නීරෝගීව ජිවත්වීමට හොඳම මඟ මෛත්‍රිය, කරුණාව, දයාව ජීවිතයට එක් කර ගැනීමයි

නීරෝගීව ජිවත්වීමට හොඳම මඟ මෛත්‍රිය, කරුණාව, දයාව ජීවිතයට එක් කර ගැනීමයි

පසුගියදා 90 වැනි උපන් දිනය සැමරූ රංගන ශිල්පිනී අයිරංගනී සේරසිංහ “ආරෝග්‍යාට” හෙළි කළ කතාව

මිහිපිට උපන් සෑම මිනිසකුගේම ඒකායන ප්‍රාර්ථනය වන්නේ සතුටින් පී‍්‍රතියෙන් නිරෝගීව චිරාත් කාලයක් ජීවත්වීමටය. නමුත් ඒ වාසනා මහිමය ලබන්නට වරම් ලබන්නේ කීයෙන් කීදෙනා ද? මෙවන් වාසනා මහිමයක් ලබන්නේ පූරුවේ පිනට යැයි ඇතැමුන් විග්‍රහ කළ ද මේ භවයේ තමන් කළ කී දේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වීම මෛත්‍රිය, කරුණාව පෙරදැරිව ජිවත්විම වැනි විශිෂ්ඨ ගුණාංග දීර්ඝායුෂ විඳීමේ භාග්‍යයට බොහෝවිට සාධක වේ.

අද මා පවසන්නට යන්නේ එවැනි වු භාග්‍යක් ලද කාන්තා චරිතයක් පිළිබඳවයි. ඇය ඔබ අපගේ ජීවිතවලට ආදර්ශයක් ගත හැකි ගෞරවණීය චරිතයක්.. පසුගියදා සිය ජීවන මගේ 90 වැනි සැතැපුම් කණුව කරා ළඟාවීමේ දුර්ලභ වාසනාව හිමිකර ගත් ඇය සිංහල සිනමා වංශ කතාවේ “ආදරණීය අම්මා” ලෙස පේ‍්‍රක්ෂක භක්ත්‍යාධරයටත් ,ගෞරවාධරයටත් පත් වූ ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය ඔබ අප කවුරුත් හඳුනන අයිරංගනී සේරසිංහ නැමැති ප්‍රවීන රංගනවේදිනියයි.

ගත වියපත් වුවත් සිතින් තරුණ ඇයගේ යහපත් වූ ජීවන රටාව, ඇය ගේ නිරෝගී ජිවිතයේ යහ පැවැත්වමයි.

මුව කමලින් නැගෙන අව්‍යාජ සිනාරැල්ලෙන් පිළිබිඹු කරන්නේ ඇගේ හදවතේ නිහතමානි බවේ කැඩපතය. සිතින් මෙන් ගතින් ද ශක්තිමත්වු ඇය නිරෝගි ජීවිතයකට උරුමකම් කියන්නට පෝෂ්‍යදායි ආහාර ව්‍යායාම් පමණක් ඇගේ ජිවිතයට සමීප වූයේ නැහැ.

බොහෝ ජීවිත තුළ නොමැති සුවිශේෂ ගති ලක්ෂණයන් ඇගේ ජීවිතය පුරාවට විහිදී ඇත. ඒ මනුෂ්‍යත්වය, දයාව, කරුණාව, මෛත්‍රිය පෙර දැරි කරගත් යහපත් ගුණාංගයි. ඔබ අප බොහෝදෙනා තුළ නොමැති මිනිස් ධර්මතාවයන්ය. ඒ සියල්ලෙන් පොහොසත්වීම නිසාදෝ ඇය වැනි විශිෂ්ඨ ගණයේ කාන්තාවකගේ චරිත ලක්ෂණ බොහෝමයකින් අපගේ ජිවිතවලට ගත හැකි පාඩම් බොහෝය.

“ආරෝග්‍යා” පාඨකයා වෙනුවෙන් මා ඇය මුණ ගැසුණේ ඇගේ යහපත් කල්ක්‍රියාව නිසා අද ඈ නිරෝගීව දීර්ඝ ආයුෂ විඳිමින් ගෙවන මේ ජීවිතය ඔබත් සමඟ බෙදා ගන්නටයි.

“මම දවස පටන් ගන්නෙත් දවස නිම කර නින්දට යන්නේත් බුදුන් වැඳලා. බුදු කුටියට ගිහිල්ලා බුදුන් වඳින කොට මට සියලු සත්වයන්ට නිදුක් නිරෝගී භාවය සහ යහපත හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. . අන් අයට යහපතක් වන්නට කියා කරන ප්‍රාර්ථනය නිසාදෝ මගේ ජීවිතයට ලැබෙන ආශිර්වාද එමටයි.

මගේ යහළු මිතුරු මිතුරියන්ට මෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට. අසරණ දුප්පත් අයට, ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙමින් වේදනාවෙන් ජීවත් වන අයට මේ සියල්ලන්ටම මම යහපත ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි. ඔවුන්ගේ ජීවිත නිරුපද්‍රිතව ආරක්ෂා වන්නට ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ සිද්ධ වේවා යැයි අවංක සිතින් කෙරෙන ප්‍රාර්ථනයක්.”

ඇත්තටම මම දිවි ගෙවන්නේ හරිම සැහැල්ලුවෙන්, සතුටින්, පි‍්‍රතියෙන් මගේ මනස හරිම සැහැල්ලුයි. ප්‍රශ්න වලින් තොරයි. මම අනුන්ගේ දිහා නරක ඇසින් බලන්නේ නැහැ. අපි කවුරුත් වැරදි කරනවා. ඒ නිසා අපි වැරදි කරන අයට සමාව දීලා මෛත්‍රී කළ යුතුයි. මම ඉන්නේ එතැන. ඒ නිසා මට අයහපත ප්‍රාර්ථනා කලත් ඒ අය දිහා කරුණාවෙන්, මෛත්‍රීයෙන් බලන්නට මට පුළුවන්. වාසනාවකට කවුරුත් මාත් එක්ක තරහ නැහැ. හැමෝම මට ආදරෙයි වගේම හිතවත්..

මට පොඩ්ඩක්වත් තරහ යනනේ නැහැ.. ඕනෑම දෙයක් ගැන උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වන්නේ ඒ නිසයි.

“ ඊර්ශ්‍යාව, වෛරය, ක්‍රෝධය කුමක්ද කියා ඇය නොදනී.මිනිස් වර්ගයාට පමණක් නොව සතා සිවුපාවුන්ට ද ආදරය කරන ඇය කුරා කූඹියෙකුටවත් වරදක් කරන්නේ නැත. ඇය අවු 40පුරා මස් මාළු අනුභව කළේ නැත.

මම සතුටින් ඉන්න නිසා වෙන්න ඇති දියවැඩියාව, ප්‍රෙෂර්, මානසික ආතතිය, හෘද රෝග මට නැත්තේ. මනස සතුටින් සැහැල්ලුවෙන් නම් රුධිර සංසරණය හොඳින් සිදුවෙනවා. ඒ කියන්නේ නිරෝගි කියන එක නේද?”

පරිසරයට අසීමිත ලෙස පෙම් බැඳි ඇය පරිසරවේදිනියෙකි. පරිසරයට කොතරම් පෙම් බැඳි ද යත් බෙලිහුල් ඔය, ලෝකාන්තය පෙනෙන මායිමේ ගස් කොළන් වලින් ගහනය වූ සුන්දර පරිසරයක ඇය කුඩා නිවහනක් තනා ඇත. සතියකට වරක් හෝ නිවාඩුවක් ලද සැනින් ඇය බෙලිහුල් ඔය පිහිටි ඇගේ නිවසට ගොස් නිදහසේ ගත කරයි. පරිසරයේ සුන්දරත්වය විඳිමින් සතා සිවුපාවා, තුරුලතා ආදිය සමඟ ස්වභාව ධර්මයට සමීප වෙමින් ගෙවන ජිවිය නිසාම අධ්‍යාත්මික ජිවිතය ඉතා යහපත්ය.පහන් සිතුවිලි නිරන්තරයෙන් මනසේ සැරිසරමින් මානසික ඒකාග්‍රතාවයට තුඩු දෙන සේ වටාපිටාව සකස්වි ඇත.

ඇගේ නිවහන කුරුළු පාරාදිසියක සිරි ගන්වයි. ඇතැම් විට සර්පයෝ එහේ මෙහේ දිග ඇදෙනු පෙනේ. “සර්පයෝ ඔහේ හිටපුදෙන් උන්ගෙන් මට කරදරයක් නැහැ.”

කිසිවකුගේ සිත නොරිදවා සිත නොතලා පි‍්‍රය තෙපුලින් අන් අය ආමන්ත්‍රණය කිරීම ඇයගේ සිරිතය.

කරුණාව,මෛත්‍රිය පමණක් නොව පිං අතේ වැඩ කිරීම ද ඇගේ ජීවිතයේ කොටසකි. දිළිදුන්, පුලන්නන් වැනි නැති බැරි අයට ඇය උදව් කරයි. දිළිඳු පවුල් හතරක් ඇය තෝරාගෙන ඒ පවුල් හතරට අවශ්‍ය ඇඳුම් පැළදුම්, පොත් පත්, ආහාර පාන අවශ්‍ය ද්‍රව්‍ය ආදිය ලබා දීම ඇය සිරිතක් කොටගෙන ඇත.

ජිවිතය නැමැති ගිරි ශිඛරයේ 90 වැනි සැතපුම් කණුව තරණය කරමින් නිරෝගී දිවි පෙවතක් ගත කරන අයිරාංගනී සේරසිංහ මහත්මිය පිළිබඳ මෙවැනි සටහනක් ලීවිමට මා සිතුවේ පෝෂ්‍යදාය ආහාර පාන ව්‍යායාම්වලින් ඔබ්බට ගිය සුවපත් මනසක් මෙන්ම යහපත් කල්ක්‍රියාවන් ද නිරෝගී දිවි පැවැත්මට හොඳම මග බව ඔබට පසක් කර දීමටය.

අයිරාංගනි සේරසිංහ මැතිණිය එයට කදිම උදාහරණයකි.