නාසය ඇතුළෙත් ගල් ඇති වෙනවාලු

අහන්නත් පුදුමයි!

නාසය ඇතුළෙත් ගල් ඇති වෙනවාලු

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සීතා අරඹේපොල

සිරුරේ ඇතැම් ඉන්ද්‍රියන්වල ගල් සෑදිම අද බොහෝවිට දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් ගල් සෑදෙන ඉන්ද්‍රියයන් අතර පිත්තාශය, වකුගඩු, මුත්‍රාශය, මුත්‍රා මාර්ගය ප්‍රමුඛ ස්ථානයක් ගනී. නමුත් ඔබ ඇසුවොත් පුදුමයට පත්වන බොහොදෙනෙක් නොදන්නා රෝගී තත්ත්වයක් පිළිබඳවයි අද ඔබට විග්‍රහ කරන්නේ. ඒ නාසය තුළ ගල් ඇතිවීමයි.

නාසය තුªළ ගල් ඇතිවීමට බලපාන හේතු කිහිපයක් ඇත. ඒවා අතර යම් පුද්ගලයකුගේ නාසයෙන් නිරන්තරයෙන් රුධිරය වහනය වීම සිදුවන්නේ නම් එය නාසයේ ගල් ඇතිවීමට බලපාන හේතුවක් වේ. එසේම ඇතැමෙකුගේ නාසයෙන් නිතරම දුර්ගන්ධයක් හමයි නම් එසේම නාසයේ අවහිරතාවයක් දැනෙන්නේ නම් අධික ලෙස කඳුළු ගලයි නම් එවැනි රෝග ලක්ෂණ නාසයේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයක් පූර්ව ලක්ෂණයක් විය හැක. තවත් රෝග ලක්ෂණයක් ලෙස රෝගීන් පවසන්නේ තදින් හිසරදය ඇති වීමයි.

නමුත් මෙම පූර්ව රෝග ලක්ෂණ ඇතැම් රෝගීන් පැවසුවද, බොහෝදෙනා මෙම රෝගී තත්ත්වය පීනස් යැයි වටහා ගෙන පීනසට පිළියම් කිරීම සිදු කරති.

එබැවින් ඉහත රෝග ලක්ෂණ ඇතොත් වහාම කළ යුත්තේ වෛද්‍යවරයෙකු මුණ ගැසීමය. එවිට ඔබේ වෛද්‍යවරයා නාසය හොඳින් පරීක්ෂා කර අවශ්‍ය නම් nasal endoscopy පරීක්ෂණය සිදු කොට නාසය අභ්‍යන්තර පරීක්ෂාවට ලක් කරන අතර එම පරීක්ෂණයෙන් නාසය තුළ ගල් ඇති බව හඳුනාගතහොත් වැඩිදුර නිරීක්ෂණය කිරීම සඳහා C.T Scan පරික්ෂණයක් හෝ X ray කිරණ පරීක්ෂණයක් සඳහා අනිවාර්යෙන්ම ඔබ යොමු කරවනු ඇත.

තවද උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයෙකුට සායනික පරික්ෂණයක් තුළින් පහසුවෙන් මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකිවනු ඇත.

නාසය තුළ ගල් ඇතිවීමට හේතුව විමසා බලමු.

නාසයේ ගල් ඇතිවීමට හේතුවන ප්‍රධාන කරුණ වන්නේ පිටතින් නාසයට ඇතුළු වන ද්‍රව්‍යයක් වටා හෝ ලේ කුටියක් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් නාසය තුළ රැඳී එය වටා කාලයක් පුරා කැල්සියම් හා මැග්නීසියම් අංශු තැන්පත් වීම නිසා මෙලෙස නාසයේ ගල් ඇතිවීමට ඉඩ ඇත.

එය කාලයත් සමඟ ඇතැම්විට විශාල ප්‍රමාණයකට වර්ධනය වේ. මෙවැනි අවස්ථාවලදී මෙම ගල් නාසය තුළ ගැඹුරට කිඳා බැස ඉහත සඳහන කළ විවිධ රෝග ලක්ෂණ ඇති කිරීමට සමත් වේ.

නාසය තුළ ඇති ගල් ඉවත් කරන ආකාරය

මෙවැනි තත්ත්වයන් හඳුනා ගැනීමෙන් පසු රෝගියාට නිර්වින්දනය කොට එම ගල් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. මෙලෙස ගල් ඉවත් කිරීමේදී නාසයෙන් අධික ලෙස රුධිරය වහනය වීම සම්භාවිතාවය වැළැක්විය නොහැක. එහෙයින් මෙම ගල් ඉවත් කරණුයේ ශල්‍යාගාරයක් තුළදීය. එයට හේතුව වන්නේ අධික ලෙස රුධිර වහනය වළක්වා ගැනීම සඳහාත් විෂබීජවලින් ආරක්ෂා කර ගැනීම සඳහාත්ය.

තවද නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් වන Nasal endoscope  කැමරාවක ආධාරයෙන් ශල්‍යාගාරයක් තුළ මෙම ගල් ඉවත් කළ හැක. මෙලෙස නාසයේ ගල් ඉවත් කිරීමේදී ගල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අනිවාර්යය වේ. එවිට නැවත වර්ධනය වීම වළක්වාගත හැකි වන හෙයිනි.