැහැර වි ගිය අපේ සංස්කෘතික වටිනාකමක් ඇති මුතුන්මිත්තන් පරිහරණය කළ කී දේ පිළිබඳ අවබෝධයක් දරුවන්ට ලබාගත හැකි ලෙස නිර්මාණය කර ඇත.

මේ සියල්ලෙන් අනූන වූ සරදියල් ගම්මානයේ නරඹන දහස් ගණනින් වූ දරු පරපුර වැඩිහිටියන් මෙන්ම විදේශීය සංචාරකයන්ට අපේ ඉතිහාසයේ පෞඩත්වය වඩාත් පසක් වන ලෙස සරදියෙල් ගම්මානය ප්‍රතිනිර්මානය කර ඇත.

මෙම සරදියෙල් ගම්මානය පිළිබඳ සියලුම වගතුග පවසන්නට ඒ වෙනුවෙන්ම ආරච්චිලා සහ කුමාරිහාමිලා සිටින අතර අවුරුද්දට දින 2 ක් හැර සෑම දිනකම විවෘතව ඇති මෙම ස්ථානය පෙ.ව 8.00 සිට ප.ව 6.00 දක්වා විවෘතව පවතී.

සංචාරකයන්ගේ විඩාව නිවාලමින් නිවි සැනසිල්ලේ පරිසරයේ සුන්දරත්වය විඳිමින් නිවාඩුව ගත කිරීමට දර්ශනීය නිවාඩු නිකේතනයන් ද ගල මුදුනේ උතුවන් කන්දට මුහුණලා ඇත. මේ කඳු ගැට අවට පරිසරය අතිශයින් සුන්දර නිස්කලංක ස්ථානයකි. ගත සිත විඩාව නිවාලන්නට නිරන්තරයෙන් තුරුවැල් අතරින් හමා එන සුපිරිසිදු සුළං රැල්ලේ ආග්‍රහණයේ වෙනස වඩාත් දැනෙනුයේ වාහන දුමෙන් දූෂිත පරිසරයක එදිනෙදා දිවි ගෙවන අයටය. කන්ද මුදුනට යාමට ගල කඩා පඩිපෙල සාදා ඇත.

නිවාඩු නිකේතනය මුදුනේ පිහිටා ඇති පිහිනුම් තටාකයද විඩාව නිවාලන්නට ගතට ලබාදෙනුයේ නොමද සිසිලකි. නැරඹුම් මැදිරියට ගිය විට උතුවන් කන්ද, කඩුගන්නාව, බයිබල් රොක්, අලගල්ල, ඌරා කන්ද, අරනායක, නාය ගිය රාමසර කන්ද ආදී කඳු වළල්ලක් දර්ශනීය ලෙස දිස් වේ.

සිරුර වෙලා ගන්නා දැඩි සුළං රැල්ල සුළං කපොල්ල අසිරිය දනවයි. ගහ කොළ හා පෙම්බැඳි තරම කෙලෙසදයත් කොළ පැහැති පලසක් සේ පරිසරය තද කොළ පැහැයෙන් යුක්තය. සරුවට වැඩුණු අඹ, රඹුටන්, වෙරළු, ජම්බු, අනෝදා, බිලිං, කාමරංගා, පැෂන්, ජම්බෝල, පේර, නෙල්ලි, වැනි සියලුම පලතුරු වර්ග මෙන්ම කොස්, වල් දෙල්, රට දෙල්, මඤ්ඤොක්කා, කිරි අල, අල කොළ, වට්ටක්කා, තිබ්බටු වැනි දේශීය ආහාර වවා ඇත්තේ කෘතිම පොහොරවලින් තොරවය.

පලතුරු ගස් වටා පියාසලන කුරුල්ලන්ගේ කුංච නාදය පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

කහ කුරුල්ලා, රාජලියා, කොට්ටෝරුවා, කහ රෙදි හොරා, කෑදැත්තා, කැබැල්ලෑවා ආදී කුරුල්ලන් වර්ග 40 ක් ආසන්න සංඛ්‍යාවක් සිය රජ දහන කරගෙන සිටින මෙම පරිසරය කුරුළු පාරාදීසයකි.

සරදියෙල් ගම්මානය නරඹන්නට පැමිණෙන අයට උතුවන් කන්ද තරණය කිරිමට හැකිවන පරිදි මාර්ගෝපදේශකයන් ඒ සඳහා යොදවා ඇති අතර උතුවන් කන්ද නැඟ බැසීමට ගතවන්නේ පැයක් වැනි සුළු කාලයකි. සරදියෙල් ගම්මානය යා යුත්තේ කොළඹ නුවර පාරේ උතුවන්කන්ද තැපැල් හල අසලින් වමට හැරී උතුවන පාරේ කි.මි. 1 ගිය තැන පාරේ දකුණු පැත්තේය.