රුව රකින රහස්

රුව රකින රහස්

කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු ස්ක්‍රබ් භාවිතයෙන් සමට හානි


ආයුර්වේද වෛද්‍ය ආචාර්ය
මහේෂ් අතුරලිය

සම මත රළු දෙයක් ඇතිල්ලීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී උද්වර්ථන නමින් හඳුන්වයි. උද්වර්ථන ප්‍රතිකාර ක්‍රමය අද හඳුන්වන්නේ ස්ක්‍රබ් කිරීම යනුවෙනි. මෙම ප්‍රතිකාර ක්‍රමය මුහුණට පමණක් නොව මුළු සිරුරටම කළ හැකි අතර බොඩි ස්ක්‍රබ් යනුවෙන් එය හඳුන්වයි. අතීතයේ සිටි රජබිසෝවරු, කුමාරිකාවන් පවා මෙවැනි ප්‍රතිකාර ක්‍රම තුළින් තම සුන්දරත්වය වර්ධනය කරගෙන ඇත.

ස්ක්‍රබ් කිරීම ඉතා ක්‍රමාණුකූලව, අවධානයෙන් සමට හානියක් නොවන පරිදි ප්‍රවේශමෙන් කළ යුතුය. ස්ක්‍රබ් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ස්වභාවික ලෙස ඉවත් නොවී පවතින මැරුණු සම ඉවත් කිරීමයි. ඔබ ස්ක්‍රබ් එකක් භාවිතා කළද? නොකළ ද? මැරුණු සම ස්වභාවිකවම ශරීරයෙන් ඉවත් වේ.

සමේ ව්‍යුහය සලකා බැලීමේදී අපිචර්මය සෛල ස්ථර කිහිපකින් නිර්මාණය වී ඇත. එම සෛල ස්ථර තුළින්ම නිර්මාණය වන අළුත් සම මැරුණු සම ලෙස ශරීරයෙන් ඉවත් වීමට දින 28 ක කාලයක් ගතවේ. මෙය චක්‍රයක් ආකාරයට අඛණ්ඩව සිදුවන ක්‍රියාවකි.

අපේ සමේ මැරුණු සම හෝ බාහිර පරිසරයේ පවතින කාබන් අංශු, දුවිලි අංශු හා දහදිය තට්ටු වශයෙන් තැන්පත් නොවේ. එම නිසා මැරුණු සම ඉවත් කිරීමට යැයි සිතා සම මත ඝන ද්‍රව්‍ය ඇතිල්ලීම වැරදි ක්‍රියාවකි. එසේ කිරීමෙන් සමට හානි සිදු වේ.

වෙළෙඳපොළ තුළ පවතින ඇතැම් ස්ක්‍රබ් තුළ අතට හසුවන වැලිකැට වැනි දෑ ඔබත් දැක ඇත. එවැනි ස්ක්‍රබ් එකකින් ස්වල්ප ප්‍රමාණයක් වීදුරු පෘෂ්ඨයක් මත තබා එක් ඇගිල්ලකින් පමණක් ඇතිල්ලීමෙන් පසු පවා එම වීදුරුව මත සීරිම් ඉරි දක්නට ලැබේ.

ඝන වීදුරු පෘෂ්ඨයක් මත පවා සීරිම් ඉරි ඇති කිරීමට සමත් ස්ක්‍රබ් එකක් ඔබේ සමට භාවිතා කළහොත් එයින් සමට වන හානිය ඔබට සිතා ගත හැකිද? රූපලාවන්‍යාගාර තුළ ඇති මැග්නිෆයර් ග්ලාස් හෙවත් විශාල කර බැලීමේ කණ්ණාඩි ඔබත් දැක ඇත. එවැනි කණ්නාඩියකින් බැලුවහොත් සමට සිදුවන හානිය මනාව දැක ගත හැකිය.

අපේ සම මත සමට හිතකර බැක්ටීරියා වර්ග පවතී. එම බැක්ටීරියා මගින් ශරීරයට බාහිරින් ඇතුළු වන අහිතකර බැක්ටීරියා හා දීලිර ඇතුළු වීම වලක්වයි. හානිකර ලෙස ස්ක්‍රබ් කිරීමෙන් සමෙහි පවතින එම ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලියට හානි සිදු වේ. එසේ වුවහොත් අහිත කර බැක්ටීරියා හා දීලිර සම ආසාදනයට ලක් කරයි.

හානිකර ලෙස ස්ක්‍රබ් කිරීමෙන් සම අසාමන්‍ය ලෙස උද්දීපනය වේ. එවිට ඇමලොයිඩ් නැමති රසායනය සම මතුපිට කළු පාට ස්ථරයක් ලෙස තැන්පත් වී සමෙහි පැහැපත් බව නැති කරයි.

හානිකර ලෙස ස්ක්‍රබ් කිරීමෙන් සම අසාමාන්‍ය ලෙස උද්දීපනය වේ. එවිට ඇමලොයිඩ් නැමති රසායනය සම මතුපිට කළු පාට ස්ථරයක් ලෙස තැන්පත් වී සමෙහි පැහැපත් බව නැති කරයි.

ස්වභාවික ඖෂධීය කුඩු වර්ග භාවිතා කොට ස්ක්‍රබ් කිරීමෙන් සමට හානියක් සිදුනොවේ. එයට හේතුව සියුම් ලෙස පවතින එම කුඩු වර්ග වලින් සමෙහි සීරීමක් ඇති නොවීමයි. මෙහිදි ඉතා සියුම් ලෙස පවතින ඖෂධීය කුඩු වර්ග භාවිතා කිරීමට ඔබ වග බලාගත යුතුය.

බටහිර රූපලාවන්‍ය කරණයේදී ස්ක්‍රබ් කිරීම තුළින් මැරුණු සම ඉවත් කිරීම පමණක් බලාපොරොත්තුවේ. එහෙත් ආයුර්වේද රූපලාවන්‍යකරණයේදී ස්ක්‍රබ් කිරීම තුළින් මැරුණු සම ඉවත් කිරීම පමණක් බලාපොරොත්තු නොවේ. එයට හේතුව ආයුර්වේද රූපලාවනයකරණයේදී රූපලාවන්‍ය සත්කාර හෝ ප්‍රතිකාර සඳහා යොදා ගන්නේ ස්වභාවික ඖෂධය.

ඖෂධයක බහුතාවය, යෝග්‍යතාවය, අනේක විධ කල්පනා හා සම්පන්නතාවය යනුවෙන් ගුණ හතරක් තිබිය යුතුය.බොහෝ ගුණ වලින් යුක්ත ඖෂධ බාහිර හා අභ්‍යන්තර වශයෙන් යෙදීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රධාන ගුණයට අමතරව තවත් ප්‍රතිඵලදායි ගුණ අත්වේ.

සම තුළ කාන්තිමත් බවක් පවතී. එය කම්ප්ලෙක්ෂන් යනුවෙන් හඳුන්වයි. අපගේ සම තුළ පවතින කාන්තිමත්භාවය ආරක්ෂා කර ගැනීමටද උද්වර්ථන ප්‍රතිකාරය උපකාරී වේ. තවද සම මත කුරුළෑ, බිබිලි වැනි ආසාදන ඇති වීම වැලැක්වීම සමෙහි තෙතමනය ආරක්ෂා වීමත් මෙමඟින් සිදුවේ.

ස්වභාවිකත්වයට යොමු වීමෙන් ඔබ බලාපොරොත්තු වන ගුණයට වඩා අමතර වාසි ලෙස තවත් ගුණ අත්වේ. එහෙත් කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතා කිරීමෙන් ඔබට බොහෝ විට අත් වන්නේ අවාසියක් මිස වාසියක් නොවේ.

ලබන සතියේ

දේශීය ඖෂධ්‍යවලින් ස්ක්‍රබ් වර්ග කිහිපයක් සාදා ගන්න අන්දම