ශීතකරණයේ නිසි අයුරින් ආහාර ගබඩා නොකළොත් ඔබ රෝගී විය හැකියි

ශීතකරණයේ නිසි අයුරින් ආහාර ගබඩා නොකළොත් ඔබ රෝගී විය හැකියි

ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදින්ගේ සංගමයේ සභාපති වරලත් රසායනාලද යුධ හමුදා හා පොලිස් රෝහල් හි පෝෂණවේදී
එන්.එම්. එස්. හෙට්ටිගෙදර

සමාජයේ බොහොදෙනෙක් වර්තමානයේ කාර්යබහුල දිවියක් ගත කරන නිසාම සතියකට වරක් සුපිරි වෙළෙඳසලකින් හෝ වෙළෙඳපොළකින් නිවෙසට අවශ්‍ය ආහාර වර්ග, බඩු මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාර්යබහුලබව නිසාම මේ දේවල් සිදුවන්නේ කිසිදු සැලසුමකින් තොරවය.

සැලසුමකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ද්‍රව්‍ය නිවෙසට ගෙන ආ විට මේවා ගබඩා කර තැබීමේ ගැටලුවකට ගෘහනියකට මුහුණ පෑමට සිදු වෙයි. අවසානයේ මෙයට විසඳුම ලෙස නිවෙසේ ඇති ශීතකරණයට මේ සියලු ආහාර ඇතුළු කිරීමට ඇය දෙවරක් නොසිතයි. ඒ නිසාම අද බොහෝ නිවෙස්වල ආහාර ගබඩාව බවට පත්ව ඇත්තේ ශීතකරණයයි.

නමුත් ශීතකරණයක ගබඩා කළ යුතු මෙන්ම නොකළ යුතු ආහාර වර්ග තිබෙන බව අප දැන සිටීම වැදගත්. ශීතකරණයේ තැබිය යුතු සහ පැකට්ටුව විවෘත කිරිමෙන් පසුව නැවත දියර කිරි, බිත්තර, මස්, මාළු, එළවළු, පලතුරු, දියර වර්ග මෙන්ම අනෙකුත් ආහාර වර්ග ශීතකරණයක තබන විට ඒවා ශීතකරණයේ නිශ්චිත ස්ථානවල ගබඩා කිරීම ඉතාම වැදගත් වෙනවා.

එලෙස නිවැරදි ලෙස ගබඩාකර නොතැබූ විට ඉතා ඉක්මනින් එම ආහාර විනාශ වී යාම සිදුවෙනවා. ශීතකරණයක ආහාර ගබඩා කරන විට අපිට මූලික වශයෙන් ආහාර කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.

ඉන් එකක් නම් නරක් වන ආහාර සහ නරක් නොවන ආහාරයි. නියමිත ලෙස මෙම ආහාර ශීතකරණයේ ගබඩා කිරීමෙන් බැක්ටීරියා හෝ දිලීර මෙන්ම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට ලක් වී ආහාර නරක් වීම සිදු නොවේ.

මේ සඳහා අප මිල දී ගන්නා ආහාර නිසි පරිදි වර්ගීකරණය කර පිරිසුදු කර ඇසිරීම, කළ යුතු වේ. ශීතකරණයේ ඒ ඒ උෂ්ණත්ව වලට අදාළ වන පරිදි ආහාර ගබඩා කිරීම යෝග්‍ය වේ. කෙටි කාලයකදී නරක් නොවන වියළි ආහාර ශීතකරණයේ ඇසිරීම අවශ්‍ය නොවේ.

උදාහරණ ලෙස අල, ලූණු වැනි ආහාර වියලි ස්ථානයක ගබඩා කිරීම (සෙල්සියස් අංශක දහයත් විසි එකත් අතර) වැදගත්ය. පිටත තැබූ විට ඉක්මනින් නරක් වීමට හැකි ආහාර සෙල්සියස් අංශක එකත් හතරත් අතර උෂ්ණත්වයක ගබඩා කර තැබීම යෝග්‍යය.

කිරි, පිසූ ආහාර, එලෙසම දිගුකාලීනව තබා ගන්නා ආහාර සෙල්සියස් අංශක මයිනස් (-6) හයේ සිට (-25) මයිනස් විසිපහ දක්වා ගබඩා කිරීම යෝග්‍යය. (දින දෙකක් පමණ)

අප මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් ඒවා ඉතා හොඳින් පිරිසුදු කර පිසදා හොඳින් ආවරණය කර තැබීම ඉතාම වැදගත්ය. එළවළු, පලා වර්ග, පලතුරු විශේෂයි. අධි ශීතකරණයේ තබන මස් වර්ග, මාළු වර්ග නිවැරදිව පොලිතින් මඟින් ආවරණය කර ප්ලාස්ටික් භාජනයක දමා වසා තැබීම වඩා සුදුසුය.

එලෙසම වෙළෙඳපලෙන් මිලදී ගත් එළවළු ගබඩා කිරීමේදී කලින් ශීතකරණයේ ඉතිරිව තිබෙන එළවළු, පලතුරු ඉදිරියෙන් අසුරා අලුත් ඒවා පසුපසින් ඇසිරිය යුතුය. එනම් “first in first out” ක්‍රියාවලිය අනුගමනය කළ යුතුය.

එලෙසම ශීතකරණයේ තැබීමට භාවිතා කරන සෑම භාජනයක්ම පිරිසුදුව තබා ගැනීමට කටයුතු කළ යුතුය. ආහාර ද්‍රව්‍ය ගබඩාකර තැබීමේදී ශීතකරණය පිරිසුදු කිරීම අතිශය වැදගත්ය. ශීතකරණයේ ඉඳුල්, දියරවර්ග, මස්, මාංශ ලේ හැලී, ගෑවී, වේලී තිබෙන්නට පුළුවන. මේ නිසා ශීතකරණය සතියකට වරක් පිරිසුදු කිරීම ඉතා වැදගත් වේ. තවද ශීතකරණයේ නියම උෂ්ණත්වය පවත්වාගෙන යාමද වැදගත් වේ. එවිට ආහාර වර්ග නිවැරදි උෂ්ණත්වයක් ලැබෙන පරිදි ගබඩා කළ හැකි වේ.

බොහෝවිට ශීතකරණයක ආහාර ගබඩා කිරීම නිසා එම ආහාරවල බැක්ටීරියා වර්ධනය නොවෙයි. මස්, මාළු, නොපිසිනලද චිකන්, ග්‍රේප්ස්, සුප් වර්ග, කිරි, කිරි සහිත ආහාර පිසින ලද ධාන්‍ය වර්ග, පලතුරු වර්ග ශීතකරණයේ කෙටි කාලයක් ගබඩා කර ගැනීමට පුළුවන.

එනම් දින 7 ක් පමණ නමුත් අධි ශීතකරණයේ තබා මාංශමය ආහාර සති දෙකක් තුනක් පමණ තබා ගත හැකියි. එක් ආහාර වර්ගයක් තවත් ආහාර වර්ගයක් සමඟ ගෑවෙන පරිදි ගබඩා නොකළ යුතුයි. උදාහරණ මස් සමඟ පලතුරු ගබඩා නොකළ යුතුයි.

තවත් අතකට සමහර ආහාර වර්ග මඟින් තද සුවඳක් නිකුත් වෙයි. ඒවා අනෙක් ආහාර වර්ගවලට උරා ගැනීම විය හැක. උදාහරණ ලෙස සුදුළූණු කපා ශීතකරණයට දැමීමෙන් අනෙක් ආහාරවලට ද එම සුවඳ උරා ගැනීම සිදු වේ.

ඒ නිසා සුදුළූණු, ළූණු වැනි ද්‍රව්‍යයන් වරකා වැනි පලතුරු කපා ශීතකරණයට දමනවිට හොඳින් ඒවා ආවරණය කළ යුතුය. නිතර නිතර ශිතකරණයේ දොර ඇරීම වැසිම නොකළ යුතුය. එවිට ශිතකරණයේ උෂ්ණත්වය වෙනස් වීමකට ලක් වේ. තද රස්නය සහිත ආහාර ශිතකරණයේ ගබඩා කිරීම කිසිවිටෙකත් සුදුසු නොවේ.

ශිතකරණය පිරිසුදු කිරිම සඳහා සෝඩා සොලුෂන් දියරය හෝ විනාකිරි යොදා ගැනීම කළ හැක.

නිවෙසක හැමවිටම ශිතකරණය ස්ථානගත කළ යුත්තේ වාතය හොඳින් ඇති උෂ්ණත්වය අඩු ස්ථානයකය.

හැමවිටම ශිතකරණයේ යොදා ඇති උපදෙස් පරිදි ආහාර ගබඩා කිරීම ඉතා උචිත වන අතර නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් මිල දී ගෙන පරිභෝජනය කිරිම මඟින් අපගේ කාලය, සෞඛ්‍ය, මුදල මෙන්ම මහන්සිය ද ඉතිරිවේ.