හදවත ගැහෙනා වේගය නිවැරදි කරන PACEMAKER

හදවත ගැහෙනා වේගය නිවැරදි කරන PACEMAKER

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ

හෘද රිද්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරේෂ් කෝට්ටේගොඩ

හෘදය ගැහෙන වේගයේ ගැටලු පිළිබඳ පසුගිය සතියේ කතා කළා ඔබට මතක ඇති. එහිදී හෘදය ගැහෙන වේගයේ ගැටලු ලෙස හෘදය ගැහෙන වේගය අඩුවීම (Bradycardia) හෘදය ගැහෙන වේගය වැඩිවීම (Tachycardia) මෙන්ම හෘදය ගැහෙන වේගයේ අක්‍රමවත් බව ආදිය පිළිබඳවත් අප සාකච්ඡා කළා. මෙම රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කළේ නැතිනම්, එය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. නමුත් දැන් මේ සඳහා නිවැරදි ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර තිබෙන නිසා මෙම රෝගයට බිය විය යුතු වන්නේ නෑ.

මෙවැනි රෝගියෙක් වෛද්‍යවරයා වෙත යොමු වූ විට වෛද්‍ය පරීක්ෂණ කීපයක්ම සිදු කරනු ලබනවා. ඊ.සී.ජී පරීක්ෂාව, ECO පරීක්ෂාව, Exercise ECG පරීක්ෂාව, පපුවේ X - ray පරීක්ෂාව මෙන්ම මූලික රුධිර පරීක්ෂණ කීපයක් ද මෙහිදී සිදු කරනවා. Exercise ECG පරීක්ෂාවේදී ශරීරය වෙහෙසන විට රෝගය හොඳින් මතුවී පෙන්නුම් කරනවා. එමෙන්ම රුධිර පරීක්ෂණවල ප්‍රතිඵල මඟින් රෝගියාගේ රුධිරගත සීනි මට්ටම, කොලෙස්ටරෝල්, මේදය මට්ටම ආදිය හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම පරීක්ෂණයන්ට අමතරව වකුගඩුවල තත්ත්වය පරීක්ෂා කිරීම ද සිදු වෙනවා.

වෛද්‍ය පරීක්ෂණවලදී හෘදය ගැහෙන වේගය අඩු බව පෙනී ගියොත් එම රිද්මය නිවැරදි අගයකට ගෙන ඒම සඳහා Pacemaker(හෘද රිද්ම ජනකය) නම් උපකරණයක් සම යටින් පපුව ප්‍රදේශයේ සවි කරනු ලබනවා. මෙය ඉතා කුඩා උපකරණයක්. ඒ වගේම මෙම උපකරණය සවි කිරීම සඳහා වන ශල්‍යකර්මය වැඩි වේලාවක් ගතවන සිහි නැතිකර සිදු කරනු ලබන එකක් නොවේ. විනාඩි 45 ක් වැනි කාලයක් තුළ සිහි නැති නොකොට මෙම pace maker උපකරණය ශරීරයට සවි කරනු ලබනවා. මෙම උපකරණය ක්‍රියාත්මක වන්නේ බැටරියක ආධාරයෙන්. එසේ නම් බැටරි මාරු කිරිම සඳහා නිතර ශල්‍යකර්ම සිදු කළ යුතු යැයි ඔබට සිතෙන්නට පුළුවනි. එය එසේ වන්නේ නෑ. ඒ, මෙම බැටරිවලට අවුරුදු 12 -15 අතර ජීව කාලයක් තිබෙන නිසා.

හෘදය ගැහෙන වේගය වැඩි Tachycardia) එසේම හෘදය ගැහෙන වේගය අක්‍රමවත් රෝගීන්ගේ එම තත්ත්වයන් සඳහා ඖෂධීය ප්‍රතිකාර මුලින්ම ලබා දෙනවා. ඊට අමතරව හෘදය වේගය වැඩි රෝගීන්ගේ එම තත්ත්වය බරපතල නම් ICD නම් උපකරණයක් සමට යටින් පපුව ප්‍රදේශයේ සවි කරනවා. එය සවි කරන්නේ Pacemarker  උපකරණය සවිකරන ආකාරයටමයි. මෙම ICD උපකරණය මඟින් හෘදය ගැහෙන වේගය වැඩි වූ අවස්ථාවලදී ක්ෂණික කම්පනයක් Shock ලබාදෙනවා. හෘද රිද්මය වැඩි රෝගීන් අතරේ අධික හෘද රිද්ම ඇතිවන පරිපථ සමඟ උපන් අය. ඇතැමුන්ට තරුණ අවධියේදී මෙම තත්ත්වය ඇති වෙනවා. මොවුන්ට Radiofrequency ablation  නම් ප්‍රතිකාරය ලබා දෙනවා.

හදවතේ රිද්මය පිළිබඳව ඇතිවන මෙම ගැටලු පාරම්පරිකව ඇතිවන රෝග නොවුනත්, මව්පියන්ට ඇත්නම් දරුවන්ට ඇතිවීමේ කිසියම් සුළු ප්‍රවනතාවයක් තිබෙන බව හෙළි වී තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස එය ඉතා අඩු ප්‍රමාණයක්.

පසුගිය කාලයේ දිවීමේ තරගවලදී පාසල් දරුවන් මියගිය අවාසනාවන්ත අවස්ථාවන් කීපයක්ම දැනගන්න ලැබුණා. මෙවැනි තත්ත්වයන් සඳහා උපතින් ඇති වූ හෘදයේ රිද්මය පිළිබඳ ගැටලු හේතු විය හැකියි. එසේම හෘදයේ පේෂියේ ඇති ගැටලු ද මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානවා. දරුවන්ගේ මෙවැනි තත්ත්වයන් පිළිබඳව සොයා නොබලා අධික මහන්සියක් ඇතිවන තරග සඳහා යොමු නොකළ යුතුයි. මෙවැනි තරගවලට සහභාගි වන දරුවන් ඉදිරිපත් කරන පැමිණිලිවලට දෙමව්පියන්, ගුරුවරු මෙන්ම පුහුණුකරුවන් ද හොඳින් සවන් දීම ඉතාම වැදගත්. “ටිත දුරක් දුවනවිට මගේ පපුව රිදෙනවා.”, “හයියෙන් දුවන්න බැහැ මට මහන්සියි.”

වැනි ප්‍රකාශයන් දරුවකු කියන විට ඒවාට අනිවාර්යෙන්ම සවන් දීම වැදගත්. “මෙයා මේ දුවන්නේ නැතිව ඉදලා ඇඟ හොර වෙලා. දුවන්න කම්මැලි නිසා දුවන්නේ නෑ.” වැනි ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ නැතිව දරුවාගේ අපහසුතාවය පිළිබඳව සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. එසේ නොවුනහොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු නිසැකයි.